3. මොහ සූත්‍ර වර්ණනාව
තුන්වන සූත්‍රයෙහි මොහං යනු නොදැනීමයි. එය දුකෙහි නොදැනීම, දුක හටගැනීමෙහි නොදැනීම, දුක නැතිවීමෙහි නොදැනීම, දුක නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවෙහි නොදැනීම යනාදී ක්‍රමයෙන් විභංගයෙහි නොයෙක් ප්‍රභේදයන් ද - එය කරණකොට මුළා වෙයි. තමා හෝ මුළා වෙයි. ඒ මුළාවීම් මාත්‍රයම හෝ මෝහයයි කියනු ලැබේ. එය සිතෙහි අන්ධභාවය ලක්‍ෂණ කොට ඇත. නොදැනීම හෝ ලක්‍ෂණ කොට ඇත. අනවබෝධය රසය (කෘත්‍ය) කොට ඇත. අරමුණෙහි ස්වභාවය වැසීම හෝ රසයයි. මුළාවූ පිළිවෙත වැටහෙන ආකාරයයි. අන්ධකාරය හෝ වැටහෙන ආකාරයයි. අනුවණින් මෙනෙහි කිරීම ආසන්න කාරණයයි. සියලු අකුසලයන්ට මූලයයි දතයුතුය. මෙහි ද පජහථ යන පදයේ
මුළා වූ තැනැත්තා අර්ථය නොදනී. මුළා වූ තැනැත්තා ධර්මය නොදනී. මෝහය යම් මිනිසකු මැඬගෙන සිටිනවිට අන්ධභාවය ඇතිකරන අඳුරක් වේ.
‘අනත්‍ථජනනො මොහො මොහො චිත්තප්පකොපනො’ ‘මෝහය අනර්ථයක් උපදවන්නේය. මෝහය සිත කෝප කරන්නේය.’
‘අවිජ්ජා භික්‍ඛවෙ පුබ්බංගමා අකුසලානං ධම්මානං එව සමාපත්තියා’ ‘මහණෙනි, අකුසල ධර්මයන්ගේ රැස්කිරීම පිණිස අවිද්‍යාව පෙරදැරි වේ.’
‘මොහ සම්බන්‍ධනො ලොකො භබ්බරූපොව දිස්සති’ ‘මෝහය හා බැඳුනා වූ ලෝවැසියා හේතු සම්පන්නයෙක් මෙන් දක්නා ලැබේ.’
‘මොහො නිදානං කම්මානං සමුදයාය’ ‘මෝහය කර්මයගේ හටගැනීමට හේතු වේ.’
‘බමුණ, මෝහයෙන් මුළා වූ, මැඩුණා වූ, හාත්පසින් අල්ලා ගන්නා ලද සිත් ඇති තැනැත්තා මේ ජීවිතයෙහි බියජනක වූ වෛරය රැස්කරයි. පරලොවෙහි ද බියජනක වූ වෛරය රැස් කරයි.’
යනාදී ක්‍රමයෙන් ද, යො කොචි ධම්මො කාමච්ඡන්‍දාදි සංකිලෙස ධම්මෙහි නිබ්බත්තෙතබ්බො අත්‍ථතො සබ්බො සො මොහ හෙතුකො ‘යම්කිසි අකුසල ධර්මයක් කාමච්ඡන්‍දාදි ක්ලේශ ධර්මයන් විසින් නිපදවිය යුතු ද ඒ සියල්ල අර්ථ (කරුණු) වශයෙන් මෝහය හේතුකොට ඇත්තේ ය’යි මෝහයෙහි ආදීනව (දොස්) ද එයට ප්‍රතිවිරුද්ධ වශයෙන් මෝහය දුරුකිරීමෙහි අනුසස් ද නුවණින් සලකා බලා කාමච්ඡන්‍දාදිය දුරුකරන ක්‍රමයෙන් ම මුල් අවස්ථාවෙහි තදංගාදි වශයෙන් (ඒ ඒ කරුණෙහිදී දුරුකිරීම් වශයෙන්) මෝහය දුරුකරමින් තුන්වන (අනාගාමි) මාර්ගයෙන් කියන ලද පරිදි ලෝභ දෝෂ සමග එකට උපන් මෝහය සහමුලින් (සමුච්ඡේද වශයෙන්) දුරුකරව් යන අර්ථය දතයුතුය. අනාගාමි මාර්ගයෙන් දුරුකළ යුතු වූ ම මෝහය මෙහි අදහස් කරන ලදී. මූළ්හා සෙ යනු කුසල අකුසල වැරදි සහිත වැරදි රහිත ආදී භේද ඇති තමාගේ යහපතෙහි හා අයහපතෙහි මුළා වූ. ඉතිරිය කියන ලද පරිදිමය.
තෙවන සූත්‍ර වර්ණනාවයි.
4. කොධ සූත්‍ර වර්ණනාව
සිවුවන සූත්‍රයෙහි කොධං යනු ද්වේෂය යි. ද්වේෂය ම ක්‍රෝධයට සමාන අර්ථයෙන් අවබෝධ කරන පුද්ගලයන්ගේ අදහස් වශයෙන් මෙසේ වදාරණ ලදී. එහෙයින් දෙවන සූත්‍රයෙහි කියන ලද ආකාරයෙන් ම මෙහි ද අර්ථය දතයුතුය. තව ද ක්‍රෝධය කිපීම ලක්‍ෂණකොට ඇත්තේ ය. විනාශ කිරීම කෘත්‍ය (රසය) කොට ඇත්තේය. සිතේ දූෂිත බව වැටහෙන ආකාරය කොට ඇත්තේය. සිතේ කුණු බව ආසන්න කාරණයකොට ඇත්තේය යන මේ වෙනස ද දතයුතුය.
සිවුවන සූත්‍ර වර්ණනාවයි.
5. මක්ඛ සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයෙහි මක්‍ඛං යනු අනුන්ගේ ගුණ මැකීමය. ඉදින් හෙතෙම අශූචි ගෙන අනිකෙකුට ගසනවිට තමාගේ අත පළමුකොට ම අශූචියෙන් තැවරෙන්නේම ය. එසේ ම අනුන්ගේ ගුණ මකන අදහසින් පවත්වා ගතයුතු බැවින් අනුන්ගේ ගුණ මැකීමයයි කියනු ලැබේ. එසේම හෙතෙම ස්නානය කළ තැනැත්තාගේ සිරුරෙහි ඇති ජලය පිසදමන සාලුවක් (තුවායක්) මෙන් අනුන්ගේ ගුණ මකයි, පිසදමයි, විනාශ කරයි. අනුන් විසින් කරන ලද මහත් වූ ද ක්‍රියාවන් ගෙවාදමන හෙයින්, පිරිහෙළන හෙයින් ‘මක්‍ඛ’ යයි කියනු ලැබේ. ඒ මකුකම අනුන්ගේ ගුණ මැකීම ලක්‍ෂණ කොට ඇත්තේය. ඒ ගුණ විනාශ කිරීම කෘත්‍ය (රසය) කොට ඇත්තේය. ඒ ගුණ වසාදැමීම වැටහෙන ආකාරයයි. අර්ථ වශයෙන් අනුන්ගේ ගුණ මකන ආකාරයෙන් පවතින දොම්නස් සහගත සිත ඉපදීමයයි දත යුතුය.
පජහථ යනු එහි කියන ලද ප්‍රභේද ඇති ද්වේෂයත්, ද්වේෂයෙහි කියන ලද ආකාර ඇති ආදීනවත් දුරුකිරීමෙහි ද එය දුරුකිරීමෙහි අනුසස් ද නුවණින් සලකා බලා මුල් අවස්ථාවෙහි තදංගාදි වශයෙන් දුරුකරමින් විදර්ශනාවට උත්සාහවත් කරවා තුන්වන (අනාගාමි) මාර්ගයෙන් ඉතිරි නොකොට සහමුලින් දුරුකරව් යන අර්ථය යි. මක්‍ඛාසෙ යනු මකන ලද්දා වූ, මකන ලද ගුණ ඇත්තා වූ, අනුන්ගේ ගුණ මකන්නා වූ (සත්ත්වයෝ) එහෙයින් ම තමා විසින් ද නැසූ ගුණ ඇති යන අර්ථය යි. ඉතිරිය පෙර කියන ලද පරිදිමය.
පස්වන සූත්‍ර වර්ණනාවයි.
6. මාන සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයෙහි මානං යනු ජාති ආදිය වස්තුකොට ඇති සිතේ උඩට නැමුණු ගතිය යි. ඔහු වනාහි මම උසස් කෙනෙක් වෙමි. ආදී ක්‍රමයෙන් හඟියි (සිතයි). එයින් (එය කරණකොට) තමා හෝ සිතයි. ගෞරවය ඔසවාගැනීම හෝ මානය යි කියනු ලැබේ. ඒ මේ මානය මම උසස් කෙනෙක් වෙමි යන මානය මම උසස් කෙනාට සමාන වෙමි යන මානය මම උසස් කෙනාට පහත් වෙමි යන මානය යනුවෙන් මෙසේ තුන් ආකාර වේ.
නැවත මම උසස් කෙනාට වඩා උසස් වෙමි යන මානය, මම උසස් කෙනාට සමාන වෙමි යන මානය, මම උසස් කෙනාට පහත් වෙමි යන මානය, මම සමානයාට උසස් වෙමි යන මානය, මම සමානයාට සමාන වෙමි යන මානය, මම සමානයට පහත් වෙමි යන මානය, මම පහත් කෙනාට උසස් වෙමි යන මානය, මම පහත් කෙනාට සමාන වෙමි යන මානය, මම පහත් කෙනාට පහත් වෙමි යන මානය, යනුවෙන් මානය මෙසේ නව ආකාරද වෙයි. උඩට නැමුණු ගතිය ලක්‍ෂණය කොට ඇත. මම වෙමි යන අහංකාරය කෘත්‍ය (රසය) කොට ඇත. නොහොත් මනාව ඔසවාගැනීම රසය කොට ඇත. ඉදිමුණු බව වැටහෙන ආකාර කොට ඇත. කොඩියක් මෙන් ඉහළින් සිටීමට ඇති කැමති බව හෝ වැටහෙන ආකාරය යි. දෘෂ්ටි විප්‍රයුක්ත (දෘෂ්ටිය නොයෙදුන) ලෝභය ආසන්න කාරණයයි. මානය උමතුවක් මෙනැයි දතයුතුය. (මානයෙන් යුත් පුද්ගලයා පිස්සකු මෙනැයි දතයුතුය.)
පජහථ යනු ඒ සියලු ආකාර මානයට තමා උසස් කිරීමය, අනුන් හෙළා දැකීමය යන නිමිති ඇති බැවින් ද ගරුකළ යුත්තන් කෙරෙහි පසඟ පිහිටුවා වැඳීම (අභිවාදන) දැක අසුනෙන් නැගිටීම, (පච්චුපට්ඨාන), ඇඟිලි එක්කොට දෑත් නළලෙහි තබා වැදීම (අංජලිකම්ම), අසුන් පැනවීම, පවන් සැලීමාදී සුදුසු ක්‍රියා කිරීම (සාමීචි කම්ම) යනාදිය නොකිරීම අවැඩට හේතුවන බැවින්ද ජාතියද, පුරුෂමද ආදිය ඇතිවීමෙන් ප්‍රමාදයට පැමිණීමට හේතුවන බැවින්දැයි මේ ආදී ප්‍රභේද ඇති ආදීනව ද එයට ප්‍රතිවිරුද්ධ වශයෙන් අභිමානයෙන් තොරවීමෙහි අනුසස් ද නුවණින් සලකා බලා රාජ්‍ය සභාවට පැමිණි සැඬොලෙකු මෙන් සබ්‍රහ්මචාරීන් කෙරෙහි යටහත් පහත් (නීච) සිත් ඇති බවට පමුණුවාගෙන මුල් අවස්ථාවෙහි තදංගාදි වශයෙන් එය දුරුකරමින් විදසුන් වඩා අනාගාමි මාර්ගයෙන් සහමුලින් සිඳ දමන්න යන අර්ථයි. අනාගාමි මාර්ගයෙන් දුරුකළයුතු මානයම මෙහි අදහස් කරන ලදී.
මත්තාසෙ යනු ජාතිමද පුරුෂමද ආදී වශයෙන් ප්‍රමාදයට පත්වීමට හේතු වූ මානයෙන් මත්ව තමා (මානයෙන්) ඔසවාගෙන හැසිරෙන්නා වූ (සත්ත්වයෝ). ඉතිරිය කියන ලද පරිදිමය.