4. අට්ඨිපුඤ්ජ සූත්‍ර වර්ණනාව
සිවුවන සූත්‍රයෙහි එකපුග්ගලස්ස යන මෙහි පුග්ගලො යනු මේ ව්‍යවහාර කථාවයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනා, සම්මුති දේශනා පරමාර්ථ දේශනා යනුවෙන් දෙපරිදිය. එහි පුද්ගලයා සත්ත්වයා, ස්ත්‍රිය, පුරුෂයා, ක්‍ෂත්‍රියයා, බමුණා, දෙවියා, මාරයා යන මෙබඳු වූ දේශනා සම්මුති දේශනා ය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ස්කන්ධ, ධාතු, ආයතන, සතිපට්ඨාන යන මෙබඳු වූ දේශනා පරමාර්ථ දේශනා ය. එහිදී භාග්‍යවතුන් වහන්සේ සම්මුති වශයෙන් කරන දේශනාව අසා විශේෂත්වයකට පත්වන්නට සමත් අයට සම්මුති දේශනාව දේශනා කරති. පරමාර්ථ වශයෙන් කරන දේශනාව අසා විශේෂත්වයකට පත්වන්නට සමත් අයට පරමාර්ථ දේශනාව දේශනා කරති.
ඒ කරුණෙහිලා උපමාවකි. දේශ භාෂාවන්හි දක්‍ෂ ත්‍රිවේදයේ අරුත් පැහැදිලි කරන ගුරුවරයා දෙමළ බසින් කී කල්හි අරුත් දැනගන්නා වූ අයට දෙමළ බසින් කියයි. අන්ධක භාෂා ආදිය අතුරින් එක්තරා බසකින් කී කල්හි අරුත් දැනගන්නා අයට ඒ ඒ බසින් කියයි. මෙසේ ඒ තරුණයෝ දක්ෂ උගත් ගුරුවරයකු වෙත පැමිණ වහාම ශිල්ප උගනිති. එහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගුරුවරයා මෙනි. කිවයුතු භාවයෙහි පිහිටි ත්‍රිපිටකය ත්‍රිවේදය මෙනි. සම්මුති පරමාර්ථ දෙකෙහි දක්ෂ බව දේශ භාෂාවෙහි දක්ෂ බව මෙනි. සම්මුති පරමාර්ථ වශයෙන් අවබෝධ කිරීමෙහි සමත් හික්මවීමට සුදුසු අය නොයෙක් දේශයන්හි භාෂා දන්නා තරුණයන් මෙනි. භාග්‍යවතුන් වහන්සේ සම්මුති පරමාර්ථ වශයෙන් කරන දේශනා ගුරුවරයා දෙමළ භාෂාදිය කීම මෙනි යනුවෙන් දතයුතුය. එහිදී මෙසේද කීය.
දුවෙ සච්චානි අක්‍ඛාසි සම්බුද්ධො වදතං වරො
සම්මුතිං පරමත්‍ථඤ්ච තතියං නූපලබ්භති
කියන්නවුන් අතර උතුම් වූ සම්බුදුරජාණන් වහන්සේ සම්මුති පරමාර්ථ යන සත්‍ය දෙක වදාළහ. තෙවන සත්‍යයක් නොලැබේ.
සංකෙතවචනං සච්චං ලොකසම්මුති කාරණා
පරමත්‍ථවචනං සච්චං ධම්මානං තථලක්‍ඛණා
ලෝක සම්මුතියක්ය යන කාරණයෙන් ලෝවැසියන් විසින් නියම කරගත් වචනය සත්‍යය. ධර්මයගේ සත්‍ය ලක්‍ෂණයෙන් පරමාර්ථ වචනය සත්‍යයි.
තස්මා වොහාර කුසලස්ස ලොකනාථස්ස සත්‍ථුනො
සම්මුතිං වොහරන්තස්ස වොහාරො අරියොව සො
එහෙයින් සම්මුතිය කථාකරන, කථා ව්‍යවහාරයෙහි දක්‍ෂ වූ ලෝකනාථ වූ, ශාස්තෲන් වහන්සේගේ ඒ ව්‍යවහාරය ආර්ය ව්‍යවහාරයක්ම වෙයි.
තවද කරුණු අටකින් භාග්‍යවතුන් වහන්සේ පුද්ගල කථාව ප්‍රකාශ කරති.
1. පාපයට ඇති ලජ්ජා භය පැහැදිලි කිරීම පිණිස.
2. කර්මය තමා අයත් කොට ඇති බව පැහැදිලි කිරීම පිණිස.
3. වෙන් වෙන්වූ මිනිස් ස්වරූපය පැහැදිලි කිරීම පිණිස.
4. ආනන්තරිය (කර්ම) පැහැදිලි කිරීම පිණිස.
5. බ්‍රහ්මවිහාරය පැහැදිලි කිරීම පිණිස.
6. පෙර විසූ ආකාරය පැහැදිලි කිරීම පිණිස.
7. දන්දීම පිරිසිදු වන ආකාරය (දක්ඛිණා විසුද්ධි) පැහැදිලි කිරීම පිණිස.
8. ලෝකයේ කථා ව්‍යවහාරය දුරු නොකිරීම පිණිස.
ස්කන්ධ, ධාතු ආයතන, ලජ්ජා වෙයි. බිය වෙයි යනුවෙන් කී කල්හි මහජන තෙමේ ‘ස්කන්ධ - ධාතු - ආයතන ලජ්ජා වෙයි. බියවෙයි යනුවෙන් කියන මේ කතාව කුමක්දැයි නොදනී. මුළාවට පත් වෙයි. සතුරු හෝ වෙයි. ස්ත්‍රිය ලජ්ජා වෙයි. බිය වෙයි. පුරුෂයා, ක්‍ෂත්‍රියයා, බමුණා ලජ්ජා වෙයි යනුවෙන් කී කල්හි දැනගනියි. මුළාවට පත් නොවෙයි. සතුරු හෝ නොවෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ හිරිඔතප් පැහැදිලි කිරීම පිණිස පුද්ගල කථාව දේශනා කරති.
ස්කන්ධ කර්මය තමා අයත්කොට ඇත. ධාතු, ආයතනයයි කී කල්හි ද මේ ක්‍රමය මය. එහෙයින් කර්මය තමා අයත්කොට ඇති බව පැහැදිලි කිරීම පිණිස පුද්ගල කථාව දේශනා කරති.
වෙළුවන ආදී මහා විහාර ස්කන්ධ විසින් කරවන ලදී. ධාතු විසින් ආයතන විසින් කරවන ලදී යයි කී කල්හිද ඒ ක්‍රමයමය. ස්කන්ධ මව ජිවිතයෙන් තොර කරයි. පියා, රහතන් වහන්සේ ජීවිතයෙන් තොර කරයි. ලේ සෙලවීමේ කර්මය, සංඝභේදය කරයි. ධාතු, ආයතන ඒවා කරයි යනුවෙන් කී කල්හිද ඒ ක්‍රමයමය. ස්කන්ධ මෛත්‍රී කරයි. ධාතු, ආයතන මෛත්‍රී කරයි යනුවෙන් කී කල්හිද ඒ ක්‍රමයමය. ස්කන්ධ පෙර විසූ ආකාරය සිහිකරයි. ධාතු, ආයතන ද එසේ සිහිකරයි කී කල්හිද ඒ ක්‍රමයමය. එහෙයින් වෙන් වෙන් වූ මිනිස් ස්වරූපය පැහැදිලි කිරීම පිණිස, ආනන්තරිය පැහැදිලි කිරීම පිණිස බ්‍රහ්මවිහාර පැහැදිලි කිරීම පිණිස, පෙර විසූ ආකාරය (පුබ්බෙ නිවාස) පැහැදිලි කිරීම පිණිස ද පුද්ගල කථාව දේශනා කරති.