8. ප්රතිසංලයන සූත්ර වර්ණනාව
අටවන සූත්රයෙහි පටිසල්ලානරාමා යනු ඒ ඒ සත්ත්ව-සංඛාරවලින් ආපසු හැරී සැඟවීම (විවේකයට පත්වීම) පටිසල්ලානයයි. තනිව විසීම, එකත්පසෙක ඇසුර, කාය විවේකය යන අර්ථයි. ඒ විවේකයට ඇලෙත්. රුචිකරත් යන අරුතින් ‘පටිසල්ලානරාමා’ නම් වේ. ‘පටිසල්ලානාරාමා’ යනුවෙන් ද පාඨයකි. කියන ලද ආකාර ඇති පටිසල්ලානයට (විවේකයට) මොවුන්ගේ රමණය කිරීම් වශයෙන් ඇලීම (ආරාමය) ‘පටිසල්ලානාරාමා’ නම් වේ. විහරථ යනු මේ ආකාරයට පත්වී වාසය කරව් යන අර්ථයි. පටිසල්ලානයෙහි ඇලුණාහු සතුටු වූවාහු පටිසල්ලානරතා නම් වේ. මෙපමණකින් ජාගරියානු යෝගය (නිදි දුරුකිරීම) ද එයට නිමිත්ත වූ කයින් හුදකලා බව ද දක්වන ලදී. ජාගරියානුයෝගය, සීල සංවරය, ඉඳුරන්හි වසන ලද දොරටු ඇති බව, ආහාරයෙහි පමණ දන්නා බව, සිහිනුවණ යන මේ ධර්මයන්ගෙන් තොරව විවේකයෙහි ඇලීම නොපවතින හෙයින් ඒවාද මෙහි අර්ථ වශයෙන් කියන ලද්දේමයයි දතයුතුය.
අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තා යනු තමාගේ චිත්ත සමථයෙහි යෙදුණාහු. අජ්ඣත්තං යනු ද අත්තනෝ යනු ද එක අර්ථ ඇත්තේය. අකුරු පමණක්ම වෙනස්ය. මෙය සත්තමී (භූම්ම) අර්ථයෙහිය. ‘සමථං’ යනු ‘අනු’ ශබ්දය යෙදීමෙන් දුතියා (උපයෝග=කර්ම) විභක්ති වචනයකි. අනිරාකතජ්ඣානා යනු පිටතට නොගෙනෙන ලද ධ්යාන ඇත්තාහු හෝ විනාශ නොවූ ධ්යාන ඇත්තාහු. ඉවත්කිරීම හෝ විනාශය යන මෙය ‘නිරාකතං’ නමි. ‘ථමභං නිරං කත්වා නිවාතවුත්ති’ සිතේ තද ගතිය ඉවත්කොට යටහත් පහත් පැවතුම් ඇති’ යනාදියෙහි මෙනි. විපස්සනාය සමන්නාගතා යනු සත්ආකාර අනුපස්සනාවෙන් යුක්ත වූවාහු. අනිච්චානු පස්සනාවද දුක්ඛානුපස්සනාවද අනත්තානුපස්සනාව ද නිබ්බිදානුපස්සනාවද විරාගානුපස්සනාවද නිරෝධානුපස්සනාවද පටිනිස්සග්ගානුපස්සනාව ද සත්ආකාර අනුපස්සනා නම් වේ. ඒවා විසුද්ධි මග්ගයෙහි විස්තර කරන ලද්දේමය.
බ්රෑහෙතා සුඤ්ඤාගාරානං යනු ශුන්යගාරයන් වඩන්නාහු. මෙහි සුඤ්ඤාගාර යනු භාවනාවෙහි යෙදෙන තැනැත්තාට විවේකයෙන් යුක්ත සුදුසු වූ යම්කිසි තැනක්. සමථ විදර්ශනා වශයෙන් කමටහනක් ගෙන දිවා රෑ ශුන්යගාරයකට පිවිස භාවනාවෙහි යෙදීම් වශයෙන් හිඳින්නා වූ භික්ෂූහු. ශුන්යාගාර වඩන්නාහු යයි දතයුතුය. එක් මහලක් ඇති පහයෙහි පවා වාසය කරමින් ධ්යාන කරන්නාහු ශුන්යගාර වඩන්නාහුම යයි දතයුතුය.
මෙහි ද ‘පටිසල්ලානරාමා භික්ඛවෙ විහරථ පටිසල්ලානරතා’ යනුවෙන් කයින් හුදකලා බවක යම් යෙදීමක් වේද එය පිරිසිදු සිල් ඇත්තාටය. සිල් නැත්තාට නොවේ. අපිරිසිදු සිල් ඇත්තාට හෝ නොවේ. රූපාරම්මණාදියෙන් ඔහුගේ සිත ඉවතට පෙරළා දැමීමෙන් නැති හෙයිනි. අර්ථ වශයෙන් සීල විසුද්ධිය දක්වන ලදැයි යන මේ අර්ථය කියන ලද්දේමය. ‘අජ්ඣත්තං චෙතො සමථමනුයුත්තා අනිරාකතජ්ඣානා’ යන පද දෙකෙන් සමාධි භාවනාව ද ‘විපස්සනාය සමන්නාගතා’ යන මෙයින් ප්රඥා භාවනාවෙහි යෙදීමදැයි ලෞකික ත්රිශික්ෂාව දක්වන ලදී.
දැන් ඒවායෙහි පිහිටියහුට අවශ්යයෙන්ම (ඒකාන්තයෙන්ම) ඇතිවන ඵලය දක්වන්නට ‘පටිසල්ලානරමානං’ යනාදිය කියන ලදී. එහි බ්රෑහෙතානං යනු වඩන්නවුන්ට. ද්වින්නං ඵලානං යනු තෙවන සිවුවන ඵල අතුරෙන්. පාටිකංඛං යනු කැමතිවිය යුතුය. ඒකාන්තයෙන්ම සිදුවන්නා වූ. අඤ්ඤා යනු අර්හත්වයයි. එය වනාහි පහළ මාර්ග ඥානවලින් දැනගන්නා ලද සීමාව ‘නො ඉක්මවා’ දැනගැනීම් වශයෙන් ද සම්පූර්ණ දැනීම ඇති බැවින් මත්තෙහි දැනීම් කටයුත්තක් නැති බැවින් ද ‘අඤඤා’යි කියනු ලැබේ. සති වා උපාදිසෙසෙ කෙලෙස් උපාදි ඉතිරිව ඇතිකල්හි, පහකිරීමට නොහැකි කල්හි මේරූ ඤාණයෙන් දුරුකළයුතු යම් ක්ලේශයක් ඇත්නම් ඒවා නොමේරූ ඤාණය ඇති කල්හි දුරු නොවෙයි. ඒ සඳහා ‘සති වා උපාදිසෙසෙ’යි කීහ. කෙලෙස් ඇතිකල්හි ස්කන්ධ අභිසංඛාරයෝ සිටිත්මය. මෙසේ මේ සූත්රයෙහි අනාගාමි ඵලය අර්හත්වය යන ධර්ම දෙක දක්වන ලදී. මෙහි යම්සේ ද මෙයින් මතු සූත්ර දෙකෙහි ද එසේය.
ගාථාවන්හි යෙ සන්තචිත්තා යනු යම් යෝගාවචර කෙනෙක් තදංග වශයෙන් ද විශ්කම්භන වශයෙන් ද සන්සිඳුන කෙලෙස් ඇති බැවින් ශාන්ත වූ සිත් ඇත්තාහු. ප්රඥාවට නෙපක්ක යයි කියනු ලැබේ. එයින් යුක්ත වූ බැවින් නිපකා නම් වෙති. මෙයින් ඔවුන්ගේ කමටහන පරිහරණය කරන ඤාණය දක්වයි. සතිමන්තො ච ඣායිනො යනු සිටීම් හිඳීම් ආදියෙහිදී කමටහන දුරු නොකිරීමට හේතු වූ සිහියෙන් සිහි ඇත්තාහු. ආරම්මණ උපනිධ්යානයෙන් ද ලක්ෂණ උපනිධ්යානයෙන් ද ධ්යාන කරන්නාහු. සම්මා ධම්මං විපස්සන්ති කාමෙසු අනපෙක්ඛිනො යනු කලින්ම කාමයෝ ඇටසැකිල්ලකට උපමා ඇත්තාහු ආදී වශයෙන් වස්තු කාමයන්හි ද ක්ලේශ කාමයන්හි ද ආදීනව විමසා බැලීමෙන් බලාපොරොත්තු නැත්තාහු ප්රයෝජනයක් නැත්තාහු ඒ කාමයන් දුරුකොට ලබන ලද උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය පාදක කොට නාමරූප ද නාමරූපයේ ප්රත්යයන් ද විමසා කලාප සිහිකිරීම් ආදී ක්රමයෙන් මනාකොට නොවෙනස් ලෙස පංචස්කන්ධ ධර්මයන් අනිත්යාදී වශයෙන් විදර්ශනා කරත්.
අප්පමාදරතා යනු කියන ලද ආකාර ඇති සමථ විදර්ශනා භාවනාවෙහි පමා නොවෙමින් ඇලුණාහු එහි අප්රමාදයෙන්ම දිවා රාත්රී කල් ගෙවන්නාහු. සන්තා යනු සමාන (අප්පමාදරතා සන්තා = අප්රමාදයෙහි ඇලුණාහු) ‘සත්තා’ යනු ද පාඨයකි. පුද්ගලයා යන අර්ථයි. පමාදෙ භය දස්සිනො නිරයෙහි උපදවන (නිරයෙහි ඉපදීම ආදියට හේතුවන) ප්රමාදයෙහි බිය දක්නාහු. අභබ්බා පරිහානාය යනු ඔවුහු මෙබඳු සමථ විදර්ශනා ධර්මවලින් හෝ මාර්ගඵලවලින් හෝ පිරිහීමට නුසුදුසු වෙති. සමථ විදර්ශනා වශයෙන් පැමිණි දෙයින් නො පිරිහෙත්. නො පැමිණි අන් ඒවාට ද පැමිණෙත්. නිබ්බාණස්සෙව සන්තිකෙ යනු නිවනේ ද අනුපාදා පරිනිර්වාණයේ ද සමීපයෙහිම ය. නොබෝ කලකින් ම එය අවබෝධ කරන්නාහුය.