6. අජාත සූත්‍ර වර්ණනාව
හයවන සූත්‍රයෙහි අත්‍ථි භික්‍ඛවෙ යන මෙහි උපත කුමක් ද? එක් දිනක් නොයෙක් ආකාරයෙන් සංසාරයෙහි දොස් (ආදීනව) ප්‍රකාශ කොට පෙන්වීම් වශයෙන් නිවන හා සම්බන්ධ වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනා කථාවක් නිසා භික්‍ෂූන්ට ‘මේ සංසාරය භාග්‍යවතුන් වහන්සේ විසින් අවිද්‍යාදී කරුණුවලින් හේතු සහිතව කියන ලදී. ඒ අවිද්‍යාදී කරුණු සංසිඳුනා වූ නිවන ගැන කිසි කරුණක් නොකියන ලදී. ඒ මේ අහේතුක වූ නිවන සච්ඡිකත පරමත්‍ථ (ප්‍රත්‍යක්‍ෂ කරන ලද පරමාර්ථ) වශයෙන් කෙසේ ලැබේද යන මේ අදහස ඇතිවිය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ගේ සැක දුරුකිරීම පිණිසද නොලැබෙන ස්වභාව ඇති බැවින් පරමාර්ථ වශයෙන් නිවනක් නම් නැතැයි කියන ලෝකායතිකයන් මෙන් වැරදි ලෙස පිළිපදින (බුදුසසුනෙන්) බාහිර බොහෝ දෘෂ්ටිවලට බැසගත්තවුන්ගේ මිථ්‍යාවාද බිඳීම පිණිස ද මේ අමාමහ නිවන පරමාර්ථ වශයෙන් ඇති බව දැක්වීම පිණිස ද ඒ නිවනෙහි කෙලෙසුන්ගෙන් නිදහස් බව ආදී ආනුභාව ඇති මේ සුත්‍රය ප්‍රීති වේගයෙන් උදාන වශයෙන් වදාළහ. එහෙයින් මේ සූත්‍රය උදාන පාළියෙහි ද කියන ලදී.
එහි අත්‍ථි යනු විද්‍යාමාන වෙයි. පරමාර්ථ වශයෙන් ලැබේ. අජාතං අභූතං, අකතං අසංකතං යන සියලු පද එකිනෙකට සමාන වචනය. නොහොත් වේදනාදිය මෙන් හේතුප්‍රත්‍ය එක්රැස්වීම නම් වූ කරුණු එක්වීමෙන් නූපන් නො නිපන් යන අරුතින් අජාත වූ, කරුණක් නැතිව තමා ම නොහටගත් පහළ නොවූ නූපන් යන අරුතින් අභූත වූ මෙසේ නූපන් බැවින් ද නොහටගත් බැවින් ද යම්කිසි කරුණකින් නොකරන ලද යන අරුතින් අකත වූ. නාමරූපාදී සංඛත ධර්මයන්ගේ උපන්-හටගත් ස්වභාවය ඇත්තේ වෙයි. අසංඛත ස්වභාවය ඇති නිවනෙහි උපන් හටගත් ස්වභාවය නැතැයි දැක්වීම පිණිස අසංඛතයයි කියන ලදී. පටිලෝම වශයෙන් (අගසිට මුලට) එකට එකතුව හටගෙන ප්‍රත්‍යවලින් කරන ලද යන අරුතින් සංඛ්‍යාත නම් වේ. එසේ සංඛත නොවූයේ ද සංඛත ලක්‍ෂණ රහිත වූයේ ද අසංඛත නම් වේ. මෙසේ නොයෙක් කරුණුවලින් උපන් බව ප්‍රතික්‍ෂේප කළ කල්හි එකම කරුණකින් කරන ලද්දේ දැයි සැකය ඇති කල්හි කිසිවකින් නොකරන ලදැයි දැක්වීම පිණිස ‘අකතං’ යි කියන ලදී. මෙසේ ප්‍රත්‍ය නැතිවම මෙය තමාම හටගත්තේ ද පහළ වූයේ ද යන සැකය නැවතීම පිණිස ‘අභූතං’ යි කියන ලදී. එහි (නිවනේ) මේ අසංඛත අකත-අභූත බව සියල්ලෙන් සියල්ල නූපන් ධර්ම ඇති බව දැක්වීමට ‘අජාතං’යි කියන ලදී. මෙසේ මේ පද සතරෙහි අර්ථ සහිත බව දතයුතුය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ‘අත්‍ථි භික්‍ඛවෙ අජාතං අභූතං අකතං අසංඛතං’ යනුවෙන් පරමාර්ථ වශයෙන් නිවන ඇති බව වදාරා එහි හේතු දක්වමින් නො චෙතං භික්‍ඛවෙ යනාදිය වදාළහ. මේ එහි කෙටි අර්ථයයි: මහණෙනි, ඉදින් අජාත ආදී ස්වභාව ඇති අසංඛත ධාතුව නොවන්නේ නම් මේ ලෝකයෙහි ජාති ආදී ස්වභාව ඇති රූපාදී ස්කන්ධ පංචකය නම් වූ සංස්කාරයේ ගැලවීමක් සංසාරය ඉතිරි නොකොට ලැබෙන සංසිඳීමක් නො පෙනෙන්නේය. නො ලැබෙන්නේය. නොවන්නේය. නිවන අරමුණු කොට පවතින සම්මා දිට්ඨි ආදී ආර්ය මාර්ග ධර්ම කෙලෙසුන් ඉතිරි නොකිරීම් වශයෙන් සහමුලින් සිඳදමති. එහෙයින් මෙහි සියලුම සංසාර දුකෙහි නොපැවැත්ම ඉවත්වීම නිදහස්වීම පෙනේ.
මෙසේ අතිරේක කරුණෙනුත් නිවන ඇති බව දක්වා දැන් අනුපිළිවෙළ වශයෙන් දැක්වීමට යස්මා ච ඛො යනාදිය වදාරණ ලදී. මෙහි ද යම්හෙයකින් අප්‍රත්‍ය ධර්මය අසංඛත ධර්ම ඇත්ද එය ද කියන ලද අර්ථ ඇත්තේමය. අත්‍ථි භික්‍ඛවෙ තදායතනං යත්‍ථ නෙව පඨවි ‘මහණෙනි, යම්තැනක පඨවිය නැති ද ඒ ආයතනය ඇත’ ‘ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං සබ්බසංඛාර සමථො සබ්බූපධිපටිනිස්සගො’ ‘සියලු සංස්කාරයන්ගේ සන්සිඳීම වූ සියලු උපධීන්ගේ අත්හැරීම නම් වූ යම් මේ කරුණක් ඇත්ද මේ කරුණ ද දැකීමට අපහසුය.’ ‘අසංඛතං ච වො භික්‍ඛවෙ ධම්මං දෙසිස්සාමි අසංඛතගාමිනිං ච පටිපදං’ ‘මහණෙනි, ඔබට අසංඛත ධර්මය ද අසංඛත ගාමිණී ප්‍රතිපදාවද දෙසන්නෙමි.’ යනාදී නොයෙක් සූත්‍ර පදවලින් ද ‘අත්‍ථි භික්‍ඛවෙ අජාතං’ යන මේ සූත්‍රයෙන් ද නිර්වාණ ධාතුව පරමාර්ථ වශයෙන් ඇති බව සියලු ලෝකයාට අනුකම්පා කරන්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එහෙයින් ප්‍රතික්‍ෂේප නොකළ යුතුය. එහිලා (නිවන) ප්‍රත්‍යක්‍ෂ නොකරන ලද නුවණැත්තන්ට ද සැකයක් හෝ විමතියක් නැත්තේමය. බුද්ධියක් නැති යම් පුද්ගලයෝ වෙත් ද ඔවුන්ගේ විමතිය දුරුකිරීම පිණිස එහිලා අදහස් කරන ලද දෙය මතුකර දැක්වීම් වශයෙන් මේ යුක්තිය පැහැදිලි කිරීමයි. දතයුතු ආකාරයෙන් ද වැඩිපුර වූ කාමයන්ටද රූපයන්ටද ප්‍රතිපක්‍ෂ වූ එයට පිහිටක් නැති ස්වභාවය වූ නිස්සරණය පැනෙයි. මෙසේ ඒ ස්වභාවය ඇති සියලු සංඛත ධර්මයන්ට ප්‍රතිවිරුද්ධ වූ එයට පිහිටක් නැති ස්වභාවය ඇති නිස්සරණයක් විය යුතුය. යම් ඒ නිස්සරණයක් (දුකින් මිදීමක්) වේද, ඒ අසංඛත ධාතුවයි. වැඩිපුර කුමටද? සංඛත ධම අරමුණු කොට ඇති විපස්සනා ඤාණය වන අනුලෝම ඤාණය පවා කෙලෙස් සමුච්ඡේද වශයෙන් පහ කිරීමට නොහැකි වෙයි. එසේ සම්මුති සත්‍ය අරමුණු කොට ඇති ප්‍රථම ධ්‍යානාදියෙහි යෙදෙන ඤාණය විෂ්කම්භන වශයෙන්ම කෙලෙස් දුරු කරයි. සමුච්ඡේද වශයෙන් නොවේ. මෙසේ සංඛත ධර්ම අරමුණු කරන ඤාණය ද සම්මුති සත්‍ය අරමුණු කරන ඤාණය ද කෙලෙසුන් සහමුලින් පහකිරීමෙහි අසමත් බැවින් ඒ කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණය කරන ආයමාර්ග ඥානය ඒ දෙකටම වෙනස් වූ ස්වභාවය ඇති අරමුණක් විය යුතුය. එය අසංඛත ධාතුවයි.
එසේ ‘අත්‍ථි භික්‍ඛවෙ අජාතං අභූතං අකතං අසංඛතං’ යන මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ හෙයින් නිවන පරමාර්ථ වශයෙන් ඇති බව පැහැදිලි කරන අවිපරීත (නොවෙනස්) වූ අරථයයි. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද යමක් වේද එය නොවෙනස් අර්ථ ඇති පරමාර්ථයයි. ඊට උදාහරණ ‘සියලු සංස්කාර අනිත්‍යයි. සියලු සංස්කාර දුකයි. සියලු ධර්ම අනාත්මයි’ යනුයි. එසේම නිබ්බාණ ශබ්දය කිසිතැනක යථාභූත පරමාර්ථ විෂයෙහි සමීපව පැවතීම් වශයෙන් යෙදේ. සීහ ශබ්දය මෙනි. පරමාර්ථ වශයෙන් අසංඛත ධාතුවක් ඇත්තේමය. අනෙක ඊට වෙනස් මිදුණු ස්වභාව ඇති බැවින් පඨවි ධාතු වේදනාව මෙනි. මේ ආදී න්‍යායවලින් සාධාරණීකරණය කරන ලද අසංඛත ධාතුවේ පරමාර්ථ වශයෙන් ඇති බව දතයුතුය.