2. දේශනා සූත්ර වර්ණනාව
දෙවන සූත්රයෙහි පරියායෙන යන මෙහි ‘පරියාය’ ශබ්දය ‘මධුපිණ්ඩික පරියායොත්ථෙව නං ධාරෙහි’ ‘මධුපිණ්ඩික පරියාය යයි දරව’ යනාදියෙහි දේශනාවෙහි ආයේය. ‘අත්ථි ඛෙවස බ්රාහ්මණ පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය අකිරියවාදො සමණො ගොතමො’ බමුණ, යම් කරුණකින් ශ්රමණ ගෞතමයෝ ‘අකිරියවාදීහ’යි මනාව කියන තැනැත්තේ මට කියන්නේ නම් බමුණ ඒ කාරණය ඇත්තේමය යනාදියෙහි කාරණයෙහි ආයේය. ‘කස්ස නු ඛො ආනන්ද අජ්ජ පරියායො භික්ඛුණියො ඔවදිතුං’ ‘ආනන්ද, භික්ෂුණීන්ට අවවාද දීමට අද කවරකුගේ වාරය ද?’ යනාදියෙහි වාරයෙහි ආයේය. මේ සූත්රයෙහි වනාහි වාරයෙහිත් කාරණයෙහිත් සුදුසුය. එහෙයින් මහණෙනි, සුදුසු පරිදි කාරණයෙන් හෝ වාරයෙන් තථාගතයන් වහන්සේගේ ධර්මදේශනා දෙකක් ඇත යන මෙය මෙහි අර්ථය යි.
භාග්යවතුන් වහන්සේ හික්මවීමට සුදුසු අයගේ අදහසට අනුරූපව කිසිකලෙක ‘මේ ධර්ම කුසලය, මේ ධර්ම අකුසලය, මේ ධර්ම වැරදිය, මේ ධර්ම නිවැරදිය, මේවා ඇසුරු කළ යුතුය, මේවා ඇසුරු නොකළ යුතුය’ යනාදී වශයෙන් කුශල-අකුශල ධර්මයන් බෙදමින් කුශල ධර්මයන් සමග අකුශල ධර්ම මිශ්ර නොකිරීම් වශයෙන් පනවමින් පාපය පාප වශයෙන් දකිව් යනුවෙන් දහම් දෙසති. කිසිකලෙක ‘මහණෙනි, සතුන් මැරීම සේවනය කරන ලද්දේ, භාවිත කරන ලද්දේ, බහුල වශයෙන් කරන ලද්දේ නිරයට පමුණුවන්නේ වෙයි. තිරිසන් යෝනියට පමුණුවන්නේ වෙයි. ප්රේත විෂයට පමුණුවන්නේ වෙයි. සතුන් මැරීමේ ඉතා සුළු වූ කර්මයක් වේ නම් එය අල්ප ආයුෂ පිණිස පවතින්නේය’ යනාදී වශයෙන් ආදීනව ප්රකාශ කරමින් පාපයෙන් කලකිරීමාදියෙහි යොදවමින් ‘කලකිරෙන්න, නොඇලෙන්න’ යනුවෙන් දහම් දෙසති.
භවන්ති යනු වෙති, පවතිත්. පාපං පාපකතො පස්සථ යනු සියලු පාපධර්ම මෙලොවදීත් පරලොවදීත් අයහපත දුක ගෙනදීම් වශයෙන් ලාමක වශයෙන් දකින්න. එහි නිබ්බින්දථ යනු ඒ පාපධර්මය අතිශයින් හීන බැවින් ලාමක අරුතින් පාපය. අදක්ෂබවෙන් හටගත් අරුතින් අකුසලය (අකොසල්ල සමභූතට්ඨෙන අකුසලං). ස්වභාවයෙන් ප්රභාස්වර (බබළන) වූ ප්රසන්න වූ සිතේ ප්රභාස්වර ආදී ස්වභාවයන් විනාශ කිරීම් වශයෙන් සංකිලේසිකය. නැවත නැවත භව දුක ඉපදීම් වශයෙන් පෝනෝ භවිකය, දැවිලි තැවිලි සහිතව පවතින හෙයින් සදරථය. දුක්ම විපාක දෙන හෙයින් දුක්ඛ විපාකය, අප්රමාණ කාලයක් අනාගතයෙහි ජාති-ජරා මරණ-ඉපදීම් වශයෙන් මත්තෙහි ජාති-ජරා-මරණයට සුදුසුය. සියලු හිත සැප දුරුකිරීමෙහි සමත්ය යනාදී ක්රමයෙන් නොයෙක් ආකාර ආදීනවද එය දුරුකිරීමේ අනුසස් ද මනා නුවණින් දකිමින් කලකිරෙන්න, කලකිරීමට පැමිණෙන්න, කලකිරීමෙන් විදසුන් වඩා ආර්යමාර්ග අවබෝධයෙන් පාපයෙහි විරජ්ජථ නොඇලෙන්න. එසේම විමුච්චථ පාපයෙන් මිදෙන්න. මාර්ගයෙන් සමුච්ඡේද විරාග වශයෙන් නො ඇලෙන්න. ඉන්පසු ඵලයෙන් පටිප්පස්සද්ධි විමුක්ති වශයෙන් මිදෙන්න.
නැතහොත් ‘පාපං’ යනු ලාමක වශයෙන් පාපය, (එයින්) කුමක් කියන ලද්දේ වේද? අනිත්ය, දුක්ඛ ආදී භාවයෙන් යමක් පිළිකුල් ද ආර්යයන් විසින් පිළිකුල් කරන සසර දුකට යමක් පමුණුවයි ද එහෙයින් පාප නම් වේ. කුමක් නිසා ඒ ත්රෛභූමික ධර්ම කියන ලද අර්ථයෙන් ලාමක වශයෙන් දැක එහි අනිත්ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගණ්ඩ (පිළිකාවක්) වශයෙන් සල්ල (උලක්) වශයෙන් අඝ (විපතක්) වශයෙන් ආබාධයක් යනාදී වශයෙන් විදසුන් වඩමින් කලකිරෙන්න ද? මේ දුතියා යනුවෙන් පත් වූ පරිද්දෙන් අහිත අනර්ථ පැහැදිලි කරන පළමුවන ධර්මදේශනය මුල්කොට එයින් පසු විවේචනයට මේ දෙවන ධර්ම දේශනයයි.
ගාථාවන්හි බුද්ධස්ස යනු සර්වඥ බුදුරජාණන් වහන්සේගේ. සබ්බභූතානු කම්පිනො යනු සියලු සත්ත්වයන් වෙත මහා කරුණාවෙන් අනුකම්පා ස්වභාවය ඇති. පරියාය වචනං යනු පර්යාය වශයෙන් කථනය, දේශනය. පස්ස බලන්න යනුවෙන් පිරිසට අමතති. පිරිසෙහි වැඩිහිටියා සඳහා හෝ කියන ලදී. ඇතැමෙක් තමන්වහන්සේ සඳහා භාග්යවතුන් වහන්සේ පස්ස යනුවෙන් වදාළහයි කීහ. තත්ථ යනු ඒ පාපයෙහි විරජ්ජථ යනු රාගය දුරුකරන්න යන අර්ථයි. ඉතිරිය කියන ලද අයුරින්මය.
දෙවන සුත්රයයි.
3. විද්යා සූත්ර වර්ණනාව
තෙවන සූත්රයෙහි පුබ්බංගමා යනු එකට ඉපදීම් වශයෙන් ද හේතු වශයෙන් දැයි දෙයාකාරයකින් පූර්වාංගම වෙයි. පෙරටුකොට ඇත්තේ වෙයි. ප්රධාන කාරණය වෙයි. අවිද්යාවෙන් තොරව අකුසල උපතක් නැත. සමාපත්තියා පැමිණීම පිණිස, ස්වභාව-ප්රතිලාභය පිණිස, ප්රාප්තිය පිණිස (රැස්කිරීම පිණිස). එහි අකුසලය පැවතීමෙහි ආදීනව (දොස්) වැසීමෙන් අනුවණින් මෙනෙහි කිරීමට හේතු වීමෙන් ද දුරු නොවීමෙන් ද අකුසල ධර්මයන්ට හේතුවක් බව දක්නා ලැබේ.