3. විද්‍යා සූත්‍ර වර්ණනාව
තෙවන සූත්‍රයෙහි පුබ්බංගමා යනු එකට ඉපදීම් වශයෙන් ද හේතු වශයෙන් දැයි දෙයාකාරයකින් පූර්වාංගම වෙයි. පෙරටුකොට ඇත්තේ වෙයි. ප්‍රධාන කාරණය වෙයි. අවිද්‍යාවෙන් තොරව අකුසල උපතක් නැත. සමාපත්තියා පැමිණීම පිණිස, ස්වභාව-ප්‍රතිලාභය පිණිස, ප්‍රාප්තිය පිණිස (රැස්කිරීම පිණිස). එහි අකුසලය පැවතීමෙහි ආදීනව (දොස්) වැසීමෙන් අනුවණින් මෙනෙහි කිරීමට හේතු වීමෙන් ද දුරු නොවීමෙන් ද අකුසල ධර්මයන්ට හේතුවක් බව දක්නා ලැබේ.
මෙසේ ව්‍යාධි-මරණ ආදී දුකට ස්ථානයක් වීම් වශයෙන් සියලු ගති මෙහි දුගතිය. නැතහොත් රාගාදී කෙලෙස්වලින් දූෂිත ගති ඇති කය-වචන-සිතෙහි පැවැත්ම දුගතිය, කය වචන දෙකෙහි දුසිරිත්ය. අස්මිං ලොකෙ පරම්හි ච මෙලොවෙහි හෝ මනුෂ්‍ය ගතියෙහි, ‘පරමහි’ යනු එයින් අන්‍ය වූ ගති. අවිජ්ජා මූලිකා සබ්බා ඒ සියලුම දුශ්චරිතයාගේ විපත්ති කියන ලද අයුරින් අවිද්‍යාව පෙරටුකොට ඇති බැවින් අවිජ්ජා මූලිකම වෙයි. ඉච්ඡා ලොභ සමුස්සයා නො පැමිණ කාමය සොයන ලක්‍ෂණයෙන් යුත් ඉච්ඡාවෙන් (කැමැත්තෙන්) ද පැමිණි කාමයට ඇලුම්කරන ලක්‍ෂණයෙන් යුත් ලොභයෙන් ද රැස්කරන ලද අරුතින් ඉච්ඡාලොභ සමුස්සයා නම් වේ.
යතො යනු යම්හෙයකින් අවිද්‍යා හේතුවෙන් අවිද්‍යාවෙන් වසන ලදුව. පාපිච්ඡො අවිද්‍යාවෙන් වසන ලද බැවින් පාපයට කැමති බවෙහි ආදීනව නොදකිමින් නැති ගුණයට ගරුකරවා ගැනීම් වශයෙන් (අසන්තගුණ සමභාවනවසෙන) කුහකකම් ආදිය කරමින් පාපයට කැමැත්තේ වෙයි. ලෝභයෙන් ම අත්‍රිච්ඡතාව (අධික ආශා ඇති බවද ගන්නා ලදැයි දතයුතුය. අනාදරො ලෝකාධිපති පාපයට ඇති බිය නැති බැවින් සබ්‍රහ්මචාරීන් කෙරෙහි ආදර නැති, තතො යනු එහෙයින්, අවිද්‍යා, පාපිච්ඡතා, අහිරික, අනොත්තප්ප හේතුවෙන්. පසවති යනු කාය දුශ්චරිත ආදී ප්‍රභේද ඇති. පාපං පව් රැස් කරයි. අපායං තෙන ගච්ඡති යනු ඒ හේතුවෙන්, එසේ යෙදුනා වූ පාපයෙන් නිරය ආදී භේද ඇති අපායට යයි, පැමිණෙයි.
තමා යම්හෙයකින් ඒ අවිද්‍යාදී කරුණු ම සියලු දුසිරිත්වලට මූලහේතුව වීද සියලු දුගති කෙලෙස්වලට හේතුවීද එහෙයින් තස්මා ඉච්ඡඤ්ච ලොභඤ්ච අවිජ්ජඤ්ච එහෙයින් ඉච්ඡාව ද ලෝභය ද අවිද්‍යාව ද, ‘ච’ ශබ්දයෙන් අහිරිකය (පාපයට ලජ්ජා නැති කම) ද අනොත්තප්පය (පාපයට බිය නැති කම) ද ගැනේ. විරාජයං සමුච්ඡේද වශයෙන් දුරුකරමින්, කෙසේ දුරුකරයිද කීය. විජ්ජං උප්පාදයං යනු විදර්ශනා පිළිවෙළින් ද මාර්ග පිළිවෙළින් ද උත්සාහකොට අර්හත් මාර්ග විද්‍යාව තම සිතෙහි උපදවමින්. සබ්බා දුග්ගතියො යනු සියලුම දුසිරිත් නම් වූ දුගති, සංසාර දුකට ස්ථානයක් වීම් වශයෙන් දුක් වූ සියලු ගති පහ ද, ජහෙ දුරු කරන්නේය. ඉක්මවන්නේය. කෙලෙස් ප්‍රහාණයෙන්ම කර්මයද විපාකයද පහවෙයි.
තෙවන සුත්‍රයයි.
පළමු බණවර වැනුම නිමියේ ය.
4. ප්‍රඥාපරිහාන සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි සුපරිහීනා යනු මනාව පිරිහුනා වූ. යෙ අරියාය පඤ්ඤාය පරිහීනා යම් සත්ත්ව කෙනෙක් පංචස්කන්ධය පිළිබඳ ඇතිවීම නැතිවීම අවබෝධ කිරීමෙන් ද චතුපච්චය (චතුස්සත්‍ය) අවබෝධ කිරිමෙන් ද කෙලෙසුන් කෙරෙන් දුරුව සිටියාහු ආදිය වූ පිරිසිදු වූ විදර්ශනා ප්‍රඥාවෙන් ද මාර්ග ප්‍රඥාවෙන් ද පිරිහුනාහු ද ඔවුහු ලෞකික ලෝකෝත්තර සම්පත්වලින් අතිශයින් පිරිහුනාහු මහත් විනාශයට පත්වූවාහුය. ඔවුහු කවරහුද? යමෙක් කර්මාවරණයෙන් යුක්ත වූවාහු ද ඔවුහුය. ඔවුහු නියත මිථ්‍යාදෘෂ්ටි ඇති බැවින් ඒකාන්තයෙන් පිරිහුනාහු අසම්පූර්ණ වූවාහු මහත් විනාශයට පත් වූවාහුය. එහෙයින් දුග්ගති පාරිකංඛා යනුවෙන් දුගතිය කැමතිවිය යුතුයයි කීහ. විපාකාවරණයෙන් යුක්ත වූවෝ ද පිරිහුනාහුය. නැතහොත් කුශල (සුක්ක) පක්‍ෂයෙහි අපරිහීනා නාම ත්‍රිවිධ ආවරණයෙන් තොර වූ සම්‍යක් දෘෂ්ටික වූ කම්මස්සකත ඤාණයෙන් ද යුක්තවූවාහු. ඉතිරිය කියන ලද්ද අනුසාරයෙන් දතයුතුය.