11. ආපායික සූත්ර වර්ණනාව
එකොළොස්වන සූත්රයෙහි ආපායිකා යනු අපායෙහි උපදින්නාහුය යන අරුතින් ආපායිකා නම් වේ. එහිම නිරයෙහි උපදින්නාහුය යන අරුතින් නෙරයිකා නම් වේ. ඉදමප්පහාය දැන් මේ කියන්නා වූ දෙයාකාර පාපයෙහි හැසිරීම අත්නොහැර, එසේ පිළිපැදීම් වශයෙන් එසේ උත්සාහ කිරීම් වශයෙන් පැවති වචනය ද සිත ද දෘෂ්ටිය ද අත්නොහැර යන අර්ථයි. අබ්රහ්මචාරි යනු උතුම් ලෙස ශ්රේෂ්ඨ ලෙස හැසිරෙයි යන අරුතින් බ්රහ්මචාරී වෙයි. උතුම් වූ ශ්රේෂ්ඨ වූ ආචාරය මොහුට ඇත්තේය යන අරුතින් බ්රහ්මචාරී වෙයි. බ්රහ්මචාරි නොවන්නේ අබ්රහ්මචාරිය. බ්රහ්මචාරියකු ලෙස හැසිරෙන දුස්සීලයා ය යන අර්ථයි. බ්රහ්මචාරි පටිඤ්ඤො යනු මම බ්රහ්මචාරියෙක් වෙමියි ප්රතිඥා ඇත්තා වූ (කියන්නා වූ), පරිපුණ්ණං යනු කැඩීම් ආදියක් නැති බැවින් අඩු නොවූ පරිසුද්ධං යනු උපක්ලේශ නැති බැවින් පිරිසිදු වූ. අමූලකෙන යනු දැකීම් ආදී මුල් නැති, දක්නා ලද, අසන ලද, සැක කරන ලද යන මේ චෝදනා මුල්වලින් තොර. අබ්රහ්මචරියෙන යනු උතුම් නොවූ හැසිරිමෙන්. අනුද්ධංසෙති යනු මොහු පිරිසිදුයයි දකිමින්ම පාරජිකාවට හේතුවන කාරණයකින් පහරදෙයි හෝ චෝදනා කරයි හෝ ආක්රෝශ කරයි හෝ.
ගාථාවන්හි - අභූතවාදී යනු අනිකෙකුගේ දෝසයක් නොදැකම ඇති නොවූ කරුණකින් හිස් කරුණකින් බොරුවට අනිකෙකුට බොරු චෝදනා කරන තැනැත්තා. කත්වා යනු යමෙක් වනාහි පව්කමක් කොට මම එය නොකළෙමියි කියයි. උභො පි තෙ පෙච්ච සමා භවන්ති යනු ඒ දෙදෙනාම මෙලොවින් පරලොවට ගොස් නිරයට එළඹීම් වශයෙන් ගතියෙන් (උපතින්) සමාන වෙති. එහි උපතම ඔවුන්ගේ සීමාවයි. ආයුෂය නොවේ. බොහෝ පව්කොට බොහෝකලක් පැසෙයි. පව් ස්වල්පයක් සිදු කොට ස්වල්ප කාලයක්ම පැසෙයි. යම් හෙයකින් ඔවුන් දෙදෙනාගේම කර්මය ලාමකම වේද එහෙයින් නිහීන කම්මා මනුජා පරත්ථ යි දේශනා කරන ලදී. ‘පරත්ථ’ යන පදයට පරව (පසුව) පෙච්ච යන පදය සම්බන්ධ වේ. පරලොවදී මෙයින් මියගොස් ඒ පහත් කර්ම ඇති අය සමාන වෙති.
මෙසේ භාග්යවතුන් වහන්සේ බොරුවෙන් චෝදනා කිරීම් වශයෙන්ද ඇති දොස් වැසීම් වශයෙන් ද පැවති බොරුවේ විපාක දක්වා දැන් එතැන හුන්නා වූ බොහෝ පාප භික්ෂූන්ගේ දුශ්චරිත කර්මයට විපාක දැක්වීම් වශයෙන් සංවේගය ඇතිකිරීම පිණිස ගාථා දෙකක් වදාළහ. එහි කාසාවකණ්ඨා යනු පඬු පොවන ලද කහවතින් වෙළන ලද බෙල්ල ඇති (උරහිසෙහි දැමූ කහවත ඇති) පාපධම්මා යන ලාමක ධර්ම. අසඤ්ඤතා යනු කායාදියෙන් සංවරයක් නැති. පාපා යනු එබඳු වූ පාප පුද්ගලයෝ. පාපෙහි කම්මෙහි පව්කම්වලින් උපත ලබා ‘තස්ස කායොපි ආදිත්තො සම්පජ්ජලිතො සජොතිභූතො සංඝාටිපි ආදිත්තා’ ‘ඔහුගේ කයද ඇවිල ගත්තේය. ගිනි දැල්වුණේය. ගින්නෙන් බැබලුණේය. සංඝාටිය (දෙපට සිවුර) ද ඇවිල ගත්තේය ආදි වශයෙන් ලක්ඛන සංයුත්තයෙහි කියන ලද ක්රමයෙන් මහා දුක් අනුභව කරත්මය.
තෙවන ගාථාවෙහි මේ කෙටි අර්ථයයි. යඤ්චෙ භූඤ්ජෙය්ය දුස්සලො සිල් නැති පුද්ගලයා කායාදියෙන් අසඤ්ඤතො සංවර නැත්තේ රටවැසියන් විසින් සැදැහැයෙන් දෙන ලද යම් රට්ඨපිණ්ඩං ආහාරයක් මම ශ්රමණයෙක් වෙමියි ප්රතිඥා දෙන පුද්ගලයා ගෙන වළඳන්නේ නම්, එයට වඩා ගිනිගත් ගින්දර පැහැය ඇති යකඩ ගුලියක් අනුභව කරන ලද්දේම සෙය්යො වඩා යහපත්ය. කුමක් නිසාද? ඒ හේතුවෙන් එකම ආත්ම භාවයක් දැවෙන්නේය. දුශ්ශීලයෙක් වී සැදැහැයෙන් දෙන දෙය අනුභවකොට නොයෙක් සියගණන් ජාතිවලදී නිරයෙහි උපදින්නේය.
එකොළොස්වන සූත්රයයි.
12. දෘෂ්ටිගත සූත්ර වර්ණනාව
දොළොස්වන සූත්රයෙහි - ද්වීහි දිට්ඨිගතෙහි යන මෙහි දිට්ඨි දිට්ඨිගත නම් වේ. ‘ගූථගතං මුත්තගතං’ යනාදියෙහි මෙනි. ගන්නා ලද ආකාරයෙන් හිස් බැවින් දෘෂ්ටීන්ට ගිය මාත්රය යන අරුතින් දිට්ඨිට්ඨාන දිට්ඨිගත නම් වේ. ඒ දෘෂ්ටීන්ගෙන්. පරියුට්ඨිතා යනු මඩිනා ලද හෝ පීඩාවන්ට පත් ‘චොරා මග්ගෙ පරියුට්ඨිංසු’ ‘සොරු (අන්යයන්ට) බාධාකාරි ලෙස මාර්ගයෙහි නැගීසිටියහ. යනාදියෙහි මෙන් පරියුට්ඨාන ශබ්දය බාධා අර්ථයෙහි හෝ වෙයි. දෙවා යනු උත්පත්ති දෙවියෝය. ඔවුහු වනාහි උසස්ම කාම ගුණවලින් (කාම සම්පත්වලින්) ක්රීඩාකරත් (විනෝද වෙත්) ධ්යානාදියෙන් ද ක්රීඩා කරත් (සතුටු වෙත්) ඍද්ධි ආනුභාවයෙන් කැමති කැමති ප්රයෝග කරා යති ප්රයෝජන ලබති යන අරුතින් ද ඔවුහු දෙවිවරු යයි කියනු ලැබෙති. මනසින් අධික වූ බැවින් මනුෂ්ය නම් වේ. (මනසා උස්සන්නත්තා = මනුස්සා) මෙය උසස් ලෙසින් දැක්වීම් වශයෙන් කියන ලදී. ‘සත්ථා දෙවමනුස්සානං’ යන්නෙහි මෙනි. ඔලීයන්ති එකෙ යනු ‘සස්සතො අත්තා ව ලොකො ච’ ‘ආත්මය ද ලෝකය ද ශාස්වතයයි භවයන්හි (ඔලීයන අභිනිවෙස වූ) ඇලීම දැඩිව ගැනීම වූ ශාස්වත භාවයෙන් ඇතැම් දෙවියෝ ද ඇතැම් මිනිස්සු ද ඇලෙති, හැකිලීමට පැමිණෙති, එයින් නො මිදෙති. අතිධාවන්ති යනු පරමාර්ථ වශයෙන් බිඳුණු ස්වභාව ඇති ස්වභාව ධර්මයන්ට ඵල ස්වභාවයෙන් සම්බන්ධ වන යම් මේ හේතුවක් වේද, එය නොගෙන නානත්ත න්යාය ගැනීමෙන් ඒ ඒ තැන්හිම දුවති. එහෙයින් ආත්මයත් ලෝකයත් සහමුලින් සිඳෙයි, මරණින් පසු ආත්මයත් ලෝකයත් නොවේයැයි උච්ඡේදයෙහි හෝ භව නිරෝධ ප්රතිපත්තියෙහි ප්රතික්ෂේප කරන ධර්මතාව අතිධාවනය කරත්. ඉක්මවා යති. චක්ඛුමන්තො ච පස්සන්ති ‘ච’ ශබ්දය අතිරේක අර්ථයෙහි ය. පූර්වයෝග සම්පත්තියෙන් නුවණ මුහුකුරා යාමෙන් ප්රඥාවෙන් ඇස් ඇත්තා වූ දෙවි මිනිස්සු ඒ නුවණැසින්ම ශාස්වත උච්ඡේද යන අන්ත දෙකට නොගොස් මධ්යම ප්රතිපත්තිය දැකීමෙන් ප්රත්යක්ෂ කරති. ඔවුහු මේ නාමරූප මාත්රයක් ය. ප්රත්යයෙන් හටගත්තේය. එහෙයින් ශාස්වත ද නොවේ, උච්ඡේදයක් ද නොවේයයි නොවෙනස් අයුරින් දකිති.