6. දානසංවිභාග සූත්ර වර්ණනාව
සයවන සූත්රයෙහි එවඤ්චෙ යන මෙහි ‘එවං’ යනු උපමා ආකාර නිපාතයකි. ‘චෙ’ යනු සිතීමෙහි නිපාතයකි. සත්තා යනු රූප ආදියෙහි ඇලුණු පැටලුණු අය (සත්ත්වයෝ) ජානෙය්යුං යනු අවබෝධ කරත් නම්. දාන සංවිභාගස්ස යනු යම් චේතනාවකින් ආහාර ආදී දියයුතු දෙයක් එක්රැස්කොට අනුකම්පා චේතනාව පූජා චේතනාව යන චේතනා අතරින් එක්තරා චේතනාවකින් අනුන්ට දෙනු ලැබේ ද එය දානය යි. යම් චේතනාවකින් තමා විසින් අනුභව කළයුතු බැවින් ගන්නා ලද වස්තුවකින් එක් කොටසක් බෙදාදෙනු ලැබේ ද මේ සංවිභාගය යි. විපාකං යනු ඵලයයි. යථාහං ජානාමි යනු මම යම්සේ දනිම් ද, මෙය කියන ලද්දේ වෙයි: ‘තිරිසන්ගත සතෙකුට වුව ද දන් දී ආත්මභාව සියයක ප්රවෘත්ති සැප මුහුකුරා යෑම් වශයෙන් සියගුණයක් (විපාක දෙන) දානයක් වෙයි යන මේ ආදී වශයෙන්, මහණෙනි යම් ආකාරයකින් මම දානය බෙදා දීමේ ද විපාකං විපාකය කර්මවිපාක ඥාන බලයෙන් ප්රත්යක්ෂ වශයෙන් දනිම් ද මෙසේ මේ සත්ත්වයෝ දනිත්නම්. න අදත්වා භූඤ්ජෙය්යුං යනු අනුභව කළයුතු තමා සතු දෙයකින් අනුන්ට නොදී අනුභව නො කරත්. දීම සිදුකොටම අනුභව කරත්. න ච තෙසං මච්ඡෙරමලං චිත්තං පරියාදාය තිට්ඨෙය්ය යනු තම සම්පත් අනුන්ට පොදු වීම නොඉවසන බව ලක්ෂණ කොට ඇති, සිතේ බබලන බව කෙළෙසන උපක්ලේශ වූ කලු ධර්ම (අකුශල ධර්ම) අතරින් එක්තරා කලු ධර්මයක් වන මසුරුමල, නැතහොත් කියන ලද ආකාර ඇති මසුරුමල ද දානයට අනතුරු කරන ඊර්ෂ්යාව, ලෝභය, ද්වේෂය ආදී (කෙලෙස්) මලයක් ද ඒ සත්ත්වයන්ගේ සිතෙහි යම් සේ දාන චේතනාව නොපවතී ද සුපිරිසිදු නොවේ ද එලෙස අල්ලාගෙන, හාත්පසින් ගෙන, මැඬපවත්වාගෙන නො සිටින්නේය. දන් දීමෙහි විපාකය (ඵලය) මනාකොට දන්නා වූ කවර තැනැත්තෙක් තමාගේ සිතෙහි මසුරුමලට ඉඩ දෙන්නේ ද?
යොපි නෙසං අස්ස චරිමො ආලොපො යනු ඒ සත්ත්වයන්ට ඇති සියලු (බත්) පිඬුවලට පසුව ලැබෙන අන්තිම පිඬක් වේද, චරිමං කබලං යනු එයටම සමාන වචනයකි. මෙය කියන ලදී. මේ සත්ත්වයන් ස්වභාවයෙන් තම තමන්ට යැපීමට ප්රමාණවත් වූ පිඬු අතරින් එකම පිඬක් තමා වෙනුවෙන් තබා අනිත් සියලු පිඬු ඕනෑකමින් පැමිණි පැමිණි අයට දී (කලින්) තබන ලද පිඬුව ‘අවසන් පිඬුව’ නම් වේ. තතොපි න අසංවිභජීත්වා භූඤ්ජෙය්යුං සචෙ නෙසං පටිග්ගාහකා අස්සු යනු දානය බෙදා කොටසක් දිමේ විපාක ප්රත්යක්ෂ වශයෙන් මා මෙන් දන්නා අය ඇත්නම් ඔවුහු ඒ සත්ත්වයන් අතර ආහාර පිළිගැනීමට සිටින අයට කියන ලද ආකාර ඇති අවසන් පිඬුවෙනුත් වෙන්කොට එක් කොටසක් පරිත්යාගකොටම අනුභව කරති. ‘යස්මා ච ඛො’ ‘යම් හෙයකින් වනාහි’ ආදී වශයෙන් කම්පල ප්රත්යක්ෂ නොකිරිමේ හේතුවෙන්ම ඒ සත්ත්වයෝ දානය බෙදා දීමෙහි නො පවතිත් යනුවෙන් අදහස් කරන ලද අර්ථය කරුණකින් සම්පාදනය කරයි. එසේම ඔවුන් අනිත් පින්වල නොපිළිපැදීමේ ද පව්වල පිළිපැදිමේ ද කාරණය දක්වන ලදැයි දතයුතුය.
ගාථාවන්හි - යථාවුත්තං මහෙසිනා යනු මහර්ෂී වූ භාග්යවතුන් වහන්සේ විසින් ‘තිරච්ඡානගතානං දානං දත්වා සතගුණා දක්ඛිණා පාටිකංඛිතබ්බා’ ‘තිරිසන්ගත සතුන්ට දන් දී එම දානයේ අනුසස් සිය ගුණයකින් කැමති විය යුතුය’ ආදී වශයෙන් ද මෙම සූත්රයෙහි ම ‘එවඤ්චෙ සත්තා ජානෙය්යුං’ ඉදින් සත්ත්වයෝ මෙසේ දනිත් නම්’ ආදී වශයෙන් කියන ලද පරිදි යමක් ඇත්නම් නුවණින් විමසා බැලීමෙන් (ඤාණ චාරෙන) ඒ කියන ලද පරිදි සිත දැනගන්නා ලදී යන අර්ථයි. විපාකං සංවිභාගස්ස යනු තමාගේ ආහාරයෙන් කොටසක් බෙදාදීමේ විපාකයත් මෙසේ නම් දානයක විපාක ගැන කවර කතා ද? යථා හොති මහප්ඵලං යනු ඒ විපාකය මහත්ඵල වන අයුරු මේ සත්ත්වයෝ දනිත්නම් යනු සම්බන්ධයයි. විනෙය්ය මච්ඡෙරමලං යනු මසුරුමල ඉවත්කොට කම්පල ඇදහීමද රත්නත්රය ඇදහීම ද විශේෂ වශයෙන් පැහැදුනු සිතෙන් කෙලෙසුන් කෙරෙන් දුරු වූ බැවින් අරියෙසු ශීලාදී ගුණයෙන් යුක්ත වූවන් කෙරෙහි දින්නං දෙන ලද ස්වල්ප වූ ද දානය මහප්ඵලං මහත්ඵල වෙයි. උන්වහන්සේලා කෙරෙහි සුදුසු කාලයෙහි දජ්ජුං දෙන්නාහුය.
මහත්ඵල බව ඇතිකිරිම් වශයෙන් දක්ෂිණාවට (දානයට) සුදුසුවෙත් යන අරුතින් දක්ෂිණාවට සුදුසු වූ, මනාව පිළිපන්නා වූ ඒ දක්ඛිණෙය්යෙසු දක්ෂිණාවට සුදුස්සන් කෙරෙහි දක්ඛිණං පරලොව ගැන විශ්වාස කොට දිය යුතු දාන වස්තුව මහා දානයක් වන පරිදි දත්වා දී, නැතහොත් දන් දී, ‘දක්ඛිණෙය්යෙසු දක්ඛිණං’ ‘දක්ෂිණාව දීමට සුදුස්සන් කෙරෙහි’ යනුවෙන් කෙසේ දානය දිය යුතුදැයි වදාළහ. ඉතො මනුස්සත්තා මිනිසත් බවෙන් චුතා චුත වූවාහු, පිළිසිඳ ගැනීම් වශයෙන් සග්ගං ගච්ඡන්ති දායකා දායකයෝ ස්වර්ගයට යති, කාමකාමිනො යනු කැමති විය යුතු උදාර දිව්ය සම්පත් ලබන ලද ස්වහාව සම්පතින් යුත් කර්මයෙන් පැමිණිය යුත්තෙහි මනාව කිරිමෙන් කැමති සම්පත් ඇත්තාහු, සියලු කාමයෙන් යුක්ත වූවාහු මොදන්ති කැමති පරිදි සැපවිඳිති යන අර්ථයි.
සයවන සූත්රයයි.
7. මෙත්තා චෙතොවිමුත්ති සූත්ර වර්ණනාව
සත්වන සූත්රයෙහි යානි කානිචි යනු ඉතිරි නොකොට සියල්ල ගැනීම. ඔපධිකානි පුඤ්ඤකිරිය වත්ථූනි යනු ඒවායේ නියම කිරීමයි. එහි ස්කන්ධයෝ උපධි යයි කියනු ලැබෙත්. උපධියට කාරණ වූ සිලය හෝ ඒවායේ (පුණ්ය ක්රියාවන්ගේ) උපධීන්ට ඇති ප්රයෝජන හෝ ඔපධිකානි වේ. සම්පත්ති භවයෙහි ආත්මභාව ඇතිකරන ප්රතිසන්ධි - ප්රවෘත්ති විපාක දෙන්නා වූ. පුඤ්ඤකිරිය වත්ථූනි වැනි යනු පුණ්යක්රියා වූයේ ද ඒවාය, ඒ ඒ ඵල - ආනිශංසයන්ට වස්තු වූයේ ද ඒවාය යන අරුතින් පුඤ්ඤකිරිය වත්ථූනි වැනි නම් වේ. ඒවා කෙටියෙන් දානමය, සීලමය, භාවනාමය යනුවෙන් ත්රිවිධ වෙයි. එහි කිවයුතු දේ මතු තික නිපාත වර්ණනාවෙහි ප්රකට වන්නේය.
මෙත්තාය චෙතො විමුත්තියා යනු මෛත්රී භාවනා වශයෙන් ලබන ලද තික - චතුක්ක ධ්යාන සමාපත්තියේ. මෛත්රියයි කී කල්හි උපචාරය ද අර්පණාවද ලැබෙයි. (ගැනෙයි) චෙතො විමුත්ති යනුවෙන් කී කල්හි අර්පණා ධ්යානයම ලැබෙයි. එහිදී (අර්පණා ධ්යානයේදී) නීවරණ ආදී විරුද්ධ ධර්මයන්ගෙන් සිත මැනවින් මිදුණ බැවින් චෙතො විමුත්ති යයි කියනු ලැබේ. කලං නාග්ඝන්ති සොළසිං යනු මෛත්රී බ්රහ්ම විහාරයේ දාසයෙන් කොටසක් තරම්වත් ඕපධික පුණ්යක්රියා වස්තු නොවටී. මෛත්රී චේතෝ විමුක්තියේ විපාකය කොටස් දහසයකට බෙදා එයින් එක් කොටසක් නැවත කොටස් දහසයකට බෙදා ඉන් එක් කොටසක් තරම්වත් ඕපධික පුණ්යක්රියා වස්තු නොවටී යන මෙය කියන ලදී. අධිග්ගහෙත්වා යනු මැඩපවත්වා. භාසතෙ යනු උපක්ලේශවලින් පිරිසිදු වූ හෙයින් බබළයි. තපතෙ යනු එහෙයින් ම සියලු ප්රතිවිරුද්ධ ධර්ම තවයි. විරොචති යනු මුලින් කී කරුණු දෙක නිසා විශේෂයෙන් දීප්තිමත් වෙයි. සඳඑළිය නම් වූ මෛත්රී චේතෝ විමුක්තිය පහවූ උපක්ලේශ (බාධා) ඇති සඳඑළිය මෙන් බබළයි. හිරු රැස් අඳුර දුරළන්නා සේ විරුද්ධ ධර්මයන් විනාශ කරමින් තමයි. ඕසධී තාරකාව බබලන්නාක් මෙන් විශේෂයෙන් දීප්තිමත් වෙයි.