3. උභො-අත්ථ සූත්‍ර වර්ණනාව
තෙවන සූත්‍රයෙහි භාවිතො යනු උපදවන ලද්දේ ද වඩන ලද්දේ ද, බහුලීකතො යනු නැවත නැවත කරන ලද. අන්‍ථො යනු හිත (යහපත) එය කෙලෙස් නැති බැවින් (අරණීයතො) ද එළඹිය යුතු බැවින් ද අර්ථයයි කියනු ලැබේ. සමධිගය්හ තිට්ඨති යනු මනාව අල්ලාගෙන දුරුනොකොට පවතී. දිට්ඨධම්මිකං යනු ප්‍රත්‍යක්‍ෂ වූ ආත්මභාවය දිට්ඨධම්මයයි කියනු ලැබේ. දිට්ඨධම්මයෙහි වීම දිට්ඨධම්මිකය. මෙලොවට ඇතුළත් යන අර්ථයි. සම්පරායිකං යනු ස්වභාව වශයෙන් පරලොව යා යුතු හෙයින් සම්පරාය නම් වේ. පරලොවයි, සම්පරායෙහි වීම සම්පරායික ය. පරලොවට ඇතුළත් යන අර්ථයි.
ඒ දිට්ඨධම්මික නම් වූ අර්ථය කුමක්ද? සම්පරායික නම් වූ අර්ථය කුමක් ද? කෙටියෙන් මෙලොව සැපය ද දැන් මෙලොව සැප ගෙන දෙන දෙය ද දිට්ඨධම්මික අර්ථයයි. ඒ කෙසේද යත්, ගිහියන්ට සම්පත් උපකරණ, (ගොවිතැන ගව පාලනය ආදී) නිවැරදි කර්මාන්ත ඇති බව, සෞඛ්‍ය කටයුතු සංවිධානය, ශරීරය ඇතුළත හා පිටත වස්තූන් පිරිසිදුව තබාගැනීම, නිසිලෙස පිළියෙල කළ ශිල්පායතන හා විද්‍යායතන, සංග්‍රහ කරන ලද පිරිවර ජනයා ඇති බව යන මේ ආදිය යි. පැවිද්දන්ට සිවුරු, දානය, සෙනසුන්, බෙහෙත් යන ජීවත්වීමට අවශ්‍ය අංග නිදුකින් (පහසුවෙන්) ලැබීම, ඒවා පරිහරණය කිරීමෙහි දී නුවණින් සලකා පරිහරණය කිරීම, නුවණින් සලකා දුරුකිරිම, ඇතුළත පිටත වස්තු පිරිසිදුව තබාගැනීම, අල්පේච්ඡ බව, ලද දෙයින් සතුටු වීම, කාය-චිත්ත විවේකය, දැකීම්, ඇසීම් ආදියෙහි නොඇලීම යන මේ ආදියයි. සුදුසු ප්‍රදේශයක වාසය කිරීම, සත්පුරුෂයන් ඇසුරු කිරීම, සදහම් ඇසීම, නුවණින් මෙනෙහි කිරීමාදිය දෙපිරිසට ම පොදුය. දෙපිරිසටම සුදුසුය යි දතයුතුය.
අප්පමාදො යන මෙහි අප්‍රමාදය ප්‍රමාදයට විරුද්ධ ආකාරයෙන් දතයුතුය. ඒ ප්‍රමාදය නම් කුමක් ද? ප්‍රමාදවන ආකාරයයි.
‘එහි ප්‍රමාදය කුමක්ද? කාය දුශ්චරිතයෙහි හෝ වචී දුශ්චරිතයෙහි හෝ මනෝ දුශ්චරිතයෙහි හෝ පංචකාම ගුණයන්හි හෝ සිත මුදාහැරීමක් පුන පුනා මුදාහැරීමක්, කුශල ධර්මයන්ගේ වැඩීම පිණිස සකස් නොකොට කටයුතු කරන බවක්, නිතර නොකරන බවත්, ඉඳහිට කරන බවක්, ඉඳහිට කරන බැවින් හැකුළුණු බවක්, කුසල් කිරීම පිණිස අවශ්‍ය වීර්යයට ඇති කැමැත්ත බහා තැබීමක්, බහා තැබූ වීර්යය ඇති බවක්, සේවනය නොකිරිමක්, නොවැඩීමක්, බහුල වශයෙන් නොකිරීමක්, නොපිහිටීමක්, නොපිළිපැදීමක්, ප්‍රමාදයක්, යම් මෙබඳු ප්‍රමාදයක්, ප්‍රමාද ආකාරයක්, ප්‍රමාද බවක් වේද මෙය ප්‍රමාදයයි කියනු ලැබේ.
එහෙයින් කියන ලද ආකාරයට විරුද්ධ ආකාරයෙන් අප්‍රමාදය දතයුතුය. අර්ථ වශයෙන් ඒ අප්‍රමාදය සිහියෙන් වෙන්ව නොවිසීමයි. නිතර එළඹසිටි සිහියට ද එය නමකි. අන් අය වනාහි සිහිනුවණ යෙදීමෙන් පැවති අරූප ස්කන්ධ අප්‍රමාදයයි කියති.
භාවිතො බහුලීකතො යන්න (මේ සූත්‍ර වර්ණනාව මුලදී) කියන ලදී. මේ අප්‍රමාදය කෙසේ වැඩිය යුතුද? අප්‍රමාද භාවනාව නම් වෙන්වූ එක් භාවනාවක් නැත. යම්කිසි පුණ්‍යක්‍රියාවක්, කුශල ක්‍රියාවක්, ඇත්නම් ඒ සියල්ල අප්‍රමාද භාවනාව යනුවෙන් ම දතයුතුය. විශේෂ වශයෙන් නිවනට හේතු වූ සරණගමනය, කය වචනය සංවරය ද ගෙන සියලු සීල භාවනා, සියලු සමාධි භාවනා, සියලු ප්‍රඥා භාවනා සහ සියලු කුසල භාවනාවන් අනවජ්ජ (භාවනා) අප්‍රමාද භාවනායයි දතයුතුය. අප්‍රමාද යන මෙය මහත් වූ අර්ථයක් ප්‍රකට කරයි. මහත් වූ අර්ථයක් ගෙන සිටියි. සියලුම ත්‍රිපිටක බුද්ධ වචනය ගෙනවුත් ‘අප්පමාද’ යන පදයේ අර්ථ ලෙස කියන ධර්මකථිකයා තොටුපලක් නොවන තැනකින් ඉවත්ව ගියේ යයි නොකිව යුතුය. කුමක් හෙයින් ද? අප්‍රමාද යන පදයේ මහත් බව නිසාය. එසේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුසිනාරාවෙහි සල්ගස් දෙකක් අතර පිරිනිවන්පාන සමයෙහි වැඩහුන් සේක් අභිසම්බෝධියේ පටන් වසර හතළිස් පහකදී තමන්වහන්සේ විසින් දේශනා කළ ධර්මය එක් පදයකින් එක්තැන්කොට දක්වමින් ‘අප්පමාදෙන සම්පාදෙථ’ ‘නො පමාව කටයුතු කරන්න’ යනුවෙන් භික්‍ෂූන්ට අවවාද දුන් සේක. එසේම වදාරණ ලදී -
‘මහණෙනි, ඇවිදින සතුන්ගේ සියලු පාද ඇත් පියවරෙහි ඇතුළත්වීමට පැමිණෙයි. ඇත් පියවර මහත් බැවින් ඒ සියලු පාද අතුරෙන් අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, එසේම සියලුම කුශල ධර්ම අප්‍රමාදය මුල්කොට ඇත. අප්‍රමාදය එක්තැන් වීම කොට ඇත. ඒවාට අප්‍රමාදය අග්‍රයයි කියනු ලැබේ’ යනුවෙන්.