4. ප්‍රඥාපරිහාන සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි සුපරිහීනා යනු මනාව පිරිහුනා වූ. යෙ අරියාය පඤ්ඤාය පරිහීනා යම් සත්ත්ව කෙනෙක් පංචස්කන්ධය පිළිබඳ ඇතිවීම නැතිවීම අවබෝධ කිරීමෙන් ද චතුපච්චය (චතුස්සත්‍ය) අවබෝධ කිරිමෙන් ද කෙලෙසුන් කෙරෙන් දුරුව සිටියාහු ආදිය වූ පිරිසිදු වූ විදර්ශනා ප්‍රඥාවෙන් ද මාර්ග ප්‍රඥාවෙන් ද පිරිහුනාහු ද ඔවුහු ලෞකික ලෝකෝත්තර සම්පත්වලින් අතිශයින් පිරිහුනාහු මහත් විනාශයට පත්වූවාහුය. ඔවුහු කවරහුද? යමෙක් කර්මාවරණයෙන් යුක්ත වූවාහු ද ඔවුහුය. ඔවුහු නියත මිථ්‍යාදෘෂ්ටි ඇති බැවින් ඒකාන්තයෙන් පිරිහුනාහු අසම්පූර්ණ වූවාහු මහත් විනාශයට පත් වූවාහුය. එහෙයින් දුග්ගති පාරිකංඛා යනුවෙන් දුගතිය කැමතිවිය යුතුයයි කීහ. විපාකාවරණයෙන් යුක්ත වූවෝ ද පිරිහුනාහුය. නැතහොත් කුශල (සුක්ක) පක්‍ෂයෙහි අපරිහීනා නාම ත්‍රිවිධ ආවරණයෙන් තොර වූ සම්‍යක් දෘෂ්ටික වූ කම්මස්සකත ඤාණයෙන් ද යුක්තවූවාහු. ඉතිරිය කියන ලද්ද අනුසාරයෙන් දතයුතුය.
ගාථාවන්හි පඤ්ඤාය යනු නිස්සක්ක (පංචමී=අවධි) විභක්ති වචනයයි. විදර්ශනා ඥානයෙන් ද මාර්ග ඥානයෙන් ද. පරිහානෙන මෙය ඡට්ඨි (සම්බන්ධ) විභක්ති වචනය හෝ වෙයි. කියන ලද ආකාර ඇති ඤාණයේ පිරිහීමෙන්, උපදවා ගතයුතු දෙයෙහි නූපදීමම මෙහි පිරිහීමයි. නිවිට්ඨං නාමරූපස්මිං යනු නාමරූපයෙහි, උපාදාන ස්කන්ධ පසෙහි ‘එය මගේය’ ආදී වශයෙන් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇලීසිටුනා ලද, ගැලී සිටුනා ලද, එහෙයින්ම ඉදං සච්චන්ති මඤ්ඤති යනු මෙයම සත්‍යය අනික හිස්යයි හඟියි. ‘සදෙවකෙ ලොකෙ’ යනුවෙන් විභක්ති හරවාගත යුතුය.
මෙසේ පළමු ගාථාවෙන් සංකිලේශ (දූෂිත) පක්‍ෂය දක්වා දැන් යමක නූපදීමෙන් නාමරූපයෙහි (තෘෂ්ණා-මාන-දෘෂ්ටි යන) මඤ්ඤනාවන් දැඩිව ගැනීම නිසා ක්ලේශ වෘත්තය පවතී, එය (ප්‍රඥාව) ඉපදීමෙන් ක්ලේශ වෘත්තයේ සිඳදැමීම වෙයි යනුවෙන් ප්‍රඥාවේ ආනුභාවය ප්‍රකාශ කරමින් ‘පඤ්ඤාභි සෙට්ඨා ලොකස්මිං’ යන ගාථාව වදාළහ.
එහි ලොකස්මිං යනු සංස්කාර ලෝකයෙහී, සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන් සත්ත්වයන් කෙරෙහි සංස්කාරයන් කෙරෙහි ප්‍රඥාව සමාන ධර්මයක් නැත. කුශල ධර්මයෝ ප්‍රඥාව ශ්‍රේෂ්ඨ කොට ඇත්තාහ. ප්‍රඥාව ඇතිවීමෙන් සියලු නිවැරදි ධර්මයෝ සිදුවෙත්මය. එහෙයින් ‘සම්මා දිට්ඨියට සම්මා සංකප්පය සෑහේ’ යනාදිය කියන ලදී. යම් ප්‍රඥාවක් මෙහි අදහස් කරන ලද ද, ඒ ප්‍රඥාව ශ්‍රේෂ්ඨයයි පසසන ලදී. ඒ ප්‍රඥාවේ පැවැත්ම යම්සේ ද එය දක්වන්නට ‘යායං නිබ්බෙධගාමිනී’ යනාදිය කියන ලදී. එහි අර්ථය : යම් මේ ප්‍රඥාවක් නො කලකිරුණවිරූ නො පළන ලද විරූ ලෝභස්කන්ධාදිය ගැන කලකිරවමින් ඒවා පළා දමමින් ගමන් කරයි පවතියි යන අරුතින් නිබ්බෙධගාමිනී නම් වේ. ඒ ඒ භව-යෝනි-ගති- විඤ්ඤාණට්ඨිති සත්තාවාසයන්හි සත්ත්ව නිකායන්හි ස්කන්ධයන්ගේ පළමු ඉපදීම නම් වූ යම් ජාතියක ද එයට නිමිත්ත වූ කර්මභවයේ ද ගෙවීම අවසානය නිවන රහත් බව මනාකොට නොවෙනස් අයුරින් දනියි ද ප්‍රත්‍යක්‍ෂ කරයි ද විදර්ශනා මාර්ග ප්‍රඥාව සමග මෙය ලෝකයෙහි ශ්‍රේෂ්ඨය.
දැන් කියන ලද ආකාර ඇති ප්‍රඥානුභාව සම්පන්න ක්‍ෂීණාශ්‍රවයන් (රහතන්) වහන්සේලාට ප්‍රශංසා කරමින් ‘තෙසං දෙවා මනුස්සා ච’ යන අවසාන ගාථාව වදාළහ. ඒ ගාථාවේ අර්ථය: චතුරාර්ය සත්‍යයන්හි පිරිසිඳ දැනීමාදී එම සොළොස් ක්‍රියාවන් නිම වූ බැවින් චතුස්සත්‍යාව බෝධයෙන් සම්බුද්ධානං, සිහිය විපුල බවට පැමිණීමෙන් සතිමතං, කියන ලද ආකාරයෙන් සහමුලින් උදුරා දමන ලද මෝහය ඇති බැවින් ප්‍රඥාව විපුල බවට පැමිණීමෙන් හාසපඤ්ඤානං, පූර්ව භාගයෙහි සීලාදිය සම්පූර්ණ කිරිමේ පටන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන තෙක් හාසය, වේදය, තුට්ඨිය, ප්‍රමෝදය බහුල බැවින් හාසපඤ්ඤානං, සියලු අයුරින් ගෙවුණු භව සංයෝජන ඇති බැවින් අනතිමසරීරධාරීනං අවසන් ශරීර දරන රහතන් වහන්සේලාට දෙවියෝ ද මිනිස්සු ද පිහයන්ති කැමති වෙත්. අහෝ ප්‍රඥාවේ ආනුභාවය, අහෝ ඒකාන්තයෙන් අපි ද මෙසේ සියලු දුකින් එතෙර වූවෝ වන්නෙමු නම් මැනවැයි ඒ ස්වභාවය ලබන්නට කැමති වෙත්.