2. මාපුඤ්ඤභායී සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයෙහි මා භික්‍ඛවෙ පුඤ්ඤානං යන මෙහි ‘මා’ යනු ප්‍රතික්‍ෂේප කිරීමෙහි නිපාතය යි. පුඤ්ඤ ශබ්දය: ‘කුසලානං භික්‍ඛවෙ ධම්මානං සමාදාන හෙතු එවමිදං පුඤ්ඤං පවඩ්ඪති’ ‘මහණෙනි, කුසල ධර්මයන් සමාදන් වීම් හේතුවෙන් මෙසේ මේ පින වැඩේ.’ යනාදියෙහි පුණ්‍ය ඵලයෙහි (විපාකයෙහි) ආයේය.
‘අවිජ්ජාගතො යං භික්‍ඛවෙ පුරිස පුග්ගලො පුඤ්ඤඤ්චෙව සංඛාරං අභිසංඛරොති’ ‘මහණෙනි, අවිද්‍යාව අනුව ගිය මේ පුරුෂයා පුණ්‍ය සංස්කාර ද රැස් කරයි’ ආදියෙහි කාමාවචර රූපාවචර අරූපාවචර යහපත් හැසිරිමෙහි ආයේය.’ ‘පුඤ්ඤූපගං භවති විඤ්ඤාණං’ ‘විඤ්ඤාණය දෙවන භවයට පැමිණියේ වෙයි. (එළඹියේ වෙයි) ආදියෙහි සුගති විශේෂ වූ දෙවන භවයෙහි (උපදින ලෝකයෙහි) ආයේය.
‘තීණිමානි භික්‍ඛවෙ පුඤ්ඤකිරිය වත්‍ථුනි දානමයං පුඤ්ඤකිරියවත්‍ථු, සීලමයං පුඤ්ඤකිරියවත්‍ථු, භාවනාමයං පුඤ්ඤකිරිය වත්‍ථු’ ‘මහණෙනි, දානමය පුණ්‍ය ක්‍රියා වස්තුවය, ශීලමය පුණ්‍යක්‍රියා වස්තුවය, භාවනාමය පුණ්‍යක්‍රියා වස්තුව යයි මේ පුණ්‍ය ක්‍රියා වස්තු තුනකි.’ ආදියෙහි කුශල චේතනාවෙහි ආයේය. මේ සූත්‍රයෙහි දී ත්‍රෛභූමික කුශල ධර්ම දතයුතුය.
භායිත්‍ථ යන මෙහි ඤාණභය, සාරජ්ජ භය යනුවෙන් භය දෙපරිදිය. එහි ‘යෙපි තෙ භික්‍ඛවෙ දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා උච්චෙසු විමානෙසු චිරට්ඨිතිකා තෙපි තථාගතස්ස ධම්මදෙසනං සුත්‍වා යෙභුය්‍යෙන භයං සන්තාසං සංවෙගං ආපජ්ජන්ති’ ‘මහණෙනි, දීර්ඝායුෂ ඇති ශරීර වර්ණයෙන් යුක්ත වූ, සැපබහුල වූ උස් විමානවල බොහෝකල් සිටින දෙවිවරු ද තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව අසා බොහෝසෙයින් භයට, තැති ගැනීමට, සංවේගයට පැමිණෙත්’ යනාදියෙහි ඤාණ භය ආයේය ය. ‘අහුදෙව භයං අහු ජම්භිතත්තං අහු ලොමහංසො’ (මහා ගෝවින්‍ද බමුණාට) ‘භයක් ඇතිවූයේමය. තැති ගැනීමක් ඇති වූයේමය. ලොමුදැහැ ගැනීමක් වූයේමය.’ යනාදියෙහි සාරජ්ජ භය ආයේය.
මේ සූත්‍රයෙහි ද සාරජ්ජභය ම ආයේය. මේ එහි අර්ථයයි: මහණෙනි, බොහෝ කාලයක් කය වචන දෙක හික්මවා ගැනීම, වත්පිළිවෙත් පිරීම, එක් අසුනක හිඳීම, එක් අසුනක නිදීම, ඉන්‍ද්‍රිය දමනය, ධුතංග ධර්මවලින් සිත මැඩීම (නිග්‍රහය), සිහිනුවණින් යෙදීම කමටහන්හි යෙදීම් වශයෙන් වීර්ය ඇරඹීම යන මේ ආදී භික්‍ෂුව විසින් නිතර පවත්වා ගතයුතු පින්. ඒවා කෙරෙන් (ඒවාට) බිය නොවව් (නොවන්න) තැති ගැනීමට නොපැමිණෙන්න. මෙලොවදී ඇතැම් සැප ලබාදෙන, පරලොව නිවන්සැප ලබාදෙන පින් වලක්වන බියෙන් බිය නොවන්න. (පුඤ්ඤාණං යන) මෙය පංචමී (අපාදාන = අවධි) අර්ථයෙහි ඡට්ඨි (සම්බන්ධ) විභක්ති වචනයකි. (නිස්සක්කෙහි ඉදං සාමිවචනං)
දැන් එයින් බියනොවිය යුතු බවෙහි කාරණය දක්වමින් සුඛස්සෙතං යනාදිය වදාළහ. එහි සුඛ ශබ්දය ‘සුඛො බුද්ධානං උප්පාදො’ -– ‘බුදුවරුන්ගේ උපත සැපයකි.’ ‘සුඛා විරාගතා ලොකෙ’ -– ‘ලෝකයෙහි නො ඇලීම සැපයකි’ ආදියෙහි සැපයට මුල යන අර්ථයෙහි ආයේය. යස්මා ච ඛො මහාලි රූපං සුඛං සුඛානුපතිතං සුඛාවක්කන්තං’ ‘මහාලි යම් හෙයකින් රූපය සැපද සැපය මත්තෙහි වැටෙන ලද්දේ ද, සැපයට බැසගන්නා ලද්දේ ද’ ආදියෙහි සැප අරමුණෙහි ආයේය. ‘යාවඤ්චිදං භික්‍ඛවෙ න සුකරං අක්‍ඛානෙන පාපුනිතුං යාව සුඛා සග්ගා’ ‘මහණෙනි, දෙව්ලෝ මෙතෙක් සැප ඇතැයි වචනයෙන් කියා නිම කරන්නට පහසු නොවේ.’ ආදියෙහි සැපයට ප්‍රත්‍ය (හේතු) වන ස්ථානයෙහි ආයේය.
‘සුඛො පුඤ්ඤස්ස උච්චයො’ –- ‘පින් රැස්කිරිම සැපය’ යනාදියෙහි සැප හේතුවෙහි ආයේය. ‘දිට්ඨධම්ම සුඛ විහාරා එතෙ ධම්මා’ මේ ධර්මයෝ මේ ජීවිතයේ දීම සැප විහරණයෝ වෙති. ‘නිබ්බාණං පරමං සුඛං’ ‘නිවන උතුම් සැපය යි’ යනාදියෙහි නිවනෙහි ආයේය. ‘සුබස්ස ච පහාණා’ - ‘සැපය දුරුකිරීමෙන්’ යනාදියෙහි සැප වේදනාවෙහි ආයේය. ‘අදුක්‍ඛමසුඛං සන්තං’ - ‘ශාන්ත වූ ඒ අදුක්ඛමසුඛ වේදනාව’ යනාදියෙහි උපෙක්ඛා වේදනාවෙහි ආයේය. ‘ද්වෙපි මයා ආනන්‍දවෙදනා වුත්තා පරියායෙන සුඛා වෙදනා දුක්‍ඛා වෙදනා’ ‘ආනන්ද, මා විසින් පරියායෙන් (එක් ක්‍රමයකින්) සැපවේදනාව දුක්වේදනාව යයි වේදනා දෙකක් දේශනා කරන ලදී.’ යනාදියෙහි ප්‍රිය සැපයෙහි ආයේය. ‘සුඛො විපාකො පුඤ්ඤාණං’ - ‘පින්වල විපාකය සැපය’ යනාදියෙහි ප්‍රිය විපාකයෙහි ආයේය. මේ සූත්‍රයෙහි ද ප්‍රිය විපාකයෙහි (ඉට්ඨ විපාක) ආයේ ය. ඉට්ඨස්ස යන ආදියෙහි සෙවිය යුතු හෙයින් ද අනිෂ්ට බවට විරුද්ධ වීම් වශයෙන් ද ඉෂ්ට වූ. සිත්කලු වීම් වශයෙන් ද, මනසෙහි හැසිරීම් (ගමන් කිරීම්) වශයෙන් ද, පිළිසරණ වීම් වශයෙන් ද කන්තස්ස නම් වූ. ප්‍රිය කළ යුතු හෙයින් ද, තෘප්තිමත් කිරීම් වශයෙන් ද පියස්ස නම් වූ. සිතීමට සුදුසු හෙයින් ද මන වඩන හෙයින් ද මනාපස්ස යන අර්ථයයි දතයුතුය. යදිදං පුඤ්ඤානි යන මේ වචනය ඉෂ්ට වූ සැප විපාකයට නමකි. මේ සැපයමයි. යදිදං පුඤ්ඤානි යනුවෙන් ඵලය සමග හේතුවේ නොබිඳෙන සම්බන්ධය කියයි. ඔහු විසින් කරන ලද රැස්කරන ලද පින්වලට අවශ්‍යයෙන් ම ඵලය ලැබෙන බව අසා අප්‍රමාද තැනැත්තා විසින් පින් කළ යුතුයයි පුණ්‍ය ක්‍රියාවෙහි යොදවයි. ඒ පින් කිරීමෙහි ඔවුන්ට ආදරය උපදවයි.
දැන් තමන් වහන්සේ විසින් ‘සුනෙත්ත’ නමින් සිටි කාලයෙහි කරන ලද පින්කමෙන් බොහෝ කලක් විඳින ලද භවාන්තරයෙන් වැසී තිබුණු උසස් ම පුණ්‍ය විපාකය ගෙනහැර පා ඒ අර්ථය ප්‍රකට කරමින් ‘අභිජානාමි ඛො පනාහං’ යනාදිය වදාළහ. එහි අභිජානාමි යනු අති විශිෂ්ට ඥානයෙන් දනිමි. ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අවබෝධ කරමි. දීඝරත්තං යනු බොහෝකලක්. පුඤ්ඤාණං යනු දානාදී කුශල ධර්මයන්ගේ. සත්තවස්සානි යනු සත් අවුරුද්දක්. මෙත්තචිත්තං යනු ස්නේහ කෙරේනුයි මෙත්තා නම් වේ. ඇලුම් කරයි යන අර්ථයි. මිතුරා කෙරෙහි වීම හෝ මෙය මිතුරාගේ පැවැත්මය යන අර්ථයෙන් මෙත්තා නම් වේ.
ලක්‍ෂණාදී වශයෙන් හිත ආකාරය පැවතීම ලක්‍ෂණයයි. හිත (යහපත) ළඟට පැමිණවීම කෘත්‍යයයි (රසයයි.) ද්වේෂය හික්මවාගැනීම වැටහෙන ආකාරය යි. සත්ත්වයන්ට මනාප බව දැක්වීම ආසන්න කාරණයයි. ව්‍යාපාදය සන්සිඳීම මෛත්‍රියේ සම්පත්තිය යි. සෙනෙහස ඇතිවීම විපත්තිය යි. ඒ මෛත්‍රිය මෙයට ඇත යන අරුතින් මෙත් සිත නම් වේ. භාවෙත්‍වා යනු මෛත්‍රී සහගත සිත වඩා, චිත්ත ශීර්ෂයෙන් සමාධිය කියන ලද්දේය. එහෙයින් මෛත්‍රී සමාධිය මෛත්‍රී බ්‍රහ්මවිහාරය උපදවාගෙන එසේ වැඩීම ද සිදුකොට, සත්ත සංවට්ට විවට්ටකප්පෙ යනු මහා කල්ප හතක්. සංවට්ට, විවට්ට දෙක ගැනීමෙන් ම සංවට්ටට්ඨායි, විවට්ටඨායි යන දෙක ද ගන්නා ලදී. ඉමං ලොකං යනු කාමලෝකය. සංවට්ටමානං සුදං යනු සංවට්ටමානං, ‘සුදං’ යනු නිපාත මාත්‍රයකි. විනාශවන කල්හි යන අර්ථයි. ‘සංවට්ටමානෙ සුදං’ යනුවෙන් ද කියත්. කප්පෙ යනු ලෝකයෙහි, කල්ප ශීර්ෂයෙන් ලෝකය කියන ලදී. ලෝකය විනාශවන කල්හි කල්පයද විනාශ වේමය.
‘කාලො ඝසති භූතානි සබ්බානෙව සහත්තනා’ ‘කාලය තමා සමඟ සියලු සත්ත්වයන් කා දමයි’ යනුවෙන් මෙසේ කීහ.
‘ආභස්සරූපගො හොමි’ යනුවෙන් කියන ලද බැවින් ගින්නෙන් විනාශ වීම් වශයෙන් මෙහි කල්ප විනාශය දතයුතුය. ආභස්සරූපගො යනු එහි ප්‍රතිසන්ධි (ඉපදීම) වශයෙන් ආභස්සර බඹලොවට එළඹියේ යන අරුතින් ආභස්සරූපගො, හොමි වෙමි. විවට්ටමානෙ යනු හටගන්නා කල්හි, උපදින කල්හි යන අර්ථයි. සුඤ්ඤං බ්‍රහ්මවිමානං උප්පජ්ජාමි කිසියම් සත්ත්වයකුගේ ඉපදීමක් එහි නැති හෙයින් ප්‍රථමධ්‍යාන භූමි සංඛ්‍යාත යම් හිස් වූ බ්‍රහ්ම විමානයක් වේද කල් ඇතිව හටගත් ඒ බ්‍රහ්ම විමානයක පිළිසිඳ ගැනීම් වශයෙන් උපදිමි, එළඹෙමි. බ්‍රහ්මා යනු කාමාවචර සත්ත්වයන්ට වඩා ශ්‍රේෂ්ඨ අර්ථයෙන් ද ඒ ඒ ආකාරයෙන් වඩන ලද ගුණ ඇති බ්‍රහ්මවිහාර වශයෙන් උපන් අර්ථයෙන්ද බ්‍රහ්මයා නම් වේ. බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්මයන්ට වඩා මහත් වූ බ්‍රහ්මයා මහා බ්‍රහ්ම නම් වේ. එහෙයින් ම ඔවුන් වැඩගෙන සිටි බැවින් අභිභූ නම් වේ. ඔවුන් විසින් කිසියම් ගුණයකින් මැඩ නොපවත්වන ලද යන අරුතින් අනභිභූතො නම් වේ. අඤ්ඤදත්‍ථු යනු ඒකාන්ත වචනයෙහි නිපාතයකි. දසො යනු දකිනසුලු වූයේ, හෙතෙම අතීත, අනාගත, වර්තමාන යන කාල පිළිබඳ තොරතුරු දැකීමෙහි සමත් වූයේ, අභිඥා ඥානයෙන් දැකිය යුතු දේ දකිමි යන අර්ථයි. ඍද්ධිපාද භාවනා බලයෙන් සෙසු බඹුන්ගේ සිත් ද තමාගේ සිත ද මගේ වශයෙහි පවත්වමි යන අර්ථයෙන් වසවත්ති හොමි යනු යෙදිය යුතුය. එකල්හි බෝධිසත්ත්වයන් වහන්සේ අෂ්ට සමාපත්ති ලබාගත් කෙනෙක්ව සිටිමින් ද සත්ත්වයාගේ හිත (යහපත) ද තමාගේ පාරමී පිරිම ද බලමින් ඒ ධ්‍යානභූමි දෙකෙහි ඇල්ම උපදවා මෛත්‍රී බ්‍රහ්මවිහාර වශයෙන් ඔබිමොබ සැරිසැරූහ. එහෙයින් ‘සත්තවස්සානි -පෙ- වසවත්ති’ යන (මේ සූත්‍රයෙහි කොටස) වදාරන ලදී.