12. දෘෂ්ටිගත සූත්‍ර වර්ණනාව
දොළොස්වන සූත්‍රයෙහි - ද්වීහි දිට්ඨිගතෙහි යන මෙහි දිට්ඨි දිට්ඨිගත නම් වේ. ‘ගූථගතං මුත්තගතං’ යනාදියෙහි මෙනි. ගන්නා ලද ආකාරයෙන් හිස් බැවින් දෘෂ්ටීන්ට ගිය මාත්‍රය යන අරුතින් දිට්ඨිට්ඨාන දිට්ඨිගත නම් වේ. ඒ දෘෂ්ටීන්ගෙන්. පරියුට්ඨිතා යනු මඩිනා ලද හෝ පීඩාවන්ට පත් ‘චොරා මග්ගෙ පරියුට්ඨිංසු’ ‘සොරු (අන්‍යයන්ට) බාධාකාරි ලෙස මාර්ගයෙහි නැගීසිටියහ. යනාදියෙහි මෙන් පරියුට්ඨාන ශබ්දය බාධා අර්ථයෙහි හෝ වෙයි. දෙවා යනු උත්පත්ති දෙවියෝය. ඔවුහු වනාහි උසස්ම කාම ගුණවලින් (කාම සම්පත්වලින්) ක්‍රීඩාකරත් (විනෝද වෙත්) ධ්‍යානාදියෙන් ද ක්‍රීඩා කරත් (සතුටු වෙත්) ඍද්ධි ආනුභාවයෙන් කැමති කැමති ප්‍රයෝග කරා යති ප්‍රයෝජන ලබති යන අරුතින් ද ඔවුහු දෙවිවරු යයි කියනු ලැබෙති. මනසින් අධික වූ බැවින් මනුෂ්‍ය නම් වේ. (මනසා උස්සන්නත්තා = මනුස්සා) මෙය උසස් ලෙසින් දැක්වීම් වශයෙන් කියන ලදී. ‘සත්‍ථා දෙවමනුස්සානං’ යන්නෙහි මෙනි. ඔලීයන්ති එකෙ යනු ‘සස්සතො අත්තා ව ලොකො ච’ ‘ආත්මය ද ලෝකය ද ශාස්වතයයි භවයන්හි (ඔලීයන අභිනිවෙස වූ) ඇලීම දැඩිව ගැනීම වූ ශාස්වත භාවයෙන් ඇතැම් දෙවියෝ ද ඇතැම් මිනිස්සු ද ඇලෙති, හැකිලීමට පැමිණෙති, එයින් නො මිදෙති. අතිධාවන්ති යනු පරමාර්ථ වශයෙන් බිඳුණු ස්වභාව ඇති ස්වභාව ධර්මයන්ට ඵල ස්වභාවයෙන් සම්බන්ධ වන යම් මේ හේතුවක් වේද, එය නොගෙන නානත්ත න්‍යාය ගැනීමෙන් ඒ ඒ තැන්හිම දුවති. එහෙයින් ආත්මයත් ලෝකයත් සහමුලින් සිඳෙයි, මරණින් පසු ආත්මයත් ලෝකයත් නොවේයැයි උච්ඡේදයෙහි හෝ භව නිරෝධ ප්‍රතිපත්තියෙහි ප්‍රතික්‍ෂේප කරන ධර්මතාව අතිධාවනය කරත්. ඉක්මවා යති. චක්‍ඛුමන්තො ච පස්සන්ති ‘ච’ ශබ්දය අතිරේක අර්ථයෙහි ය. පූර්වයෝග සම්පත්තියෙන් නුවණ මුහුකුරා යාමෙන් ප්‍රඥාවෙන් ඇස් ඇත්තා වූ දෙවි මිනිස්සු ඒ නුවණැසින්ම ශාස්වත උච්ඡේද යන අන්ත දෙකට නොගොස් මධ්‍යම ප්‍රතිපත්තිය දැකීමෙන් ප්‍රත්‍යක්‍ෂ කරති. ඔවුහු මේ නාමරූප මාත්‍රයක් ය. ප්‍රත්‍යයෙන් හටගත්තේය. එහෙයින් ශාස්වත ද නොවේ, උච්ඡේදයක් ද නොවේයයි නොවෙනස් අයුරින් දකිති.
මෙසේ හැකිලීම් ආදී වශයෙන් දක්වන ලද පුද්ගලයන් මුල්කොටගෙන දක්වන්නට ‘කථඤ්ච භික්‍ඛවෙ’ යනාදිය කියන ලදී. එහි භව යනු කාම භවය, රූප භවය, අරූප භවයයි. වෙනත් භව තුනක්ද ඇත. සඤ්ඤීභවය, අසඤ්ඤීභවය, නේවසඤ්ඤී නාසඤ්ඤීභවයයි. තවත් භව තුනක් ඇත. ඒකවෝකාර භවය, චතුවෝකාර භවය, පංචවෝකාර භවයයි මේ භව කරණකොට ඇලෙති, සතුටුවෙති යන අරුතින් භවාරාමා නමි. භවයන්හි ඇලුණාහු විශේෂයෙන් ඇලුණාහු යන අරුතින් භවාරතා නමි. භවයන්හි හොඳින් සතුටට පත්වූවාහු යන අරුතින් භව සම්මුදිතා නමි. භව නිරෝධාය යනු ඒ භවයන්ගේ අතිශයින් නිරෝධය පිණිස නූපදීම පිණිස. ධම්මෙ දෙසියමානෙ යනු තථාගතයන් වහන්සේ දේශනා කළ නෛර්යානික (සසර දුකින් එතෙර කරවන) ධර්මය දෙසන කල්හි. න පක්‍ඛන්‍දති යනු ශාස්වතයට ඇලීසිටින බැවින් හැකිළුණු ස්වභාව ඇති බැවින් ඇතුල් නොවෙයි, බැස නොගනී. න පසීදති යනු ප්‍රසාදයට නොපැමිණෙයි, එය නො අදහයි. න සන්තිට්ඨති යනු ඒ දේශනාවෙහි නොසිටියි. නාධිමුච්චති යනු නොපිහිටයි. මෙසේ ශාස්වතයට ඇලී සිටීම් වශයෙන් භවයන්හි හැකිළීමට යති.
අට්ටීයමානා යනු භවයෙහි ජරා - රෝග, මරණාදිය ද වධ-බන්ධන-ඡේදන (මැරීම්, සිරකිරීම්, කැපීම්) ආදිය ද දැක එම කරුණුවලින් විද්‍යමාන වීමෙන් යුක්තවීමෙන්, භවෙන භවයෙන් පෙළනු ලබන්නාහු දුකට පත්කළාහු, හරායමානා යනු ලජ්ජා වන්නාහු ජිගුච්ඡමානා පිළිකුලෙන් ගෙනයන්නාහු (දැවෙන්නාහු). විභවං යනු උච්ඡේදය. අභිනන්‍දන්ති යනු තණ්හා දිට්ඨි අභිනන්දනවලින් එයට බැසගෙන සතුටු වෙත්. යතො ඛො කිර භො යනාදිය ඔවුන්ගේ සතුටුවන ආකාරය දැක්වීමයි. එහි ‘යතො’ යනු යදා = යම්කලෙක ‘භො’ යනු ඇමතීමයි. අයං අත්තා යනු කාරක (කරන්නා) ආදී ස්වභාවයෙන් තමා විසින් පරිකල්පනය කරන (සිතන) ලද දෙය සඳහා කියයි. උච්ඡිජ්ජති යනු සිඳෙය. විනස්සති යනු නො පෙනේ. විනාශ භාවයට යයි. න හොති පරම්මරණා යනු මරණින් මතු නොවෙයි. එතං සන්තං යනු තමාගේ උච්ඡේදාදි වූ මෙය සියලු භවය සන්සිඳීම් වශයෙන් ද සියලු තැවීම් සන්සිඳීම් වශයෙන් ද ශාන්ත ය. ශාන්ත බැවින්ම පණීතං ප්‍රණීතය. එය නොවෙනස්වන ස්වභාවයෙන් යාථාවං වෙයි. එහි ‘සන්තං, පණීතං’ යන මේ දෙක තණ්හාභිනන්දනයට (තණ්හාවෙන් සතුටුවීමට) කියත්. ‘යාථාවං’ යන්න දිට්ඨි අභිනන්දනයට කියති. එවං යනු කියන ලද ආකාර ඇති උච්ඡේදයට බැසගැනීමෙන්.
භූතං යනු ස්කන්ධ පංචකයයි. එය වනාහි ප්‍රත්‍යයෙන් හටගත් බැවින් ද පරමාර්ථ වශයෙන් විද්‍යාමාන (ඇති) බැවින් ද භූතං යනුවෙන් කියනු ලැබේ. එහෙයින් ‘භූතමිදං භික්‍ඛවෙ සමනුපස්සථ’ යි වදාළහ. භූත (හටගත් එකක්) වශයෙන්, නොවෙනස් වූ ස්වභාව වශයෙන් ස්වලක්‍ෂණ වශයෙන් සාමාන්‍ය ලක්‍ෂණ වශයෙන් ද දකියි. මේ ස්කන්ධ පංචකය නාමරූප මාත්‍රයකි. එහි මේ පඨවි ආදී ධර්ම රූපය යි. මේ ඵස්සාදී ධර්ම නාමයයි. මේවා ඒවායේ ලක්‍ෂණාදියයි. මේවා ඒවායේ අවිද්‍යාදී ප්‍රත්‍යයයි මෙසේ ප්‍රත්‍යය සහිතව නාමරූප දැකීම් වශයෙන් ද මේ සියලුම ධර්මයෝ නොවී හටගනිත්. හටගෙන නැතිවෙත්. එහෙයින් අනිත්‍යය, අනිත්‍ය බැවින් දුක්ය. දුක් බැවින් අනාත්මයයි මෙසේ අනිත්‍යානුපස්සනාදී වශයෙන් ද දකියි යන අර්ථයි. මෙපමණකින් තරුණ විදර්ශනාව කෙළවර වූ විදර්ශනා භූමිය දක්වන ලදී. නබ්බිදාය යනු භූත නම් වූ උපන් ත්‍රෛභූමක ධර්මයන් පිළිබඳ කලකිරීම පිණිස, එයින් බලවත් විදර්ශනාව දක්වයි. විරාගාය යනු විරාගය පිණිස නොඇලීම පිණිස, මෙයින් මාර්ගය දක්වයි. නිරොධාය යනු නිරෝධය පිණිස, මෙයින් ද මාර්ගයම දක්වයි. ‘නිරෝධාය’ යනු පටිපස්සද්ධි නිරෝධය සමඟ අනුපාදිසේස නිවන දක්වයි. එවං චක්‍ඛුමනෙ පස්සන්ති යනු මෙසේ නුවණැස ඇත්තේ පූර්වභාග සහිත මාර්ග ප්‍රඥා ඇසින් චතුස්සත්‍ය ධර්මය දකිති.