10. ජාගර්ය සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයෙහි ජාගරො යනු නො නිදා සිටින්නෙක්, පහවූ නිදි ඇත්තෙක්, නො නිදීමෙහි යෙදුනෙක්, දිවා රෑ කමටහන් මෙනෙහි කිරීමෙහි යෙදුණු කෙනෙක් යන අර්ථයි. මේ කාරණය දේශනා කරන ලදී -
‘මහණෙනි, භික්‍ෂුව දිවා රෑ දෙකෙහි නිදිවැරීමෙහි යෙදුණු කෙනෙක් වන්නේ කෙසේද? ‘මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව දිවාකාලයෙහි සක්මන් කිරිමෙන් හා හිඳීමෙන් ද නීවරණ ධර්මවලින් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි පළමුවන යාමයෙහි සක්මන් කිරිමෙන් ද හිඳීමෙන් ද නීවරණ ධර්මවලින් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි දකුණු ඇලයට හැරීමෙන් දකුණු පය මත වම් පය මදක් ඈත්කොට තබා සිහි නුවණින් යුක්ත වූයේ අවදිවන හැඟීම මෙනෙහි කොට (සිතේ තබා) සිංහ සෙය්‍යාවෙන් නිදයි. රාත්‍රියෙහි පශ්චිම (අවසන්) යාමයෙහි නැගිට සක්මන් කිරීමෙන් ද හිඳීමෙන් ද නීවරණ ධර්මවලින් සිත පිරිසිදු කරයි. මෙසේ භික්‍ෂුව දිවා රෑ දෙකෙහි නිදිවැරීමෙහි යෙදුණු කෙනෙක් වෙයි’ යනුවෙන්
‘ච’ ශබ්දය එක්කිරීම් අර්ථ ඇත්තේය. ඒ ‘ච’ ශබ්දයෙන් කියන්නා සති ආදී ස්වභාවයන් සම්පිණ්ඩනය (එක් කිරීම) කරයි. අස්සා යනු (සියා) වන්නේය යන අර්ථයි. ‘ජාගරො ච භික්‍ඛු විහරෙය්‍ය’ යනුවෙන් ද කියති. හැමතන්හි ද හැමදාම ද කමටහන දුරු නොකිරීම් වශයෙන් සිහියෙන් වෙන්නොවී වාසය කිරීමෙන් සතො සිහි ඇත්තෙක් වන්නේය. සම්පජානො යනු (අභික්කන්තෙ පටික්කන්තේ යනාදී වශයෙන්) සත්තැනක පිහිටියා වූ ද (කායානුපස්සනා සතිපට්ඨානාදී වශයෙන්) සතර තැනක පිහිටියා වූ ද නුවණින් යුක්ත වීම් වශයෙන් නුවණින් යුක්ත වන්නේය. සමාහිතො යනු උපචාර සමාධියෙන් ද අර්පණා සමාධියෙන් ද සමාහිත වූවෙක් එකඟ වූ සිත් ඇත්තෙක් වන්නේය. මුදිතො යනු ප්‍රතිපත්තියේ අනුසස් දැකීමෙන් මතුමත්තෙහි ඇති විශේෂයන් අවබෝධ කිරීමෙන් වීර්ය ආරම්භයට ද නො හිස් බව දැකීමෙන් ද සතුටු වූවෙක් ප්‍රමෝදය බහුල වූවෙක් වන්නේය. විප්පසන්නො යනු එහෙයින්ම ප්‍රතිපත්ති වූ ශික්‍ෂාවන්හි ද ප්‍රතිපත්තිය දේශනා කරන්නා වූ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ද ශ්‍රද්ධාව බහුල බැවින් හොඳින් ප්‍රසන්න වූවෙක් වන්නේය. හැමතන්හි අස්සා = වන්නේය යන්න හෝ විහරෙය්‍ය = වාසය කරන්නේය යන්න සම්බන්ධ වෙයි.
තත්‍ථ කාලවිපස්සී ච කුසලෙසු ධම්මෙසු යනු එකල්හි විදර්ශනා වඩන්නෙක් වන්නේය. එහි එනම් කර්මස්ථානයෙහි යෙදීමෙහි කාලවිපස්සී කෙනෙක් කාලයට අනුරූපව විදර්ශනා කරන්නෙක් වන්නේය. කුමක් කියන ලද්දේ ද? විදර්ශනාව පටන්ගෙන කලාප සිහිකිරීම් ආදී වශයෙන් සිහිකරන්නේ ආවාස ආදී අසප්පාය හත දුරුකොට සප්පාය (සුදුසු දේ) ඇසුරු කරමින් අතරතුර අවසානයකට නොපැමිණ වීර්ය වඩන්නේ සිතේ එකඟ ආකාරය සලකමින් සකස්කොට නිරතුරුව අනිත්‍ය අනුපස්සනාදිය පවත්වන්නෙක් වන්නේය. යම්කලෙක විදර්ශනා සිත හැකිළුණේ වෙයිද එකල්හි ධම්මවිචය - විරිය - පීති නම් වූ ද යම්කලෙක සිත විසිරුණේද එකල්හි පස්සද්ධි - සමාධි - උපෙක්ඛා නම් වූ ද කුශල වූ නිවැරදි වූ බොජ්ඣංග ධර්ම කෙරෙහිදැයි මෙසේ ඒ ධර්ම කෙරෙහි ඒ කාලයෙහි ඒ කර්මස්ථානයෙහි යෙදෙන කල්හි හෝ කාලයට අනුරූප වූ විදර්ශකයෙක් වන්නේය. සතිසම්බොජ්ඣංගය වනාහි හැමතන්හිම කැමති විය යුතුය. ‘සතිඤ්ච ඛ්වාහං භික්‍ඛවෙ සබ්බත්‍ථිකං වදාමි’ යනුවෙන් ඒ කාරණය දේශිතය. මෙපමණකින් පුද්ගලයා මුල්කොටගත් දේශනාවෙන් නිදිවැරිම දක්වා යම් ධර්මයන් නිසා ජාගරියානුයෝගය සම්පූර්ණ වේ නම් ඒ ධර්ම වදාළහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඇරඹූ විදර්ශනාව ඇති භික්‍ෂුවට කෙටියෙන්ම උපකාරක ධර්මයන් සමග සිහිකරන ධ්‍යාන (සම්මසනජ්ඣානං) (සම්මසනවාරං = සිහිකරන වාර හෝ) දක්වා දැන් එසේ පිළිපදින තැනැත්තාට ප්‍රතිපත්තියේ වඳ නැති බව දක්වමින් ජාගරස්ස භික්‍ඛවෙ භික්‍ඛුනො යනාදිය වදාළහ. ඒ ජාගරියානු යෝගයෙහි සිහි නුවණ සමාදානය සියලු අර්ථය ඇතිකරන සතුට හා ප්‍රසාදය (ශ්‍රද්ධාව) ගෙන දෙන්නේය (උපදවන්නේය). එහි කාල විපස්සනාව නම් විදර්ශනාවේ ගැබ් ගැනීමයි. මුහුකුරා යාමයි. උපක්ලේශවලින් මිදුණු වීථියට පිළිපන් විදර්ශනා ඥානයෙහි තියුණු වූ ශූර වූ විදසුන් නුවණ උසුලන්නා වූ කල්හි යෝගියාට උසස් වූ සතුට ද ප්‍රසාදය ද ඇතිවෙයි. ඒවා ද විශේෂ අවබෝධය ලබන්නාගේ සමීපයෙහිම වෙයි. ඒ කාරණය
යතො යතො සම්මසති ඛන්‍ධානං උදයබ්බයං
ලභතෙ පීති පාමොජ්ජං අමතං තං විජානතං
පාමොජ්ජ බහුලො භික්‍ඛු පසන්නො බුද්ධසාසනෙ
අධිගච්ඡෙ පදං සන්තං සංඛාරූපසමං සුඛං
‘යම් යම් කලෙක පංචස්කන්ධයන්ගේ ඇතිවීමද නැතිවීමද සලකා බලයි ද එකල්හි ධර්මය නිසා ප්‍රීතියද ප්‍රමෝදය (සතුට) ද ලබයි. එය නුවණැති අයට අමෘතයයි.’
(ස්වභාවයෙන්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි) සතුට බහුල වූ බුදු සසුනෙහි පැහැදුණු භික්‍ෂුව සංස්කාරයන්ගේ සන්සිඳීම වන සැප වූ ශාන්ත පදයට (නිවනට) පැමිණෙන්නේය’යි කියන ලදී.
ගාථාවන්හි - ජාගරන්තා සුණාථෙතං යනු ඒ මගේ වචනය ඒකාන්තයෙන්ම ප්‍රමාද නින්දෙන් අවිද්‍යා නින්දෙන් අවදිවීම පිණිසය. නිදිවැරීමෛහි යෙදුනා වූ ඔබලා සිහිනුවණ ආදී ධර්ම සමඟ යෙදීමෙන් නිදිවැරීමෙහි යෙදුනාහු අසව්. යෙ සුත්තා තෙ පබුජ්ඣථ යනු යමෙක් කියන ලද ආකාර ඇති නින්දෙන් නිදා ගත්තාහු ද නින්දට ගිය ඒ ඔබලා නිදි වැරීමෙහි යෙදීම් වශයෙන් ඉන්‍ද්‍රිය-බල-බොජ්ඣංගයන් එක්කොට විදර්ශනාවට උත්සාහ ඇතිකරවමින් අප්‍රමාද ප්‍රතිපත්තිය වූ එයින් අවදිවව්. නොහොත් ‘ජාගරන්තා’ යනු ජාගර නිමිත්තය (නිදිවැරීමෙහි කාරණයයි) ‘සුණාථෙතං’ යන මෙහි ‘එතං’ යනු කියන ලද වචනයයි. ඒ වචනය කුමක්දැයි කීහ. ‘යෙ සුත්තා තෙ පබුජ්ඣථ? යනාදියයි. එහි යෙ සුත්තා යනු යමෙක් කෙලෙස් නින්දෙන් නිදිගත්තාහුද ඒ ඔබලා ආර්ය මාර්ගය අවබෝධයෙන් අවදි වව්. සුත්තා ජාගරිතං සෙය්‍යො යනු අවදිවීමට මේ හේතුවන වචනයයි. යම්හෙයකින් කියන ලද ආකාර ඇති නින්දට වඩා කියන ලද ආකාර ඇති නිදි වැරිම ප්‍රයෝජන කැමති කුලපුත්‍රයාට ශ්‍රේෂ්ඨය. වඩා පැසසිය යුත්තකි, හිතසැප ගෙන දෙන්නේය. එහෙයින් අවදි වව්. නත්‍ථි ජාගරතො භයං යනු මේ එහි අනුසස් දැක්වීමයි. යම් පුද්ගලයෙක් ශ්‍රද්ධාදී නිදිවැරීමට හේතුවන (ජාගරණ) ධර්මවලින් යුක්තව නිදිවැරිම පෝෂණය කරයි ද පමා නින්දට නො එළඹෙයි ද ඔහුට අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩභය, දුග්ගති භය, ජාති ආදී නිමිති, සියලුම සසර භය නැත.