7. මෙත්තා චෙතොවිමුත්ති සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයෙහි යානි කානිචි යනු ඉතිරි නොකොට සියල්ල ගැනීම. ඔපධිකානි පුඤ්ඤකිරිය වත්‍ථූනි යනු ඒවායේ නියම කිරීමයි. එහි ස්කන්ධයෝ උපධි යයි කියනු ලැබෙත්. උපධියට කාරණ වූ සිලය හෝ ඒවායේ (පුණ්‍ය ක්‍රියාවන්ගේ) උපධීන්ට ඇති ප්‍රයෝජන හෝ ඔපධිකානි වේ. සම්පත්ති භවයෙහි ආත්මභාව ඇතිකරන ප්‍රතිසන්ධි - ප්‍රවෘත්ති විපාක දෙන්නා වූ. පුඤ්ඤකිරිය වත්‍ථූනි වැනි යනු පුණ්‍යක්‍රියා වූයේ ද ඒවාය, ඒ ඒ ඵල - ආනිශංසයන්ට වස්තු වූයේ ද ඒවාය යන අරුතින් පුඤ්ඤකිරිය වත්‍ථූනි වැනි නම් වේ. ඒවා කෙටියෙන් දානමය, සීලමය, භාවනාමය යනුවෙන් ත්‍රිවිධ වෙයි. එහි කිවයුතු දේ මතු තික නිපාත වර්ණනාවෙහි ප්‍රකට වන්නේය.
මෙත්තාය චෙතො විමුත්තියා යනු මෛත්‍රී භාවනා වශයෙන් ලබන ලද තික - චතුක්ක ධ්‍යාන සමාපත්තියේ. මෛත්‍රියයි කී කල්හි උපචාරය ද අර්පණාවද ලැබෙයි. (ගැනෙයි) චෙතො විමුත්ති යනුවෙන් කී කල්හි අර්පණා ධ්‍යානයම ලැබෙයි. එහිදී (අර්පණා ධ්‍යානයේදී) නීවරණ ආදී විරුද්ධ ධර්මයන්ගෙන් සිත මැනවින් මිදුණ බැවින් චෙතො විමුත්ති යයි කියනු ලැබේ. කලං නාග්ඝන්ති සොළසිං යනු මෛත්‍රී බ්‍රහ්ම විහාරයේ දාසයෙන් කොටසක් තරම්වත් ඕපධික පුණ්‍යක්‍රියා වස්තු නොවටී. මෛත්‍රී චේතෝ විමුක්තියේ විපාකය කොටස් දහසයකට බෙදා එයින් එක් කොටසක් නැවත කොටස් දහසයකට බෙදා ඉන් එක් කොටසක් තරම්වත් ඕපධික පුණ්‍යක්‍රියා වස්තු නොවටී යන මෙය කියන ලදී. අධිග්ගහෙත්‍වා යනු මැඩපවත්වා. භාසතෙ යනු උපක්ලේශවලින් පිරිසිදු වූ හෙයින් බබළයි. තපතෙ යනු එහෙයින් ම සියලු ප්‍රතිවිරුද්ධ ධර්ම තවයි. විරොචති යනු මුලින් කී කරුණු දෙක නිසා විශේෂයෙන් දීප්තිමත් වෙයි. සඳඑළිය නම් වූ මෛත්‍රී චේතෝ විමුක්තිය පහවූ උපක්ලේශ (බාධා) ඇති සඳඑළිය මෙන් බබළයි. හිරු රැස් අඳුර දුරළන්නා සේ විරුද්ධ ධර්මයන් විනාශ කරමින් තමයි. ඕසධී තාරකාව බබලන්නාක් මෙන් විශේෂයෙන් දීප්තිමත් වෙයි.
සෙය්‍යථාපි යනු උපමා දැක්වීම් අර්ථයෙහි නිපාතයකි. තාරකරූපානං යනු තාරකාවන්ගේ. චන්‍දියා යනු මෙය චන්ද්‍රයාට අයත්ය යන අරුතින් චන්‍දී නම් වේ. ඒ චන්ද්‍රයාගේ. පභාය ආලෝකයෙන් සඳඑළියෙන් යන අර්ථය. වස්සානං යනු වර්ෂා කාල යනුවෙන් බහුවචන වශයෙන් ලබන ලද ව්‍යවහාර ඇති ඍතුවේ. පච්ඡිමෙ මාසෙ කත්තික හෙවත් ඉල් මාසයෙහි. සරදසමයෙ යනු සරත් කාලයෙහි. අස්සයුජකත්තික මාස (වප් මස, ඉල්මස) ලෝකයෙහි සරත් ඍතුව යයි කියනු ලැබේ. විද්ධෙ පහ වූ, වැහි පහවීමෙන් දුරට ගිය යන අර්ථයි. එහෙයින්ම විගතවලාහකෙ දෙවෙ පහ වූ වැහිවලාකුළු ඇති අහසෙහි යනුවෙන් කීහ. නභං අබ්භූස්සුක්කමානො උදාවන තැනින් අහසට පැන නගිමින් තමගතං යනු අඳුර. අභිවිහච්ච යනු නසා, දුරුකොට ඔසධී තාරකා යනු උත්සන්න වූ ආලෝකය මෙයින් දෙනු ලැබේ යනුවෙන් හෝ ඖෂධවලට අනුබලයක් දෙන නිසා හෝ ඔසධී යනුවෙන් ලබන ලද නම් ඇති තාරකාව,
මෙහිදී කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් ආශ්‍රව සහිත බව තිබියදීත් මෛත්‍රිය අනිත් ඕපධික පින්වලට වඩා විශේෂකොට කියන ලද්දේ ඇයි? ශ්‍රේෂ්ඨ අර්ථයෙන් ද නිදොස් බැවින්දැයි පිළිතුරු කියනු ලැබේ. සත්ත්වයන් කෙරෙහි මනා වූ පිළිවෙතක් වන බැවින් මෙම විහාර ශ්‍රේෂ්ඨය. සියලු සත්ත්වයන් කෙරෙහි මෙම මෛත්‍රී ධ්‍යාන යහපත් ප්‍රතිපත්ති වෙයි. බ්‍රහ්මයෝ යම්සේ නිදොස් සිත් ඇත්තාහු වාසය කරත් ද මෙසේ එම ධ්‍යානවලින් යුක්ත වූ යෝගීහු බ්‍රහ්මයන්ට සමානව වාසය කරති. එසේ මේවා (මෛතී ධ්‍යාන) බ්‍රහ්මවිහාර යයි කියනු ලැබේ. මෙසේ ශ්‍රේෂ්ඨ අර්ථයෙන් ද නිදොස් බැවින් ද සත්ත්වයන් කෙරෙහි මනා වූ පිළිවෙතක් වන බැවින් ද මෛත්‍රියම අනිත් ඕපධික පින්වලට වඩා විශේෂකොට කියන ලදී.
මෙසේ ඇති කල්හි කුමක් නිසා මෙසේ විශේෂකොට කියන ලද ද? අනිකුත් බ්‍රහ්ම විහාරයට පිහිටවන තැනක් වන බැවින් ද දානාදී සියලු යහපත් ධර්මයන් සම්පූර්ණ කරන බැවින් ද විශේෂකොට කියන ලදී. මේ මෛත්‍රිය සත්ත්වයන් කෙරෙහි හිතවත් ආකාර පැවැත්ම ලක්‍ෂණ කොට ඇත්තේය. යහපත ළඟට පැමිණවීම රස (කෘත්‍ය) යයි. ද්වේෂය දුරුකිරීම වැටහෙන ආකාරයයි. ඉදින් ඒ මෛත්‍රිය සීමාරහිතව (සීමාවක් නැතිව) භාවිත කරන ලද ද බහුල වශයෙන් පුරුදු කරන ලද නම් ඉන්පසු කරුණා ආදී භාවනා සම්පූර්ණ වෙයි යන අරුතින් මෛත්‍රිය අනිත් බ්‍රහ්ම විහාරයන්ට පිහිටවන තැනකි. එසේ සත්ත්වයන් කෙරෙහි හිතවත් බව ඇති කල්හි ඔවුන්ගේ දුක් නොඉවසන බව, සම්පත් බොහෝ කල් පැවැත්මට කැමති බව, පක්‍ෂපාත බවක් නැති බැවින් හැමතන්හි සමව පවතින සිත් ඇති බැවින් ද සුවසේ ඉටුවෙයි. මෙසේ ද සියලු ලෝකයාට හිතසුව ඇති කිරීමෙහි ඇලුණු මහා සත්ත්ව, බෝධිසත්වයන් වහන්සේලා මොහුට දිය යුතුය, මොහුට නොදිය යුතුයයි උතුම් අය සෙවීම් වශයෙන් විභාග නොකොට සියලු සත්ත්වයන්ට සියලු සැපයට හේතුව වූ දානය දෙති. ඔවුන්ගේ හිත සැප පිණිසම සිල් සමාදන් වෙති. සීලය සම්පූර්ණ කිරිම සඳහා නෛෂ්ක්‍රම්‍යය (නෙක්ඛම්ම) ඇසුරු කරති. ඔවුන්ගේ හිතසැප කෙරෙහි මුළානොවීම පිණිස ප්‍රඥාව පිරිසිදු කරති. හිතසුව වැඩිකිරීම පිණිස ම දැඩිව වීර්ය ආරම්භ කරත්. උතුම් වීර්ය වශයෙන් වීරභාවයට පත්වූවාහු සත්ත්වයන්ට නොයෙක් ආකාර යහපත බලාපොරොත්තුවෙන්ම අපරාධය (වරද) ඉවසති. මෙය ඔබට දෙන්නෙමි, කරන්නෙමි යනාදී වශයෙන් කරන ලද ප්‍රතිඥාව (පොරොන්දුව) කඩ නොකරති. ඔවුන්ගේ හිතසුව පිණිසම නොසෙල්වෙන අධිෂ්ඨානයෙන් යුක්ත වෙති. ඔවුන් කෙරෙහි නොසෙල්වෙන මෛත්‍රිය ඇති නිසා පළමුකොට උපකාර කරන්නාහු යහපත බලාපොරොත්තුවෙන්ම ඔවුන්ගේ විකාර වැඩවලදී උදාසීන වෙති. පළමුකොට උපකාර කිරීම නිසා ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවෙති. මෙසේ උන්වහන්සේලා පාරමී පුරා දසබල - චතුර් වෛශාරද්‍ය ඥාන - ෂට් අසාධාරණ ඥාන අටළොස් (18) ආවේණික බුද්ධ ධර්ම ප්‍රභේද ඇති සියලුම කල්‍යාණ ධර්මයන් සම්පූර්ණ කරත්. මෙසේ දානාදී සියලු කල්‍යාණ ධර්මයන් සම්පූර්ණ කරන්නේ මෛත්‍රිය යනුවෙන් මේ විශේෂය දැක්වීම පිණිස ඒ මෛත්‍රිය අනිත්වාට වඩා විශේෂකොට කියන ලදී.