5. ශුකලධර්ම සූත්ර වර්ණනාව
පස්වන සූත්රයෙහි සුක්කා යනු වර්ණයෙන් සුදු බව කරණකොට සුදු නොවේ. සුදු බව පිණිස පරම පිරිසිදු බව පිණිස පවතී යන අරුතින් උපන් පිරිසිදු බව කරණකොට සුදු නම් වේ. ස්වභාවයෙන් සියලු කුශල ධර්ම කලු බවට ප්රතිවිරුද්ධ බැවින් සුදුමය. ඒ කුශල ධර්මයන්ගේ උත්පත්තියෙන් සිත ප්රභාස්වර වෙයි. පිරිසිදු වෙයි. ධම්මා යනු කුශල ධර්මය. ලොකං යනු සත්ත්ව ලෝකයයි. පාලෙන්ති යනු දැරිමෙන් ඉසිලීමෙන් සීමාව තබමින් රකිති. හිරි ච ඔත්තප්පඤ්ච යන මෙහි මෙය කරණකොට ලජ්ජා වෙති හෝ ලජ්ජාවිය යුතු දෙයින් ලජ්ජා වෙයි යනුවෙන් හිරි නම් වෙයි. මෙය ‘යං හිරීයති හිරීයිතබ්බෙන හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, අයං වුච්චති හිරි’ ‘යම් කරුණකට ලජ්ජාවිය යුතු බැවින් ලජ්ජා වෙයි ද, ලාමක අකුශල ධර්මයන්ගේ පැමිණීමට ලජ්ජා වෙයි ද මෙය ‘හිරි’ යයි කියනු ලැබේ.’ යනුවෙන් කියන ලදී. මෙය කරණකොට බියවෙති හෝ බියවිය යුතු දෙයින් බියවෙති යනුවෙන් ඔත්තප්ප නම් වෙයි. මෙය ‘යං ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා’, ඉදං වුච්චති ඔත්තප්පං’ යම් කරුණකින් තැතිගත යුතු බැවින් තැතිගනීද, ලාමක අකුශල ධර්මයන්ගේ පැමිණීමට තැතිගනී ද මෙය ‘ඔත්තප්ප’ යයි කියනු ලැබේ යනුවෙන් කියන ලදී.
එහි හිරිය ඇතුළතින් හටගනී. ඔත්තප්පය බැහැරින් හටගනී. හිරිය ආත්මාධිපතිය, ඔත්තප්පය ලෝකාධිපතිය. හිරිය ලජ්ජා ස්වභාව ඇත්තේය. ඔත්තප්පය භය ස්වභාව ඇත්තේය. හිරිය ගරුකිරිම ලක්ෂණ කොට ඇත්තේය. ඔත්තප්පය වරදට බිය දැක්වීම ලක්ෂණ කොට ඇත්තේය.
එහි ඇතුළතින් හටගන්නා හිරිය කරුණු සතරකින් හටගනී. ජාතිය ගැන සලකා බලා, වයස ගැන සලකා බලා, දක්ෂකම ගැන සලකා බලා, උගත්කම ගැන සලකා බලා යනුවෙනි.
ඒ කෙසේද? මේ පව්කිරීම නම් උසස් ජාති ඇත්තන්ගේ ක්රියාවක් නොවේ. හීන ජාති ඇති කේවට්ට (මස් මරන්නන්) ආදීන්ගේ ක්රියාවකි. එබඳු උසස් ජාති ඇත්තෙකුට මේ ක්රියාව කරන්නට සුදුසු නොවේයයි මෙසේ ජාතිය සලකා බලා සතුන් මැරීමාදී පව්කම් නොකරන්නේ හිරිය (ලජ්ජාව) උපදවයි. එසේම මේ පව්කිරීම නම් ළමයින් විසින් කළයුතු ක්රියාවකි. එබඳු (වැඩිහිටි) වයසෙහි සිටියහුට මේ ක්රියාව කරන්නට සුදුසු නොවේ යයි මෙසේ වයස සලකා බලා සතුන් මැරීමාදී පව්කම් නොකරන්නේ හිරිය උපදවයි. එසේම මේ පව්කිරිම නම් දුර්වල ජාතිකයන්ගේ ක්රියාවකි. එබඳු දක්ෂ බවින් යුතු කෙනෙකුට මේ ක්රියාව කරන්නට සුදුසු නොවේයි මෙසේ දක්ෂ බව සලකා බලා සතුන් මැරීමාදී පව්කම් නොකරන්නේ හිරිය උපදවයි. එසේම මේ පව්කිරිම නම් නුවණ නැති අයගේ ක්රියාවකි. පණ්ඩිතයන්ගේ ක්රියාවක් නොවේ. එබඳු පණ්ඩිතයෙකුට උගතෙකුට මේ ක්රියාව කරන්නට සුදුසු නොවේයයි මෙසේ උගත්කම සලකා බලා සතුන් මැරීමාදී පව්කම් නොකරන්නේ හිරිය උපදවයි. හිරිය හටගෙන තම සිතෙහි හිරිය සලකා බලා පව්කම් නොකරයි. මෙසේ හිරිය ඇතුළතින් හටගන්නේ වෙයි.
ඔත්තප්පය කෙසේ බැහැරින් හට ගනීද? ඉදින් ඔබ පව්කම් කරන්නෙහි නම් සතර පිරිස් අතරෙහි ගැරහීමට පත්වන්නෙහිය.
ගරහිස්සන්ති තං විඤ්ඤූ අසුචිං නාගරිකො යථා
වජ්ජිතො සීලවන්තෙහි කථං භික්ඛු කරිස්සසී
වජ්ජිතො සීලවන්තෙහි කථං භික්ඛු කරිස්සසී
නගරයෙහි වැසියෙක් යම්සේ අශූචියට ගරහයි ද එසේ නුවණැත්තෝ ඒ පාපයට ගරහන්නෝය. සිල්වතුන් විසින් වර්ජනය කරන ලද්දේය. භික්ෂුව, ඔබ ඒ පාපය කෙසේ කරන්නෙහිද?
මෙසේ සලකා බලන තැනැත්තා බැහැරින් හටගත් ඔත්තප්පයෙන් පව්කම් නොකරයි. මෙසේ ඔත්තප්පය බැහැරින් හටගත්තේ වෙයි. හිරිය කෙසේ ආත්මාධිපති වේද? මෙලොව ඇතැම් කුලපුත්රයෙක් තමා අධිපතිකොට ප්රධානියකු කොට එබඳු ශ්රද්ධාවෙන් පැවිදි වූ උගත් ධූතවාදී වූ කෙනෙකුට පව්කම් කරන්නට සුදුසු නොවේයයි පව්කම් නොකරයි. මෙසේ හිරිය ආත්මාධිපති (තමන් අධිපති) කොට ඇත්තේ වෙයි. එහෙයින් භාග්යවතුන් වහන්සේ -
‘සො අත්තානං යෙව අධිපතිං කත්වා අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ්ජං පජහති අනවජ්ජං භාවෙති, සුද්ධමත්තානං පරිහරති’ ‘හෙතෙම තමාම අධිපතිකොට අකුසලය දුරු කරයි. කුසලය වඩයි. වැරදි දේ දුරු කරයි. නිවැරදි දේ වඩයි. පිරිසිදු ආත්මය (ජීවිතය) පරිහරණය (ගත) කරයි’ යනුවෙන් වදාළහ.
ඔත්තප්පය කෙසේ ලෝකාධිපති වේද? මෙලොව ඇතැම් කුලපුත්රයෙක් ලෝවැසියා අධිපතිකොට ප්රධානියෙකු කොට පව්කම් නොකරයි. එය කී අයුරු මෙසේය.
‘මහා ඛො පනායං ලොකසන්නිවාසො, මහන්තස්මිං ඛො පන ලොක සන්නිවාසෙ සන්ති සමණ බ්රාහ්මණා ඉද්ධිමන්තො දිබ්බචක්ඛුකා පරචිත්ත විදුනො, තෙ දූරතොපි පස්සන්ති, ආසනනාපි න දිස්සන්ති, චෙතසාපි විත්තං පජානන්ති, තෙපි මං එවං ජානිස්සනති පස්සථ භො ඉමං කුලපුත්තං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො වොකිණ්ණො විහරති පාපකෙහි අකුසලෙහි ධම්මෙහීති ලොකං යෙව අධිපතිං කත්වා අකුසලං පජහති’ ‘මේ ලෝක සන්නිවාසය නම් වූ සත්ත්ව සමූහය විශාලය. මහත් වූ සත්ත්ව සමූහය අතර ඍද්ධිමත් වූ දිවැස් ඇත්තා වූ පරසිත් දන්නා වූ ශ්රමණ බ්රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු දුරදීම තමාව දකිති. ළංවූවාහු ද තමාට නොපෙනෙති. සිතින් ද සිත දැනගනිති. ‘පින්වත්නි, බලන්න. මේ කුලපුත්රයා ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිදි වූයේ ලාමක අකුශල ධර්මවලින් ගැවසී ගත්තෙක් වාසය කරයි’ යනුවෙන් ඔවුහු මා ගැන මෙසේ දැනගනිති’යි ලෝවැසියාම අධිපතිකොට අකුශලය දුරුකරයි.
මෙසේ ඔත්තප්පය ලෝවැසියා අධිපතිකොට ඇත්තේය.
‘ලජ්ජා සභාව සන්ඨිතා’ යන මෙහි ලජ්ජා යනු ද ලජ්ජාවන ආකාරයයි. හිරිය එම ස්වභාවයෙන් සිටියේය. ‘භයං’ යනු අපාය භයයි. ඔත්තප්පය එම ස්වභාවයෙන් සිටියේය. ඒ දෙකම පාපය දුරුකිරීමෙහි ප්රකට වෙයි. එහි යකඩ ගුලි දෙකින් එකක් සීතල ද අශූචි තැවරුණු එකක් ද වෙයි. එකක් උණුසුම් ද ගිනිගෙන දැල්වෙන්නේ ද වෙයි. ඒ දෙකින් සීතල වූ යකඩ ගුලිය අශූචි තැවරුණු බැවින් පිළිකුල් කරන නුවණැත්තා නො ගනියි. අනිත් යකඩ ගුලිය දැවෙන බියෙන් නොගනියි. මෙසේ පණ්ඩිත තෙමේ ලජ්ජාවෙන් පිළිකුල් කරමින් පව් නොකරයි. ඔත්තප්පයෙන් අපායබිය ඇත්තේ පව් නොකරයි. මෙසේ හිරිය ලජ්ජා ස්වභාවයෙන් සිටියේය. ඔත්තප්පය භය ස්වභාවයෙන් සිටියේය.