3. ප්‍රථම වේදනා සූත්‍ර වර්ණනාව
තුන්වන සූත්‍රයෙහි වෙදනා යනු අරමුණු රසය විඳිති, අනුභව කරති යන අරුතින් වේදනා නම් වේ. එය විභාග වශයෙන් (බෙදා) දක්වන්නට සුඛා වෙදනා යනාදිය කියන ලදී. එහි ‘සුඛ’ ශබ්දය වස්තු - ද්වාර වශයෙන් මුලින් කියන ලද්දේමය. ‘දුක්‍ඛ’ ශබ්දය වනාහි ‘ජාතිපි දුක්‍ඛා’ ‘ඉපදීම ද දුකය’ යනාදියෙහි දුක්ඛ වස්තුවෙහි ආයේය. ‘යස්මා ච ඛො මහාලි රූපං දුක්‍ඛං දුක්‍ඛානුපතිතං දුක්‍ඛාවක්කන්තං’ ‘මහාලිය, යම්හෙයකින් රූපය දුක ද දුක මත වැටුණේ ද දුකට බැස ගත්තේ ද’ යනාදියෙහි දුක්ඛ ආරම්මණයෙහි ආයේය. ‘දුක්ඛො පාපස්ස උච්චයො’ ‘පව් රැස්කිරිම දුකය’ යනාදියෙහි දුක්ඛ ප්‍රත්‍යයෙහි (දුකට හේතුවෙහි) ආයේය. ‘යාවඤ්‍චිදං භික්‍ඛවෙ න සුකරං අක්‍ඛානෙන පාපුණිතුං යාව දුක්‍ඛා නිරයා’ ‘මහණෙනි, නිරයවල් මෙතෙක් දුක් ඇති ඒවා යයි කීමෙන් මුදුන් පමුණුවා කියන්නට පහසු නොවේ. යන ආදියෙහි දුකට හේතුවන ස්ථානයෙහි ආයේය. ‘සුඛස්ස ච පහානා දුක්‍ඛස්ස ච පහානා’ සැප පහ කිරීමෙන් ද දුක පහ කිරීමෙන් ද යනාදියෙහි දුක්වේදනාවෙහි ආයේය. මේ සූත්‍රයෙහි ද දුක්වේදනාවෙහිම ආයේය.
වචනාර්ථ වශයෙන් සැප විඳී යන අරුතින් ‘සුඛ’ නම් වේ. දුක් විඳී යන අරුතින් දුක්‍ඛ නම් වේ. දුක් නොවේ සැප නොවේ යන අරුතින් අදුක්ඛමසුඛ නම් වේ. ‘ම’ කාරය පද සන්ධි කිරීම් වශයෙන් කියන ලදී. ඒවා අතරින් ‘සුඛය’ ප්‍රිය දේ අනුභව කිරීම ලක්‍ෂණ කොට ඇත. ‘දුක්ඛය’ අප්‍රිය දේ අනුභව කිරීම ලක්‍ෂණකොට ඇත. මේ දෙකටම වෙනස් අයුරින් අනුභව කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ ‘අදුක්ඛමසුඛය’. එහෙයින් සුඛ-දුක්ඛ වේදනාවන්ගේ උපත ප්‍රකට ය. අදුක්ඛමසුඛ වේදනාවේ උපත අප්‍රකටය. සැපය උපදින කල්හි මුළු සිරුර කළඹන්නාක් මෙන් ද මිරිකන්නාක් මෙන් ද මුළු සිරුරෙහි පැතිරෙන්නාක් මෙන් ද සියවරක් පිරිසිදු කරන ලද ගිතෙල් කවන්නාක් මෙන් ද සියවරක් සිඳින ලද තෙලක් සිරුරෙහි ගාන්නාක් මෙන් ද කලගෙඩි දහසක ජලයෙන් දාහය නිවන්නාක් මෙන් ද අනේ සැපයි අනේ සැපයි යනුවෙන් වචන කියමින්ම උපදියි. දුක උපදින කල්හි මුළු සිරුර කළඹන්නාක් මෙන් ද මිරිකන්නාක් මෙන් ද මුළු සිරුරෙහි පැතිරෙන්නාක් මෙන් ද රත් වූ කබලක් ඇතුල් වන්නාක් මෙන් ද උණුකරන ලද තඹ ලෝහ වක් කරන්නාක් මෙන් ද අනේ දුකයි අනේ දුකයි යනුවෙන් විකාර දොඩවමින්ම උපදියි. මෙසේ සුඛදුක්ඛ වේදනාවන්ගේ උපත ප්‍රකටය.
අදුක්ඛමසුඛ වේදනාව දැනගැනීම අපහසුය, අපැහැදිලිය, අඳුරුය, අප්‍රකටය. ඒ අදුක්ඛමසුඛ වේදනාව සැප-දුක් වේදනාවන් ඉවත් වූ කල්හි මිහිරි අමිහිරි දෙක ප්‍රතික්‍ෂේප කිරීම් වශයෙන් මැදහත් ආකාරයෙන් යුක්ත වූයේ න්‍යාය වශයෙන් ගන්නා වූ තැනැත්තාටම ප්‍රකට වෙයි. කෙසේද? ගල්තලාවක දෙපස මුවෙකු ගමන්ගත් අඩිපාර පෙනෙන්නට ඇතත් ගල්තලාව මතින් ගමන්කළ අඩිපාර පෙනෙන්න නැත. එහෙත් දෙපස ඇති අඩිපාර අනුසාරයෙන් ගලමතින් මුවා ගිය අඩිපාර දැනගන්නාක් මෙනි. (මුල අග පස් සහිත ප්‍රදේශයක හැසිරුණු මාර්ගය අනුව ගල්තලාවක් මතින් මුවෙකු ගිය මාර්ගය දැනගන්නාක් මෙනි) මෙසේ ඉටු-අනිටු (ප්‍රිය-අප්‍රිය) අරමුණුවල සැප දුක් විඳීමෙන් මැදහත් අරමුණ විඳීම් ස්වභාවයෙන් දැනගනු ලැබේ. මැදහත් අරමුණ ගැනීම වනාහි ප්‍රිය අප්‍රිය අරමුණු ගැනීම් නැති බැවින් ගල්තලාවක් මතින් යන ගමනක් මෙනි. එහි යම් විඳීමක් (අනුභව කිරීමක්) ඇද්ද එය අදුක්ඛමසුඛය.
මෙසේ මෙහි සුඛ- දුක්ඛ-අදුක්ඛමසුඛ ස්වභාවයෙන් තුන් ආකාරකොට කියනු ලැබුවද ඇතැම් තැනක සුඛ-දුක්ඛ ස්වභාවයෙන් දෙයාකාරයකින් කියන ලදී. ඒ බව මෙසේ වදාළහ. ‘ද්වෙපි මයා ආනන්‍ද වෙදනා වුත්තා පරියායෙන සුඛා වෙදනා දුක්‍ඛා වෙදනා’ ‘ආනන්‍ද, මා විසින් සුබ වේදනා දුක්ඛ වේදනා යනුවෙන් වේදනාව පරියාය වශයෙන් දෙයාකාර කොට දේශනා කරන ලදී’ ඇතැම් තැනක සුඛ-දුක්ඛ-අදුක්ඛමසුඛ වශයෙන් වේදනා තුනක් මෙසේ දේශනා කරන ලදී. ‘සුඛා වෙදනා ඨිති සුඛා විපරිනාම දුක්‍ඛා, දුක්‍ඛා වෙදනා ඨිති දුක්‍ඛා විපරිනාම සුඛා, අදුක්‍ඛමසුඛා වෙදනා ඤාණසුඛා අඤ්ඤාණ දුක්‍ඛා ‘සුඛ වේදනාව වනාහි පැවැත්ම සැපය වෙනස්වීම දුකය, දුක් වේදනාව වනාහි පැවැත්ම දුකය වෙනස්වීම සැපය, අදුක්ඛමසුඛ වේදනාව දැනීම සැපය, නොදැනීම දුකය. ඇතැම් තැනක ‘යං කිඤ්චි වෙදයිතං සබ්බන්තං දුක්‍ඛසමින්ති වදාමි’ ‘විඳින යමක් ඇද්ද ඒ සියල්ල දුකෙහි ඇතුළත්යයි කියමි’ යනුවෙන් සියල්ල දුක් ස්වභාවයෙන් කියන ලදී.
එහිදී මේ කාරණය මතු වන්නේය. මෙහි කියන ලද අයුරින් වේදනා තුනක් ඇත්නම් මෙබඳු අනිත් සූත්‍රවලදී ද අභිධර්මයෙහි ද මෙසේ නොකියා කුමක් නිසා ‘යං කිඤ්චි වෙදයිතං සම්බන්තං දුක්‍ඛසමින්ති වදාමි’ යනුවෙන් මෙසේ කියන ලද ද?’ ‘ද්වෙපි මයා ආනන්‍ද වෙදනා වුත්තා’ යන්න සඳහා මෙය කියන ලදී. එහෙයින් එය පරියාය දේශනාවකි. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් -
‘සංඛාරානිච්චතං ආනන්‍ද මයා සන්‍ධාය භාසිතං සංඛාර විපරිනාමතං යං කිඤ්චි වෙදයිතං සබ්බන්තං දුක්‍ඛස්මිං ‘ආනන්‍ද, සංස්කාරවල අනිත්‍ය බව නිසා සංස්කාරවල වෙනස් වන බව නිසා විඳින යමක් ඇද්ද ඒ සියල්ල දුකෙහි ඇතුළත්ය’යි මා විසින් කියන ලදී.
‘ද්වෙපි මයා ආනන්‍ද වෙදනා වුත්ත පරියායෙන’ ‘ආනන්‍ද, මා විසින් පර්යාය වශයෙන් (එක් ක්‍රමයකින්, අප්‍රධාන වශයෙන්) වේදනා දෙකක් කියන ලදී’ යනුවෙන් මේ කාරණය කියන ලදී.
මෙහි සුඛ, අදුක්ඛමසුඛ යන මේ වේදනා දෙකේ නිෂ්පර්යාය වශයෙන් දුක් බවක් නැත. හික්මවීමට සුදුසු අයගේ අදහස් (වලට ගැලපීම්) වශයෙන් එහි (සුඛ-අදුක්ඛමසුඛ දෙකෙහි) ඡන්‍දය නැති බව (තණ්හාව දුරුකිරීම) දැක්වීම පිණිස පර්යාය වශයෙන් දුක් බව දෙසන ලදී. ඒ පර්යාය දේශනාව එබඳුය. මේ වේදනා තුනකැයි කරන ලද දේශනාව ස්වභාව කථායයි නම්කොට නිෂ්පරියාය දේශනාවය. මේ මෙහිලා ආචාර්යවරුන්ගේ සමාන අර්ථ කථාවය.
දුක පිළිබඳ යුගල වචනයෙන් වේදනා තුන පිළිබඳ දේශනාව පරියාය දේශනාවමය යනුවෙන් විතණ්ඩවාදියා කීය. එසේ නොකියන්නැයි ඔහුට කිවයුතුය. ‘සංඛාරා නිච්චතං ආනන්‍ද මයා සන්‍ධාය භාසිතං සංඛාර විපරිනාමතං යං කිඤ්චි වෙදයිතං සබ්බන්තං දුක්‍ඛස්මිං’ ‘ආනන්ද, මා විසින් විඳින සියල්ල දුකෙහි ඇතුළත්යයි කියන ලද්දේ සංස්කාරයන්ගේ අනිත්‍ය බව, සංස්කාරයන්ගේ විපරිනාමය නිසාය’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් සියලු වේදනාවන්ගේ දුක් බව අදහස් කිරීම් වශයෙන් දෙසන ලදද එහෙයිනි. ඉදින් වනාහි මෙහි වේදනාත්‍රය දේශනාව පරියාය දේශනාවක් වන්නේ නම් ‘ඉදං මයා සන්‍ධාය භාසිතං තිස්සො වෙදනා’ ‘මා විසින් මේ සඳහා වේදනා තුන කියන ලදී’ යනුවෙන් කිවයුතු වන්නේය.
තවද ඇවැත්නි, වේදනාත්‍රය දේශනාවේ අදහස කුමක්දැයි යන මෙයම කිවයුතුය. (ඇසිය යුතුය.) මෘදු වූ දුක් වේදනාව සැපය, අධිමාත්‍ර වූ දුක්වේදනාව දුකය, මධ්‍යම වූ දුක්වේදනාව අදුක්‍ඛමසුඛයයි හික්මවීමට සුදුසු අයගේ අදහස් වශයෙන් කියන ලදී. ඒවායෙහි සත්ත්වයන්ගේ සැප ආදිය වැඩීමක් නැතැයි ඉදින් කියන්නේ නම් ඔහුට මෙසේ කිවයුතුය. ඇවැත්නි, යම් කරුණකින් සියලු වේදනාවෝ දුක්යයි කියන්නාහු නම් දුක් වේදනාවේ ස්වභාවය කුමක් ද? ඉදින් යම් කාරණයකින් උපන්නා වූ සත්ත්වයෝ වියෝගයම කැමති වෙත් ද එය දුක් වේදනාවේ ස්වභාවයයි (කියයි නම්) යම් කරුණකින් උපන්නා වූ සත්ත්වයෝ අවියෝගයම (වෙන් නොවීමම) කැමති වෙත් ද යම් කරුණකින් උපන්නා වූ සත්වයෝ මේ දෙකම කැමති නොවෙත් ද එය දුක්වේදනා වන්නේ කෙසේදැයි (ඇසිය යුතුය.) එවිට තමා ඇසුරු කරන්නාගේ යම් විනාශ කිරීමක් වේද එය දුකයයි (කියයි නම්) තමා ඇසුරු කරන්නාට යම් අනුග්‍රහ කිරීමක් වේද එය දුක්වන්නේ කෙසේදැයි (ඇසිය යුතුය). එවිට ආර්යයෝ යමක් දුක් වශයෙන් දකිත් ද එය දුක් වේදනාවේ ස්වභාවයයි. ආර්යයෝ සංඛාරයින්ගේ දුක් බව නිසා වේදනාව දුක් වශයෙන් දකිති. එය ද නිතර පවතින ස්වභාවයයි කියයි. ඒ වේදනාවන්ගේ මෘදු -මධ්‍යම-අධිමාත්‍ර දුක් බව වන්නේ කෙසේද? ඉදින් සංඛාරයන්ගේ දුක් බව නිසාම වේදනාවන්ගේ දුක්බව වන්නේ නම් ‘තිස්සො ඉමා භික්‍ඛවෙ දුක්‍ඛතා : දුක්‍ඛ දුක්‍ඛතා, විපරිනාම දුක්‍ඛතා, සංඛාර දුක්‍ඛතා’ යන දුක් පිළිබඳ මේ විභාග දේශනාව නිෂ්ප්‍රයෝජන වන්නේය. එසේ ඇති කල්හි සූත්‍රයම වළක්වන ලද්දේ වන්නේය. පළමු රූපාවචර ධ්‍යාන තුනෙහි ඇති සුඛ වේදනා යන වචනයෙන් මෘදු වූ දුක් වේදනාව පැමිණෙයි. චතුර්ථ ධ්‍යානයෙහි ද අරූප ධ්‍යානවලද ඇති අදුක්ඛමසුඛ වේදනා යන වචනයෙන් මධ්‍යම දුක් වේදනාව පැමිණෙයි. මෙසේ ඇතිකල්හි පළමු රූපාවචර සමාපත්ති තුන චතුර්ථ ධ්‍යාන සමාපත්තියට ද අරූප සමාපත්තිවලට ද වඩා ශාන්ත බවට පැමිණෙයි. වඩා ශාන්ත වඩා ප්‍රණීත සමාපත්තිවල දුක් වේදනාවේ අධික බව කෙසේ යෙදේ ද? එහෙයින් වේදනාත්‍රය දේශනාවේ පර්යාය දේශනා බව යුතු (සුදුසු) නැත.