2. ධාතු සූත්ර වර්ණනාව
දෙවන සූත්රයෙහි ධාතුයො යනු තමාගේ ඵලය ද ස්වභාවය ද දරණ අර්ථයෙන් ධාතු නමි. මෙහි ඵලය උපදවන යමක් වේද එය තමාගේ ඵලය ද ස්වභාවය ද අනික ස්වභාවයම දරණ අර්ථයෙන් ද ධාතු නමි. රූපධාතු යනු රූප භවයයි. ධාතුව පැමිණි තැන භවයෙන් පිරිසිඳිය යුතුය. (සීමා කළ යුතුය.) භවය පැමිණි තැන ධාතුවෙන් පිරිසිඳිය යුතුය. මෙහි භවයෙන් පිරිසිඳීම (පරිච්ඡේදය) කියන ලදී. එහෙයින් -
‘කතමෙ ධම්මා රූපාවචරා? හෙට්ඨතො බ්රහ්මලොකං පරියන්තං කරිත්වා උපරිතො අකනිට්ඨෙ දෙවෙ අන්තො කරිත්වා එත්ථාවචරා එත්ථ පරියාපන්නා ඛන්ධධාතු ආයතනා, ඉමෙ ධම්මා රූපාවචරා’ ‘කවර ධර්ම රූපාවචර ද? යටින් බඹලොව සීමාකොට උඩින් අකනිටා දෙවියන් ඇතුලු කොට මෙහි හැසිරෙන මෙහි ඇතුළත් ස්කන්ධ ධාතු-ආයතන යන මේ ධර්ම රූපාවචරය’ යි
මෙසේ කියන ලද රූපාවචර ධර්ම රූපධාතු ය. අරූපධාතු යනු අරූප භවයයි. මෙහි ද භාවයෙන් පිරිසිඳීම කියන ලදී.
‘කතමෙ ධම්මා අරූපාවචරා? හෙට්ඨතො ආකාසානඤ්චායතනූපගෙ දෙවෙ අන්තො කරිත්වා උපරිතො නෙවසඤ්ඤා නාසඤ්ඤායතනූපගෙ දෙවෙ අන්තො කරිත්වා එත්ථාවචරා එත්ථ පරියාපන්නා ඛන්ධ ධාතු ආයතනා, ඉමෙ ධම්මා අරූපාවචරා’ ‘කවර ධර්ම අරූපාවචරද? යටින් ආකාසානඤ්චායතනයට එළඹි දෙවියන් ඇතුලුකොට උඩින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹි දෙවියන් ඇතුලුකොට මෙහි හැසිරෙන මෙහි ඇතුළත් ස්කන්ධ-ධාතු-ආයතන යන මේ ධර්ම අරූපාවචරය’යි
මෙසේ කියන ලද අරූපාවචර ධර්ම අරූපධාතුය. නිරොධ ධාතු යනුවෙන් නිවන දතයුතුය.
වෙනත් ක්රමයක්: රූපය සහිත රූපය හා බැඳුණු ධර්ම ප්රවෘත්තිය (දහම් පැවැත්ම) රූපධාතුවය. (එනම්) පංචවෝකාර භවය ද ඒකවෝකාර භවය ද වේ. එයින් සියලු කාමභවයද රූප භවය ද එක්තැන් කරන ලද්දේ වෙයි. රූපය නැති ධර්ම ප්රවෘත්තිය අරූපධාතුවය. චතුවෝකාර භවයයි. එයින් අරූපභවය එක්තැන් කරන ලද්දේ වෙයි. මෙසේ පද දෙකින් භව තුනත් සියලු සංසාර පැවැත්මත් දක්වන ලදී. තෙවන පදයෙන් අසංඛත ධාතුවම සංග්රහ කරන ලදී. මෙහි මාර්ගඵල තක විනිම්මුත්ත (කාම-රූප-අරූප යන තුනෙන් මිදුණු) ධර්ම නමි. ඇතැමෙක් වනාහි ‘රූපධාතු’ යනුවෙන් රූප ස්වභාව ධර්ම ද ‘අරූප ධාතු’ යනුවෙන් අරූප ස්වභාව ධර්ම ද යන පද දෙකෙන් ඉතිරි නොකොට පංචස්කන්ධය ගන්නා ලදැයි ද රූප තණ්හාවට විෂය වන ධර්ම ‘රූපධාතු’ යයි ද අරූප තණ්හාවට විෂය වන ධර්ම අරූප ධාතුයයිද කියති. ඒ සියල්ල මෙහි අදහස් කරන ලදී. එහෙයින් කියන ලද අයුරින්ම අර්ථය දතයුතුය.
ගාථාවන්හි රූපධාතුං පරිඤ්ඤාය යනු රූපය හා බැඳුණු ධර්ම ප්රවෘත්තිය ඤාත පරිඤ්ඤා යනාදී පරිඤ්ඤා තුනෙන් පිරිසිඳ දැන අරූපෙසු අසණ්ඨිතා යනු අරූපාවචර ධර්මයන්හි භවරාග වශයෙන් ද භව දිට්ඨි වශයෙන් ද නොපිහිටියා වූ ඇසුරු නොකළා වූ නොඇලුණා වූ. ‘අරූපෙසු අසන්ධිතා’ යනුවෙන් ද කියති. ඒ අර්ථයමයි. මෙපමණකින් ත්රෛභූමික ධර්මයන්ගේ පිරිසිඳ දැනීම කියන ලදී. නිරොධෙ යෙ විමුච්චන්ති යනු යමෙක් නිවන අරමුණු වූ අග්ර මාර්ග-ඵල වශයෙන් සමුච්ඡේද-පටිප්පස්සද්ධි වලින් ඉතිරි නොකොට කෙලෙසුන් කෙරෙන් මිදෙත් ද, තෙ ජනා මච්චුහායිනො යනු ඒ ගෙවා දැමූ ආශ්රව ඇති අය මරණය ඉක්මවූවාහුය.
මෙසේ (කාම-රූප-අරූප යන) ධාතු තුන ඉක්මවීමෙන් නිවන් අවබෝධය දක්වා මේ ප්රතිපදාව ද ම විසින් ගිය මාර්ගය ද ඔබලාට දේශනා කළ මාර්ගය ද වෙයි යනුවෙන් එහි ඔවුන්ගේ උත්සාහය උපදවමින් දෙවන ගාථාව වදාළහ. එහි කායෙන නාම කයින් මාර්ගඵලවලින්. ඵුස්සිත්වා යනු පැමිණ. නිරූපධිං යනු ස්කන්ධාදී සියලු උපධි නැති. උපධිප්පටිනිස්සග්ගං යනු ඒ උපධීන්ගේම දුරුකිරීම් කාරණය, මාර්ග ඥානයෙන් නිවන ප්රත්යක්ෂ කිරීමෙන් සියලු උපධි දුරුකරන ලද්දාහු වෙති යන අරුතින් එය (මාර්ග ඥානය) ඒවා (උපධීන්) දුරුකරන කාරණයයි. සච්ඡිකත්වා යනු කලින් කල ඵලසමාපත්තියට සමවැදීමෙන් තමා ප්රත්යක්ෂ කොට. අනාසවො සම්මා සම්බුද්ධො යනු අනාශ්රව වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසොකං විරජං ශෝක නැති කෙලෙස් දූවිලි නැති ඒ නිර්වාණ පදයම දේශනා කරති. එහෙයින් එය අවබෝධ කිරීම පිණිස උත්සාහ කළ යුතුය.