7. නිර්වාණධාතු සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයෙහි ද්වෙ මා යනු ද්වෙ ඉමා, මේ දෙක. තණ්හාව ‘වාන’ යයි කියනු ලැබේ. තණ්හාවෙන් (වානයෙන්) නික්මීම හෝ මෙහි තණ්හාව නැත යන අරුතින් හෝ මෙය අවබෝධ කළ කල්හි තණ්හාවේ අභාවය යන අරුතින් හෝ ‘නිබ්බාණං’ නම් වේ. එයම සත්ත්වයෙක් නැති ජීවයක් නැති අර්ථයෙන් ද ස්වභාවය දරන අර්ථයෙන් ද ‘ධාතු’ වෙයි. මෙසේ ‘නිබ්බාණධාතු’ නම් වෙයි. ඉදින් නිවනේ පරමාර්ථ වශයෙන් භේදයක් නැතත් පර්යාය වශයෙන් පෙන්නේය යන අරුතින් ඒ පර්යාය භේදය සඳහා ද්වෙ මා භික්‍ඛවෙ නිබ්බාණධාතුයො යනුවෙන් වදාරා අදහස් කරන ලද ප්‍රභේද දක්වන්නට ‘සඋපාදිසෙසා’ යනාදිය වදාරන ලදී. එහි තණ්හාදිය විසින් ඵලභාවයෙන් ගනු ලැබේ යන අරුතින් උපාදි නම් වේ. ස්කන්ධ පංචකයයි. උපාදියම ඉතිරි වූයේ ‘සඋපාදිසේසා’ වෙයි. එය නැතිවීමෙන් අනුපාදිසෙසා වෙයි.
අරහං යනු දුරුවූ කෙලෙස් ඇති, ඈතට ගිය කෙලෙස් ඇති අර්ථයි. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී -
‘කථඤ්ච භික්‍ඛවෙ භික්‍ඛු අරහං හොති? ආරකාස්ස හොන්ති පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්‍ඛවිපාකා ආයතිං ජාති ජරා මරණීයා, එවං ඛො භික්‍ඛවෙ භික්‍ඛු අරහං හොති’ ‘මහණෙනි, භික්‍ෂුව කෙසේ නම් අරහං වෙයිද? කිලුටු බව ඇති කරන, පුනර්භවය ඇතිකරන, කෙලෙස් වෙහෙස ඇතිකරන, දුක්විපාක ඇතිකරන මත්තෙහි ජාති-ජරා-මරණ ඇතිකිරීමට සුදුසු වූ ඔහුගේ ලාමක අකුසල ධර්මයෝ දුරුවූයේ වෙති. මහණෙනි, මෙසේ භික්‍ෂුව අරහං නම් වෙයි’ යනුවෙන්
ඛීණා සවො යනු කාම ආසව ආදී සතර ආසවයෝම ක්‍ෂීණවූවාහු සහමුලින් සිඳින ලද්දාහු ප්‍රහීණ වූවාහු සන්සිඳුනාහු උපතට නුසුදුසු වූවාහු ඤාණ ගින්නෙන් දවන ලද්දාහු යන අරුතින් ඛීණාසව නම් වේ. වුසිතවා යනු ගරුකළයුතු අය සමග එකට විසීමෙහි ද ආර්ය මාර්ගයෙහිද දස ආර්ය වාසයන්හි ද විසුවේය. විශේෂයෙන් විසුවේය. කරන ලද වාසය ඇත්තේය. සිඳින ලද හැසිරිම ඇත්තේය යන අරුතින් වුසිතවා නම් වේ. කතකරණීයො යනු කල්‍යාණ පෘථග්ජනයා ද ගෙන ශෛක්‍ෂ පුද්ගලයන් සත්දෙනා සතර මාර්ගවලින් කළයුතු දේ කරත්. ක්‍ෂීණාශ්‍රව ඇති තැනැත්තාගේ කළයුතු සියලු කටයුතු කරන ලදී. නිමකරන ලදී. දුක් දුරුකිරීම නම් වූ නිවන අවබෝධ කිරීම පිණිස මත්තෙහි කළයුත්තක් නැත යන අරුතින් කතකරණීය නම් වේ. මෙය කියන ලදී -
තස්ස සම්මා විමුත්තස්ස සන්ත චිත්තස්ස භික්‍ඛුනො
කතස්ස පටිචයො නත්‍ථි කරණීයං න විජ්ජති
ඒ මනාකොට මිදුනු ශාන්ත සිත් ඇති භික්‍ෂුවට කළ දෙය සඳහා නැවත කිරීමක් නැත. කළයුතු දෙයක් විද්‍යමාන නොවේ’ යනුවෙන් මෙය කියන ලදී.
ඔහිතභාරො යන මෙහි ස්කන්ධභාර, ක්ලේශභාර, අභිසංස්කාර භාර යනුවෙන් බාර තුනක් ඇත. ඔහුගේ මේ භාර තුනම බහාතබන ලදී. ඉවත්කරන ලදී. හෙළන ලදී යන අරුතින් ඔහිතභාර නම් වේ. අනුප්පත්තසදත්‍ථො යනු සදර්ථයට පැමිණි, සකත්‍ථං යනුවෙන් කියන ලද්දේ වෙයි. ‘ක’ කාරයට ‘ද’ කාරය කරන ලදී. පැමිණි රහත්බව ඇත්තේ මොහු විසිනි යන අරුතින් ‘අනුප්පත්තසදත්‍ථ’ නම් වෙයි. සදත්‍ථ යනු රහත් බව යයි දතයුතුය. එය තමා හා බැඳීමෙන් තමා අත්නොහරින අර්ථයෙන්ද තමාගේ පරමාර්ථයෙන් ද තමාගේ අර්ථය බැවින් ‘සකත්‍ථ’ වෙයි. පරික්‍ඛීණභව සංයොජනො යනු කාමරාග සංයෝජනය, පටිඝ සංයෝජනය, මාන-දිට්ඨි-විචිකිච්ඡා-සීලබ්බත පරාමාස-භවරාග-ඉස්සා මච්ඡරිය-අවිජ්ජා සංයෝජනය යන මේවා සත්ත්වයන් භවයන්හි හෝ භවයෙන් භවය හෝ යොදවයි බඳියි යන අරුතින් භව සංයෝජන නම් වේ. රහතන් වහන්සේගේ ඒවා ගෙවීගියේ, පහවූයේ, ඤාණ ගින්නෙන් දවන ලද්දේය යන අරුතින් පරික්ඛීණ සංයෝජන නම් වේ.
සම්මදඤ්ඤාවිමුත්තො යන මෙහි සම්මදඤ්ඤා යනු මනාකොට දැන. ස්කන්ධයන්ගේ ස්කන්ධ (රාශි) අර්ථය, ආයතනයන්ගේ ආයතන (රැස්කිරීම්) අර්ථය, ධාතුන්ගේ ශුන්‍ය අර්ථය, දුකේ පෙළෙන අර්ථය, සමුදයේ ප්‍රභව (හටගන්නා) අර්ථය, නිරෝධයේ ශාන්ත අර්ථය, මාර්ගයේ දර්ශන අර්ථය, ‘සබ්බෙ සංඛාරා අනිච්චා’ ‘සියලු සංස්කාර අනිත්‍යය’ යන මේ ආදී භේදය මනාකොට තත් වූ පරිද්දෙන් දැනගෙන තීරණය කොට, තුලනයකොට, පැහැදිලිකොට, ප්‍රකට කොට යන මෙය කියන ලද්දේ වෙයි. විමුත්තො යනු චිත්ත විමුක්තිය ද නිර්වාණ විමුක්තිය ද යන විමුක්ති දෙකයි. රහතන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදුණු හෙයින් චිත්ත විමුක්තියෙන් ද මිදුනේ නිවනින් ද මිදුනේ වෙයි. එහෙයින් ‘සම්මදඤ්ඤා විමුත්තො’යි කියන ලදී.