වෙනත් ක්‍රමයක්: රූපය සහිත රූපය හා බැඳුණු ධර්ම ප්‍රවෘත්තිය (දහම් පැවැත්ම) රූපධාතුවය. (එනම්) පංචවෝකාර භවය ද ඒකවෝකාර භවය ද වේ. එයින් සියලු කාමභවයද රූප භවය ද එක්තැන් කරන ලද්දේ වෙයි. රූපය නැති ධර්ම ප්‍රවෘත්තිය අරූපධාතුවය. චතුවෝකාර භවයයි. එයින් අරූපභවය එක්තැන් කරන ලද්දේ වෙයි. මෙසේ පද දෙකින් භව තුනත් සියලු සංසාර පැවැත්මත් දක්වන ලදී. තෙවන පදයෙන් අසංඛත ධාතුවම සංග්‍රහ කරන ලදී. මෙහි මාර්ගඵල තක විනිම්මුත්ත (කාම-රූප-අරූප යන තුනෙන් මිදුණු) ධර්ම නමි. ඇතැමෙක් වනාහි ‘රූපධාතු’ යනුවෙන් රූප ස්වභාව ධර්ම ද ‘අරූප ධාතු’ යනුවෙන් අරූප ස්වභාව ධර්ම ද යන පද දෙකෙන් ඉතිරි නොකොට පංචස්කන්ධය ගන්නා ලදැයි ද රූප තණ්හාවට විෂය වන ධර්ම ‘රූපධාතු’ යයි ද අරූප තණ්හාවට විෂය වන ධර්ම අරූප ධාතුයයිද කියති. ඒ සියල්ල මෙහි අදහස් කරන ලදී. එහෙයින් කියන ලද අයුරින්ම අර්ථය දතයුතුය.
ගාථාවන්හි රූපධාතුං පරිඤ්ඤාය යනු රූපය හා බැඳුණු ධර්ම ප්‍රවෘත්තිය ඤාත පරිඤ්ඤා යනාදී පරිඤ්ඤා තුනෙන් පිරිසිඳ දැන අරූපෙසු අසණ්ඨිතා යනු අරූපාවචර ධර්මයන්හි භවරාග වශයෙන් ද භව දිට්ඨි වශයෙන් ද නොපිහිටියා වූ ඇසුරු නොකළා වූ නොඇලුණා වූ. ‘අරූපෙසු අසන්‍ධිතා’ යනුවෙන් ද කියති. ඒ අර්ථයමයි. මෙපමණකින් ත්‍රෛභූමික ධර්මයන්ගේ පිරිසිඳ දැනීම කියන ලදී. නිරොධෙ යෙ විමුච්චන්ති යනු යමෙක් නිවන අරමුණු වූ අග්‍ර මාර්ග-ඵල වශයෙන් සමුච්ඡේද-පටිප්පස්සද්ධි වලින් ඉතිරි නොකොට කෙලෙසුන් කෙරෙන් මිදෙත් ද, තෙ ජනා මච්චුහායිනො යනු ඒ ගෙවා දැමූ ආශ්‍රව ඇති අය මරණය ඉක්මවූවාහුය.
මෙසේ (කාම-රූප-අරූප යන) ධාතු තුන ඉක්මවීමෙන් නිවන් අවබෝධය දක්වා මේ ප්‍රතිපදාව ද ම විසින් ගිය මාර්ගය ද ඔබලාට දේශනා කළ මාර්ගය ද වෙයි යනුවෙන් එහි ඔවුන්ගේ උත්සාහය උපදවමින් දෙවන ගාථාව වදාළහ. එහි කායෙන නාම කයින් මාර්ගඵලවලින්. ඵුස්සිත්‍වා යනු පැමිණ. නිරූපධිං යනු ස්කන්ධාදී සියලු උපධි නැති. උපධිප්පටිනිස්සග්ගං යනු ඒ උපධීන්ගේම දුරුකිරීම් කාරණය, මාර්ග ඥානයෙන් නිවන ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් සියලු උපධි දුරුකරන ලද්දාහු වෙති යන අරුතින් එය (මාර්ග ඥානය) ඒවා (උපධීන්) දුරුකරන කාරණයයි. සච්ඡිකත්‍වා යනු කලින් කල ඵලසමාපත්තියට සමවැදීමෙන් තමා ප්‍රත්‍යක්‍ෂ කොට. අනාසවො සම්මා සම්බුද්ධො යනු අනාශ්‍රව වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසොකං විරජං ශෝක නැති කෙලෙස් දූවිලි නැති ඒ නිර්වාණ පදයම දේශනා කරති. එහෙයින් එය අවබෝධ කිරීම පිණිස උත්සාහ කළ යුතුය.
දෙවන සූත්‍රය යි.
3. ප්‍රථම වේදනා සූත්‍ර වර්ණනාව
තුන්වන සූත්‍රයෙහි වෙදනා යනු අරමුණු රසය විඳිති, අනුභව කරති යන අරුතින් වේදනා නම් වේ. එය විභාග වශයෙන් (බෙදා) දක්වන්නට සුඛා වෙදනා යනාදිය කියන ලදී. එහි ‘සුඛ’ ශබ්දය වස්තු - ද්වාර වශයෙන් මුලින් කියන ලද්දේමය. ‘දුක්‍ඛ’ ශබ්දය වනාහි ‘ජාතිපි දුක්‍ඛා’ ‘ඉපදීම ද දුකය’ යනාදියෙහි දුක්ඛ වස්තුවෙහි ආයේය. ‘යස්මා ච ඛො මහාලි රූපං දුක්‍ඛං දුක්‍ඛානුපතිතං දුක්‍ඛාවක්කන්තං’ ‘මහාලිය, යම්හෙයකින් රූපය දුක ද දුක මත වැටුණේ ද දුකට බැස ගත්තේ ද’ යනාදියෙහි දුක්ඛ ආරම්මණයෙහි ආයේය. ‘දුක්ඛො පාපස්ස උච්චයො’ ‘පව් රැස්කිරිම දුකය’ යනාදියෙහි දුක්ඛ ප්‍රත්‍යයෙහි (දුකට හේතුවෙහි) ආයේය. ‘යාවඤ්‍චිදං භික්‍ඛවෙ න සුකරං අක්‍ඛානෙන පාපුණිතුං යාව දුක්‍ඛා නිරයා’ ‘මහණෙනි, නිරයවල් මෙතෙක් දුක් ඇති ඒවා යයි කීමෙන් මුදුන් පමුණුවා කියන්නට පහසු නොවේ. යන ආදියෙහි දුකට හේතුවන ස්ථානයෙහි ආයේය. ‘සුඛස්ස ච පහානා දුක්‍ඛස්ස ච පහානා’ සැප පහ කිරීමෙන් ද දුක පහ කිරීමෙන් ද යනාදියෙහි දුක්වේදනාවෙහි ආයේය. මේ සූත්‍රයෙහි ද දුක්වේදනාවෙහිම ආයේය.
වචනාර්ථ වශයෙන් සැප විඳී යන අරුතින් ‘සුඛ’ නම් වේ. දුක් විඳී යන අරුතින් දුක්‍ඛ නම් වේ. දුක් නොවේ සැප නොවේ යන අරුතින් අදුක්ඛමසුඛ නම් වේ. ‘ම’ කාරය පද සන්ධි කිරීම් වශයෙන් කියන ලදී. ඒවා අතරින් ‘සුඛය’ ප්‍රිය දේ අනුභව කිරීම ලක්‍ෂණ කොට ඇත. ‘දුක්ඛය’ අප්‍රිය දේ අනුභව කිරීම ලක්‍ෂණකොට ඇත. මේ දෙකටම වෙනස් අයුරින් අනුභව කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ ‘අදුක්ඛමසුඛය’. එහෙයින් සුඛ-දුක්ඛ වේදනාවන්ගේ උපත ප්‍රකට ය. අදුක්ඛමසුඛ වේදනාවේ උපත අප්‍රකටය. සැපය උපදින කල්හි මුළු සිරුර කළඹන්නාක් මෙන් ද මිරිකන්නාක් මෙන් ද මුළු සිරුරෙහි පැතිරෙන්නාක් මෙන් ද සියවරක් පිරිසිදු කරන ලද ගිතෙල් කවන්නාක් මෙන් ද සියවරක් සිඳින ලද තෙලක් සිරුරෙහි ගාන්නාක් මෙන් ද කලගෙඩි දහසක ජලයෙන් දාහය නිවන්නාක් මෙන් ද අනේ සැපයි අනේ සැපයි යනුවෙන් වචන කියමින්ම උපදියි. දුක උපදින කල්හි මුළු සිරුර කළඹන්නාක් මෙන් ද මිරිකන්නාක් මෙන් ද මුළු සිරුරෙහි පැතිරෙන්නාක් මෙන් ද රත් වූ කබලක් ඇතුල් වන්නාක් මෙන් ද උණුකරන ලද තඹ ලෝහ වක් කරන්නාක් මෙන් ද අනේ දුකයි අනේ දුකයි යනුවෙන් විකාර දොඩවමින්ම උපදියි. මෙසේ සුඛදුක්ඛ වේදනාවන්ගේ උපත ප්‍රකටය.
අදුක්ඛමසුඛ වේදනාව දැනගැනීම අපහසුය, අපැහැදිලිය, අඳුරුය, අප්‍රකටය. ඒ අදුක්ඛමසුඛ වේදනාව සැප-දුක් වේදනාවන් ඉවත් වූ කල්හි මිහිරි අමිහිරි දෙක ප්‍රතික්‍ෂේප කිරීම් වශයෙන් මැදහත් ආකාරයෙන් යුක්ත වූයේ න්‍යාය වශයෙන් ගන්නා වූ තැනැත්තාටම ප්‍රකට වෙයි. කෙසේද? ගල්තලාවක දෙපස මුවෙකු ගමන්ගත් අඩිපාර පෙනෙන්නට ඇතත් ගල්තලාව මතින් ගමන්කළ අඩිපාර පෙනෙන්න නැත. එහෙත් දෙපස ඇති අඩිපාර අනුසාරයෙන් ගලමතින් මුවා ගිය අඩිපාර දැනගන්නාක් මෙනි. (මුල අග පස් සහිත ප්‍රදේශයක හැසිරුණු මාර්ගය අනුව ගල්තලාවක් මතින් මුවෙකු ගිය මාර්ගය දැනගන්නාක් මෙනි) මෙසේ ඉටු-අනිටු (ප්‍රිය-අප්‍රිය) අරමුණුවල සැප දුක් විඳීමෙන් මැදහත් අරමුණ විඳීම් ස්වභාවයෙන් දැනගනු ලැබේ. මැදහත් අරමුණ ගැනීම වනාහි ප්‍රිය අප්‍රිය අරමුණු ගැනීම් නැති බැවින් ගල්තලාවක් මතින් යන ගමනක් මෙනි. එහි යම් විඳීමක් (අනුභව කිරීමක්) ඇද්ද එය අදුක්ඛමසුඛය.