1. පසන්නචිත්ත සූත්ර වර්ණනාව
තුන්වන වර්ගයෙහි පළමු සූත්රයෙහි පසන්න චිත්තං යනු රත්නත්රය පිළිබඳ ශ්රද්ධාවෙන් (ඇදහීමෙන්) ද කර්මඵල පිළිබඳ ශ්රද්ධාවෙන් ද ප්රසන්න වූ මනස. සුගතිං යනු සුන්දර වූ ගතිය (ස්ථානය) සග්ගං යනු රූපාදී සම්පත්වලින් යහපත් වූ අග්ර වූ යන අරුතින් සග්ග නමි. ලොකං යනු ලෝකයට අයත්. මෙහි පින් පව්වල ඵල (විපාක) විනාශවන අර්ථයෙන් හෝ ලෝක නම් වේ. මෙහි ද සුගතිය ගැනීමෙන් මනුෂ්ය ලෝකය ද ගනු ලැබේ. ස්වර්ගය ගැනීමෙන් දේවලෝකයම ගනු ලැබේ. ඉතිරිය මුලින් කියන ලද පරිදිමය.
පළමු සූත්ර වර්ණනාවයි.
2. මාපුඤ්ඤභායී සූත්ර වර්ණනාව
දෙවන සූත්රයෙහි මා භික්ඛවෙ පුඤ්ඤානං යන මෙහි ‘මා’ යනු ප්රතික්ෂේප කිරීමෙහි නිපාතය යි. පුඤ්ඤ ශබ්දය: ‘කුසලානං භික්ඛවෙ ධම්මානං සමාදාන හෙතු එවමිදං පුඤ්ඤං පවඩ්ඪති’ ‘මහණෙනි, කුසල ධර්මයන් සමාදන් වීම් හේතුවෙන් මෙසේ මේ පින වැඩේ.’ යනාදියෙහි පුණ්ය ඵලයෙහි (විපාකයෙහි) ආයේය.
‘අවිජ්ජාගතො යං භික්ඛවෙ පුරිස පුග්ගලො පුඤ්ඤඤ්චෙව සංඛාරං අභිසංඛරොති’ ‘මහණෙනි, අවිද්යාව අනුව ගිය මේ පුරුෂයා පුණ්ය සංස්කාර ද රැස් කරයි’ ආදියෙහි කාමාවචර රූපාවචර අරූපාවචර යහපත් හැසිරිමෙහි ආයේය.’ ‘පුඤ්ඤූපගං භවති විඤ්ඤාණං’ ‘විඤ්ඤාණය දෙවන භවයට පැමිණියේ වෙයි. (එළඹියේ වෙයි) ආදියෙහි සුගති විශේෂ වූ දෙවන භවයෙහි (උපදින ලෝකයෙහි) ආයේය.
‘තීණිමානි භික්ඛවෙ පුඤ්ඤකිරිය වත්ථුනි දානමයං පුඤ්ඤකිරියවත්ථු, සීලමයං පුඤ්ඤකිරියවත්ථු, භාවනාමයං පුඤ්ඤකිරිය වත්ථු’ ‘මහණෙනි, දානමය පුණ්ය ක්රියා වස්තුවය, ශීලමය පුණ්යක්රියා වස්තුවය, භාවනාමය පුණ්යක්රියා වස්තුව යයි මේ පුණ්ය ක්රියා වස්තු තුනකි.’ ආදියෙහි කුශල චේතනාවෙහි ආයේය. මේ සූත්රයෙහි දී ත්රෛභූමික කුශල ධර්ම දතයුතුය.
භායිත්ථ යන මෙහි ඤාණභය, සාරජ්ජ භය යනුවෙන් භය දෙපරිදිය. එහි ‘යෙපි තෙ භික්ඛවෙ දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා උච්චෙසු විමානෙසු චිරට්ඨිතිකා තෙපි තථාගතස්ස ධම්මදෙසනං සුත්වා යෙභුය්යෙන භයං සන්තාසං සංවෙගං ආපජ්ජන්ති’ ‘මහණෙනි, දීර්ඝායුෂ ඇති ශරීර වර්ණයෙන් යුක්ත වූ, සැපබහුල වූ උස් විමානවල බොහෝකල් සිටින දෙවිවරු ද තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව අසා බොහෝසෙයින් භයට, තැති ගැනීමට, සංවේගයට පැමිණෙත්’ යනාදියෙහි ඤාණ භය ආයේය ය. ‘අහුදෙව භයං අහු ජම්භිතත්තං අහු ලොමහංසො’ (මහා ගෝවින්ද බමුණාට) ‘භයක් ඇතිවූයේමය. තැති ගැනීමක් ඇති වූයේමය. ලොමුදැහැ ගැනීමක් වූයේමය.’ යනාදියෙහි සාරජ්ජ භය ආයේය.
මේ සූත්රයෙහි ද සාරජ්ජභය ම ආයේය. මේ එහි අර්ථයයි: මහණෙනි, බොහෝ කාලයක් කය වචන දෙක හික්මවා ගැනීම, වත්පිළිවෙත් පිරීම, එක් අසුනක හිඳීම, එක් අසුනක නිදීම, ඉන්ද්රිය දමනය, ධුතංග ධර්මවලින් සිත මැඩීම (නිග්රහය), සිහිනුවණින් යෙදීම කමටහන්හි යෙදීම් වශයෙන් වීර්ය ඇරඹීම යන මේ ආදී භික්ෂුව විසින් නිතර පවත්වා ගතයුතු පින්. ඒවා කෙරෙන් (ඒවාට) බිය නොවව් (නොවන්න) තැති ගැනීමට නොපැමිණෙන්න. මෙලොවදී ඇතැම් සැප ලබාදෙන, පරලොව නිවන්සැප ලබාදෙන පින් වලක්වන බියෙන් බිය නොවන්න. (පුඤ්ඤාණං යන) මෙය පංචමී (අපාදාන = අවධි) අර්ථයෙහි ඡට්ඨි (සම්බන්ධ) විභක්ති වචනයකි. (නිස්සක්කෙහි ඉදං සාමිවචනං)
දැන් එයින් බියනොවිය යුතු බවෙහි කාරණය දක්වමින් සුඛස්සෙතං යනාදිය වදාළහ. එහි සුඛ ශබ්දය ‘සුඛො බුද්ධානං උප්පාදො’ -– ‘බුදුවරුන්ගේ උපත සැපයකි.’ ‘සුඛා විරාගතා ලොකෙ’ -– ‘ලෝකයෙහි නො ඇලීම සැපයකි’ ආදියෙහි සැපයට මුල යන අර්ථයෙහි ආයේය. යස්මා ච ඛො මහාලි රූපං සුඛං සුඛානුපතිතං සුඛාවක්කන්තං’ ‘මහාලි යම් හෙයකින් රූපය සැපද සැපය මත්තෙහි වැටෙන ලද්දේ ද, සැපයට බැසගන්නා ලද්දේ ද’ ආදියෙහි සැප අරමුණෙහි ආයේය. ‘යාවඤ්චිදං භික්ඛවෙ න සුකරං අක්ඛානෙන පාපුනිතුං යාව සුඛා සග්ගා’ ‘මහණෙනි, දෙව්ලෝ මෙතෙක් සැප ඇතැයි වචනයෙන් කියා නිම කරන්නට පහසු නොවේ.’ ආදියෙහි සැපයට ප්රත්ය (හේතු) වන ස්ථානයෙහි ආයේය.
‘සුඛො පුඤ්ඤස්ස උච්චයො’ –- ‘පින් රැස්කිරිම සැපය’ යනාදියෙහි සැප හේතුවෙහි ආයේය. ‘දිට්ඨධම්ම සුඛ විහාරා එතෙ ධම්මා’ මේ ධර්මයෝ මේ ජීවිතයේ දීම සැප විහරණයෝ වෙති. ‘නිබ්බාණං පරමං සුඛං’ ‘නිවන උතුම් සැපය යි’ යනාදියෙහි නිවනෙහි ආයේය. ‘සුබස්ස ච පහාණා’ - ‘සැපය දුරුකිරීමෙන්’ යනාදියෙහි සැප වේදනාවෙහි ආයේය. ‘අදුක්ඛමසුඛං සන්තං’ - ‘ශාන්ත වූ ඒ අදුක්ඛමසුඛ වේදනාව’ යනාදියෙහි උපෙක්ඛා වේදනාවෙහි ආයේය. ‘ද්වෙපි මයා ආනන්දවෙදනා වුත්තා පරියායෙන සුඛා වෙදනා දුක්ඛා වෙදනා’ ‘ආනන්ද, මා විසින් පරියායෙන් (එක් ක්රමයකින්) සැපවේදනාව දුක්වේදනාව යයි වේදනා දෙකක් දේශනා කරන ලදී.’ යනාදියෙහි ප්රිය සැපයෙහි ආයේය. ‘සුඛො විපාකො පුඤ්ඤාණං’ - ‘පින්වල විපාකය සැපය’ යනාදියෙහි ප්රිය විපාකයෙහි ආයේය. මේ සූත්රයෙහි ද ප්රිය විපාකයෙහි (ඉට්ඨ විපාක) ආයේ ය. ඉට්ඨස්ස යන ආදියෙහි සෙවිය යුතු හෙයින් ද අනිෂ්ට බවට විරුද්ධ වීම් වශයෙන් ද ඉෂ්ට වූ. සිත්කලු වීම් වශයෙන් ද, මනසෙහි හැසිරීම් (ගමන් කිරීම්) වශයෙන් ද, පිළිසරණ වීම් වශයෙන් ද කන්තස්ස නම් වූ. ප්රිය කළ යුතු හෙයින් ද, තෘප්තිමත් කිරීම් වශයෙන් ද පියස්ස නම් වූ. සිතීමට සුදුසු හෙයින් ද මන වඩන හෙයින් ද මනාපස්ස යන අර්ථයයි දතයුතුය. යදිදං පුඤ්ඤානි යන මේ වචනය ඉෂ්ට වූ සැප විපාකයට නමකි. මේ සැපයමයි. යදිදං පුඤ්ඤානි යනුවෙන් ඵලය සමග හේතුවේ නොබිඳෙන සම්බන්ධය කියයි. ඔහු විසින් කරන ලද රැස්කරන ලද පින්වලට අවශ්යයෙන් ම ඵලය ලැබෙන බව අසා අප්රමාද තැනැත්තා විසින් පින් කළ යුතුයයි පුණ්ය ක්රියාවෙහි යොදවයි. ඒ පින් කිරීමෙහි ඔවුන්ට ආදරය උපදවයි.