9. ශික්ෂානෘශංස සූත්ර වර්ණනාව
නවවන සූත්රයෙහි සික්ඛානිසංසා යන මෙහි හික්මිය යුතු හෙයින් සික්ඛා නම් වේ. අධිසීල සික්ඛ, අධිචිත්ත සික්ඛ, අධිපඤ්ඤා සික්ඛා යනුවෙන් එය තුන්ආකාර වෙයි. ඒ ශික්ෂා ආනිශංස ද තුන් ආකාරය. ශික්ෂාවන්ට අයත් (ශික්ෂාවන් නිසා ලැබෙන) ලාභ-සත්කාර-කීර්ති යනු ශික්ෂා ආනිශංස නොවේ. විහරථ යනු ශික්ෂා ආනිශංස ඇත්තෝ වී වාසය කරව්. ශික්ෂා තුනෙහි අනුසස් දකින්නාහු වී ඒ ශික්ෂාවලින් ලැබිය යුතු අනුසස්ම දකිමින් වාසය කරව් යන අර්ථයි. පඤ්ඤුත්තරා යනු ඒ ශික්ෂා අතරින් අධි ප්රඥා ශික්ෂා නම් වූ යම් ප්රඥාවක් වේද ඒ ප්රඥාව ඒ ශික්ෂා අතරින් උසස්ය, ප්රධානය, විශිෂ්ටය යන අරුතින් පඤ්ඤුත්තරා නම් වේ. යම්කෙනෙක් ශික්ෂා ආනිශංස ඇත්තාහු වාසය කරත් ද ඔවුහු ප්රඥාව උතුම්කොට ඇත්තෝ වෙති. විමුත්ති සාරා යනු අර්හත්ඵල නම් වූ විමුක්තිය ඒවායේ සාරය හෙයින් විමුත්තිසාර නම් වේ. කියන ලද ආකාර ඇති විමුක්තියම සාර වශයෙන් ගෙන සිටියාහු යන අර්ථයි. යම් කෙනෙක් ප්රඥාව උතුම්කොට ඇති ශික්ෂානිශංසය ඇත්තෝ වෙත් ද ඔවුහු භව විශේෂයක් නො පතති. එහෙත් විභවය කැමැත්තාහු විමුක්තියම සාර වශයෙන් ප්රාර්ථනා කරති. සතාධිපතෙය්යා යනු ප්රධාන බව ඇතිකරන අර්ථයෙන් සතිය මේවා අතරෙන් අධිපතිය යන අරුතින් සතාධිපතෙය්යා නම් වේ. අධිපති යන වචනය ම අධිපතෙය්ය යනුවෙන් සිදුකොට සතර සතිපට්ඨානයන්හි පිහිටි සිත් ඇත්තාහු කායානුපස්සනාදිය මුල්කොට ගැනීමෙන් සමථ විදර්ශනා භාවනාවන්හි යෙදුණාහු යන අර්ථයි.
නොහොත් ‘සික්ඛානිසංසා’ යනු මහණෙනි, මෙබඳු දුර්ලභ මොහොතක් ලැබුණු කල්හි ත්රිවිධ ශික්ෂාවෙහි හික්මීමම ආනිශංස කොට වාසය කරව්. මෙසේ වාසය කරමින් ද ප්රඥාවට උතුම් වූ ලෝකෝත්තර ප්රඥාවෙන් යුක්ත වී වාසය කරව්. මේ ආකාරයෙන් ද යුක්තව විමුක්තිය සාරකොට නිවන සාරකොට අනිකක් සරුකොට නොගෙන වාසය කරව්. සිහිය අධිපතිකොට වාසය කරව් යන යමක් ඇද්ද එසේ වීමට මේ උපායයි. සතිපට්ඨාන භාවනාවෙහි යෙදුණාහු වව්. හැමතන්හිම සිහිය ආරක්ෂා කරන සිතින් වාසය කරව් යනුවෙන් මෙසේ මෙහි අර්ථය දතයුතුය. මෙසේ භාග්යවතුන් වහන්සේ ත්රිශික්ෂාවෙහි භික්ෂූන් යොදවමින් යම්සේ ඒ ශික්ෂා හික්මිය යුතු ද යම් අයුරකින් සම්පූර්ණ බවට යයි ද එය කෙටියෙන් දක්වා දැන් අනුශාසනා පරිදි පිළිපදින අයගේ ප්රතිඵල විශේෂය දැක්වීමෙන් ඒ ප්රතිපත්තියේ නොහිස් බව දක්වමින් ‘සික්ඛානිසංසානං’ යනාදිය වදාළහ. එය කියන ලද අර්ථ ඇත්තේමය.
ගාථාවන්හි - පරිපුණ්ණසික්ඛං යනු අග්රඵලය (රහත් ඵලය) පිණිස වන පිරිසිදු (පිරිපුන්) ශික්ෂාව, අසේඛ යන අර්ථයි. අපහාණ ධම්මං යන මෙහි කුප්ප වන විමුත්ති (වෙනස්විය හැකි විමුත්ති) වලට පහාණධම්ම යයි කියනු ලැබේ. පහාණධම්ම යනු පිරිහෙන ධර්මය, වෙනස්වන ධර්මය, පහාණධම්ම නොවන්නේ අපහාණ ධම්මය, අකුප්පධම්මය, ‘අප්පහාණ ධම්මො’ යනු ද පාළියයි. ඒ අර්ථයමයි. ක්ෂයවීමම අන්ත වූයේ = – ඛයනෙතා නම් වේ. ජාතියේ ක්ෂය වීම = ජාති ඛයනෙතා නම් වේ. නිවන ය. ක්ෂයවීම හෝ මරණය, ජාතිය ක්ෂයවීම නිවනමය. ඒ නිවන් දක්නා ලද බැවින් ජාතිඛයන්තදස්සී ය.
තස්මා යනු යම්හෙයකින් ශික්ෂාව සම්පූර්ණ කිරීමේ අවසාන ආනිශංසය මේ ජරාවේ කෙළවරවීම වේද එහෙයින්. සදා යනු හැමකල්හි. ඣානරතා යනු ලක්ෂණ උපනිධ්යානය, ආරම්මණ උපනිධ්යානය යන දෙයාකාර ධ්යානයෙහි ඇලුණාහු. එහෙයින්ම සන්සුන් වූවාහු. මාරසෙනං අභිභුය්ය යනු කෙලෙස් සේනාවෙන් ද අනන්ත (අනර්ථ) සේනාවෙන් ද සේනාසහිත වූ සතරාකාර වූ ම මාරයා ඉතිරි නැතිව ම මැඩපවත්වා, ගුණ විනාශ කිරිමෙහිදී සහායක බවට පැමිණෙන බැවින් දේවපුත්ත මාරයාට ද කෙලෙස් සේනාව යයි කියනු ලැබේ. එසේ අනන්ත වූ රෝගාදිය මෘත්යුමාරයාගේ සේනාව යයි කියනු ලැබේ. එය කී අයුරු මෙසේය.
කාමා තෙ පඨමා සෙනා දුතියා අරති වුච්චති
තතියා ඛුප්පිපාසා තෙ චතුත්ථි තණ්හා පවුච්චති
තතියා ඛුප්පිපාසා තෙ චතුත්ථි තණ්හා පවුච්චති
(මාරය) ක්ලේශකාමයෝ ඔබගේ පළමු සේනාවය. අධිකුශල ධර්මයන්හි අරතිය (නොඇල්ම) දෙවන සේනාව යයි කියනු ලැබේ. කුසගින්න හා පිපාසය යන දෙක ඔබේ තුන්වන සේනාවය. සොයන (පරියේසන) තණ්හාව ඔබේ සතරවන සේනාවයයි කියනු ලැබේ.
පඤ්චමී ථිනමිද්ධං තෙ ඡට්ඨා භීරු පවුච්චති
සත්තමී විචිකිච්ඡා තෙ මක්ඛො ථම්භො ච අට්ඨමො
සත්තමී විචිකිච්ඡා තෙ මක්ඛො ථම්භො ච අට්ඨමො
ඔබේ පස්වන සේනාව ථීනමිද්ධය යි, බිය හයවන සේනාවයයි කියනු ලැබේ. ඔබගේ සත්වන සේනාව විචිකිච්ඡාව ය. ගුණමකු බව හා තද බව ඔබගේ අටවන සේනාවයි.
ලාභො සිලොකො සක්කාරො මිච්ඡාලද්ධො ච යො යසො
යො චත්තානං සමුක්කංසෙ පරෙච අවජානති
යො චත්තානං සමුක්කංසෙ පරෙච අවජානති
ලාභය, ප්රශංසාවය, සත්කාරය, වැරදි ලෙස ලබන ලද යශසක් වේද (එය නවවැන්නය) යමෙක් තමා උසස්කොට දක්වයි නම් අනුන් පහත්කොට දක්වයි නම් (එය දසවැන්නය.)
එසා නමුචි තෙ සෙනා කණ්හස්සාභිප්පහාරිනී
න නං අසූරො ජිනාති ජෙත්වා ච ලභතෙ සුඛං
න නං අසූරො ජිනාති ජෙත්වා ච ලභතෙ සුඛං
මාරය, (මහණ බමුණන්ට) අනතුරුදායක වූ ඒ සේනා පාපී වූ ඔබගේය. ශූර නොවූ පුරුෂයා ඒ සේනාව නො දිනයි. (යලිත්) මාරසේනා ජයගෙන (මාර්ග-ඵල නම් වූ) සුවයට පැමිණෙයි.
මෙසේ ද කීහ.
අජ්ජෙව කිච්චමාතප්පං කො ජඤ්ඤා මරණං සුවෙ
න හි නො සංගරං තෙන මහා සේනෙන මච්චුනා
න හි නො සංගරං තෙන මහා සේනෙන මච්චුනා
අදම වීර්යය කළයුතුය. හෙට මරණය සිදුවේ යයි කවරෙක් දනීද? ඒ මහාසේනා ඇති මාරයා සමග අල්ලස් දීම් වශයෙන් අපගේ මිත්රත්වයක් නැත.
භවථ ජාතිමරණස්ස පාරගා යනු ඉපදීමේ ද මරණයේ ද පරතෙරට යන්නෝ නිවනට යන්නෝ වව්.
නවවන සූත්රයයි.
10. ජාගර්ය සූත්ර වර්ණනාව
දසවන සූත්රයෙහි ජාගරො යනු නො නිදා සිටින්නෙක්, පහවූ නිදි ඇත්තෙක්, නො නිදීමෙහි යෙදුනෙක්, දිවා රෑ කමටහන් මෙනෙහි කිරීමෙහි යෙදුණු කෙනෙක් යන අර්ථයි. මේ කාරණය දේශනා කරන ලදී -
‘මහණෙනි, භික්ෂුව දිවා රෑ දෙකෙහි නිදිවැරීමෙහි යෙදුණු කෙනෙක් වන්නේ කෙසේද? ‘මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව දිවාකාලයෙහි සක්මන් කිරිමෙන් හා හිඳීමෙන් ද නීවරණ ධර්මවලින් සිත පිරිසිදු කරයි. රාත්රියෙහි පළමුවන යාමයෙහි සක්මන් කිරිමෙන් ද හිඳීමෙන් ද නීවරණ ධර්මවලින් සිත පිරිසිදු කරයි. රාත්රියෙහි මධ්යම යාමයෙහි දකුණු ඇලයට හැරීමෙන් දකුණු පය මත වම් පය මදක් ඈත්කොට තබා සිහි නුවණින් යුක්ත වූයේ අවදිවන හැඟීම මෙනෙහි කොට (සිතේ තබා) සිංහ සෙය්යාවෙන් නිදයි. රාත්රියෙහි පශ්චිම (අවසන්) යාමයෙහි නැගිට සක්මන් කිරීමෙන් ද හිඳීමෙන් ද නීවරණ ධර්මවලින් සිත පිරිසිදු කරයි. මෙසේ භික්ෂුව දිවා රෑ දෙකෙහි නිදිවැරීමෙහි යෙදුණු කෙනෙක් වෙයි’ යනුවෙන්
‘ච’ ශබ්දය එක්කිරීම් අර්ථ ඇත්තේය. ඒ ‘ච’ ශබ්දයෙන් කියන්නා සති ආදී ස්වභාවයන් සම්පිණ්ඩනය (එක් කිරීම) කරයි. අස්සා යනු (සියා) වන්නේය යන අර්ථයි. ‘ජාගරො ච භික්ඛු විහරෙය්ය’ යනුවෙන් ද කියති. හැමතන්හි ද හැමදාම ද කමටහන දුරු නොකිරීම් වශයෙන් සිහියෙන් වෙන්නොවී වාසය කිරීමෙන් සතො සිහි ඇත්තෙක් වන්නේය. සම්පජානො යනු (අභික්කන්තෙ පටික්කන්තේ යනාදී වශයෙන්) සත්තැනක පිහිටියා වූ ද (කායානුපස්සනා සතිපට්ඨානාදී වශයෙන්) සතර තැනක පිහිටියා වූ ද නුවණින් යුක්ත වීම් වශයෙන් නුවණින් යුක්ත වන්නේය. සමාහිතො යනු උපචාර සමාධියෙන් ද අර්පණා සමාධියෙන් ද සමාහිත වූවෙක් එකඟ වූ සිත් ඇත්තෙක් වන්නේය. මුදිතො යනු ප්රතිපත්තියේ අනුසස් දැකීමෙන් මතුමත්තෙහි ඇති විශේෂයන් අවබෝධ කිරීමෙන් වීර්ය ආරම්භයට ද නො හිස් බව දැකීමෙන් ද සතුටු වූවෙක් ප්රමෝදය බහුල වූවෙක් වන්නේය. විප්පසන්නො යනු එහෙයින්ම ප්රතිපත්ති වූ ශික්ෂාවන්හි ද ප්රතිපත්තිය දේශනා කරන්නා වූ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ද ශ්රද්ධාව බහුල බැවින් හොඳින් ප්රසන්න වූවෙක් වන්නේය. හැමතන්හි අස්සා = වන්නේය යන්න හෝ විහරෙය්ය = වාසය කරන්නේය යන්න සම්බන්ධ වෙයි.