5. සම්පජානමුසාවාද සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයෙහි එකධම්මං අතීතස්ස යන්නෙහි උපත කුමක්ද? භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂු සංඝයාට ද මහත් ලාභසත්කාර උපන්නේය. තීර්ථකයන්ගේ ලාභසත්කාර පිරිහුනේය. නැසුණු ලාභසත්කාර ඇති, බැබලීමක් නැති, තේජස් නැති ඊර්ෂ්‍යාවෙන් යුක්ත වූ ඔවුහු ‘එන්න නැගණිය, ඔබ ශ්‍රමණ ගෞතමයන්ට අසත්‍ය වූ කරුණකින් චෝදනාවක් කරන්න’ යනුවෙන් චිංචි මානවිකා නම් පරිබ්‍රාජිකාව උනන්දු කරවූහ. ඈ සිවු පිරිස මැද දහම් දෙසන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ අසත්‍ය කරුණකින් චෝදනා කළාය. ශක්‍රයා විසින් ඇගේ අසත්‍යභාවය ප්‍රකට කළ කල්හි මහජනයා විසින් චිඃ චිඃ කාලකණ්ණිය යි කියමින් විහාරයෙන් ඉවතට ඇද දමන ලද්දී පොළොව විවරයක් සාදා දුන් කල්හි අවීචියෙහි ගිනිදැල්වලට ඉන්ධනයක් (දර කැබැල්ලක්) බවට පත්වී අවීචි නිරයෙහි උපන්නාය. තීර්ථකයගේ ලාභසත්කාර වඩාත් පිරිහුණේය. භික්‍ෂූහු ධර්මසභාවෙහිදී ‘ඇවැත්නි, චිංචිමානවිකාව මෙසේ උදාර ගුණ ඇති, පුද පූජා ලැබීමට අතිශයින් ම සුදුසු වූ, සම්මා සම්බුදුරජාණන් වහන්සේට බොරු චෝදනාවකින් දොස් නගා මහා විනාශයකට පත්වූවාය’යි කථාවක් මතු කළාහුය. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය නිසා මහණෙනි, දැන් පමණක් නොව පෙරත් ඈ මට බොරු චෝදනාවකින් දොස් නගා මහා විනාශයකට පත්වූවාම යයි මහාපදුම ජාතකය දේශනාකොට මත්තෙහි දහම් දෙසමින් මේ කාරණය මුල්කරගෙන ‘එකං ධම්මං අතීතස්ස’ යන මේ සූත්‍රය දේශනා කළ සේක.
එහි එකං ධම්මං යනු වාක්සත්‍ය නම් වූ එකම ධර්මය අතීතසස්ස යනු පහත් ව්‍යවහාර අට දුරුකොට උසස් ව්‍යවහාර අටෙහි පිහිටා ‘සච්චං භණෙ න අලිකං’ සත්‍ය කථා කරන්නේය, බොරු නො කියන්නේය’යි ආර්යයන් වහන්සේලා විසින් තබන ලද සීමාව ඉක්මවා සිටියා වූ. පුරුෂයාම පුද්ගලයායි ගෙන පුරිස පුග්ගලො නම් වේ, තස්ස ඒ පුරුෂයා විසින්. අකරණීයං කරන්නට නොහැකි, දැන දැන බොරු කියන පුද්ගලයා කිසියම් පාපකර්මයක් කොට මෙය ඔබ විසින් කරන ලදදැයි ඇසූකල්හි මා විසින් නොකරන ලදැයි මුසාවාදයෙන්ම ඉවත දමයි. මෙසේ පිළිපදින තැනැත්තා කරන කිසි පාපකර්මයකට ලජ්ජා නොවෙයි. සත්‍යයේ සීමාව ඉක්මවූ හෙයිනි. එහෙයින් කතමං එකධම්මං යදිදං භික්‍ඛවෙ සම්පජාන මුසාවාදො = මහණෙනි, කුමන එක් ධර්මයක් ද? මේ දැන දැන බොරු කීමයි යනුවෙන් වදාරණ ලදී.
ගාථාවෙහි මුසාවාදිස්ස යනු මුසාවක් අභූතයක් (ඇති නොවූ දෙයක්) සත්‍ය නොවූ දෙයක් අනුන්ට දැන්වීම් වශයෙන් කියනසුලු, යමෙකුගේ වචන දහයකින් එකක්වත් සත්‍ය නොවේනම් එබඳු පුද්ගලයකු කෙරෙහි කිවයුත්තක්ම නැත. ජන්තුනො යනු සත්ත්වයාට (සත්ත්වයා විසින්) සත්ත්වයා වනාහි උපදින අර්ථයෙන් ජන්තු යයි කියනු ලැබේ. විතිණ්ණ පරලොකස්ස යනු අත්හැර දමන ලද පරලොව ඇති (තැනැත්තා විසින්), මෙබඳු පුද්ගලයා මිනිස් සම්පත්, දෙව්සම්පත් අවසානයෙහි නිවන් සම්පත් යන මේ සම්පත් තුන ම නොදකී. නත්‍ථි පාපං යනු එබඳු වූ ඔහු විසින් මෙ නම් පාපයක් නොකළ හැකියයි කියා දෙයක් නැත.
පස්වන සූත්‍ර වර්ණනාවයි.
6. දානසංවිභාග සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයෙහි එවඤ්චෙ යන මෙහි ‘එවං’ යනු උපමා ආකාර නිපාතයකි. ‘චෙ’ යනු සිතීමෙහි නිපාතයකි. සත්තා යනු රූප ආදියෙහි ඇලුණු පැටලුණු අය (සත්ත්වයෝ) ජානෙය්‍යුං යනු අවබෝධ කරත් නම්. දාන සංවිභාගස්ස යනු යම් චේතනාවකින් ආහාර ආදී දියයුතු දෙයක් එක්රැස්කොට අනුකම්පා චේතනාව පූජා චේතනාව යන චේතනා අතරින් එක්තරා චේතනාවකින් අනුන්ට දෙනු ලැබේ ද එය දානය යි. යම් චේතනාවකින් තමා විසින් අනුභව කළයුතු බැවින් ගන්නා ලද වස්තුවකින් එක් කොටසක් බෙදාදෙනු ලැබේ ද මේ සංවිභාගය යි. විපාකං යනු ඵලයයි. යථාහං ජානාමි යනු මම යම්සේ දනිම් ද, මෙය කියන ලද්දේ වෙයි: ‘තිරිසන්ගත සතෙකුට වුව ද දන් දී ආත්මභාව සියයක ප්‍රවෘත්ති සැප මුහුකුරා යෑම් වශයෙන් සියගුණයක් (විපාක දෙන) දානයක් වෙයි යන මේ ආදී වශයෙන්, මහණෙනි යම් ආකාරයකින් මම දානය බෙදා දීමේ ද විපාකං විපාකය කර්මවිපාක ඥාන බලයෙන් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දනිම් ද මෙසේ මේ සත්ත්වයෝ දනිත්නම්. න අදත්‍වා භූඤ්ජෙය්‍යුං යනු අනුභව කළයුතු තමා සතු දෙයකින් අනුන්ට නොදී අනුභව නො කරත්. දීම සිදුකොටම අනුභව කරත්. න ච තෙසං මච්ඡෙරමලං චිත්තං පරියාදාය තිට්ඨෙය්‍ය යනු තම සම්පත් අනුන්ට පොදු වීම නොඉවසන බව ලක්‍ෂණ කොට ඇති, සිතේ බබලන බව කෙළෙසන උපක්ලේශ වූ කලු ධර්ම (අකුශල ධර්ම) අතරින් එක්තරා කලු ධර්මයක් වන මසුරුමල, නැතහොත් කියන ලද ආකාර ඇති මසුරුමල ද දානයට අනතුරු කරන ඊර්ෂ්‍යාව, ලෝභය, ද්වේෂය ආදී (කෙලෙස්) මලයක් ද ඒ සත්ත්වයන්ගේ සිතෙහි යම් සේ දාන චේතනාව නොපවතී ද සුපිරිසිදු නොවේ ද එලෙස අල්ලාගෙන, හාත්පසින් ගෙන, මැඬපවත්වාගෙන නො සිටින්නේය. දන් දීමෙහි විපාකය (ඵලය) මනාකොට දන්නා වූ කවර තැනැත්තෙක් තමාගේ සිතෙහි මසුරුමලට ඉඩ දෙන්නේ ද?
යොපි නෙසං අස්ස චරිමො ආලොපො යනු ඒ සත්ත්වයන්ට ඇති සියලු (බත්) පිඬුවලට පසුව ලැබෙන අන්තිම පිඬක් වේද, චරිමං කබලං යනු එයටම සමාන වචනයකි. මෙය කියන ලදී. මේ සත්ත්වයන් ස්වභාවයෙන් තම තමන්ට යැපීමට ප්‍රමාණවත් වූ පිඬු අතරින් එකම පිඬක් තමා වෙනුවෙන් තබා අනිත් සියලු පිඬු ඕනෑකමින් පැමිණි පැමිණි අයට දී (කලින්) තබන ලද පිඬුව ‘අවසන් පිඬුව’ නම් වේ. තතොපි න අසංවිභජීත්‍වා භූඤ්ජෙය්‍යුං සචෙ නෙසං පටිග්ගාහකා අස්සු යනු දානය බෙදා කොටසක් දිමේ විපාක ප්‍රත්‍යක්‍ෂ වශයෙන් මා මෙන් දන්නා අය ඇත්නම් ඔවුහු ඒ සත්ත්වයන් අතර ආහාර පිළිගැනීමට සිටින අයට කියන ලද ආකාර ඇති අවසන් පිඬුවෙනුත් වෙන්කොට එක් කොටසක් පරිත්‍යාගකොටම අනුභව කරති. ‘යස්මා ච ඛො’ ‘යම් හෙයකින් වනාහි’ ආදී වශයෙන් කම්පල ප්‍රත්‍යක්‍ෂ නොකිරිමේ හේතුවෙන්ම ඒ සත්ත්වයෝ දානය බෙදා දීමෙහි නො පවතිත් යනුවෙන් අදහස් කරන ලද අර්ථය කරුණකින් සම්පාදනය කරයි. එසේම ඔවුන් අනිත් පින්වල නොපිළිපැදීමේ ද පව්වල පිළිපැදිමේ ද කාරණය දක්වන ලදැයි දතයුතුය.