4. කොධ සූත්‍ර වර්ණනාව
සිවුවන සූත්‍රයෙහි කොධං යනු ද්වේෂය යි. ද්වේෂය ම ක්‍රෝධයට සමාන අර්ථයෙන් අවබෝධ කරන පුද්ගලයන්ගේ අදහස් වශයෙන් මෙසේ වදාරණ ලදී. එහෙයින් දෙවන සූත්‍රයෙහි කියන ලද ආකාරයෙන් ම මෙහි ද අර්ථය දතයුතුය. තව ද ක්‍රෝධය කිපීම ලක්‍ෂණකොට ඇත්තේ ය. විනාශ කිරීම කෘත්‍ය (රසය) කොට ඇත්තේය. සිතේ දූෂිත බව වැටහෙන ආකාරය කොට ඇත්තේය. සිතේ කුණු බව ආසන්න කාරණයකොට ඇත්තේය යන මේ වෙනස ද දතයුතුය.
සිවුවන සූත්‍ර වර්ණනාවයි.
5. මක්ඛ සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයෙහි මක්‍ඛං යනු අනුන්ගේ ගුණ මැකීමය. ඉදින් හෙතෙම අශූචි ගෙන අනිකෙකුට ගසනවිට තමාගේ අත පළමුකොට ම අශූචියෙන් තැවරෙන්නේම ය. එසේ ම අනුන්ගේ ගුණ මකන අදහසින් පවත්වා ගතයුතු බැවින් අනුන්ගේ ගුණ මැකීමයයි කියනු ලැබේ. එසේම හෙතෙම ස්නානය කළ තැනැත්තාගේ සිරුරෙහි ඇති ජලය පිසදමන සාලුවක් (තුවායක්) මෙන් අනුන්ගේ ගුණ මකයි, පිසදමයි, විනාශ කරයි. අනුන් විසින් කරන ලද මහත් වූ ද ක්‍රියාවන් ගෙවාදමන හෙයින්, පිරිහෙළන හෙයින් ‘මක්‍ඛ’ යයි කියනු ලැබේ. ඒ මකුකම අනුන්ගේ ගුණ මැකීම ලක්‍ෂණ කොට ඇත්තේය. ඒ ගුණ විනාශ කිරීම කෘත්‍ය (රසය) කොට ඇත්තේය. ඒ ගුණ වසාදැමීම වැටහෙන ආකාරයයි. අර්ථ වශයෙන් අනුන්ගේ ගුණ මකන ආකාරයෙන් පවතින දොම්නස් සහගත සිත ඉපදීමයයි දත යුතුය.
පජහථ යනු එහි කියන ලද ප්‍රභේද ඇති ද්වේෂයත්, ද්වේෂයෙහි කියන ලද ආකාර ඇති ආදීනවත් දුරුකිරීමෙහි ද එය දුරුකිරීමෙහි අනුසස් ද නුවණින් සලකා බලා මුල් අවස්ථාවෙහි තදංගාදි වශයෙන් දුරුකරමින් විදර්ශනාවට උත්සාහවත් කරවා තුන්වන (අනාගාමි) මාර්ගයෙන් ඉතිරි නොකොට සහමුලින් දුරුකරව් යන අර්ථය යි. මක්‍ඛාසෙ යනු මකන ලද්දා වූ, මකන ලද ගුණ ඇත්තා වූ, අනුන්ගේ ගුණ මකන්නා වූ (සත්ත්වයෝ) එහෙයින් ම තමා විසින් ද නැසූ ගුණ ඇති යන අර්ථය යි. ඉතිරිය පෙර කියන ලද පරිදිමය.
පස්වන සූත්‍ර වර්ණනාවයි.
6. මාන සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයෙහි මානං යනු ජාති ආදිය වස්තුකොට ඇති සිතේ උඩට නැමුණු ගතිය යි. ඔහු වනාහි මම උසස් කෙනෙක් වෙමි. ආදී ක්‍රමයෙන් හඟියි (සිතයි). එයින් (එය කරණකොට) තමා හෝ සිතයි. ගෞරවය ඔසවාගැනීම හෝ මානය යි කියනු ලැබේ. ඒ මේ මානය මම උසස් කෙනෙක් වෙමි යන මානය මම උසස් කෙනාට සමාන වෙමි යන මානය මම උසස් කෙනාට පහත් වෙමි යන මානය යනුවෙන් මෙසේ තුන් ආකාර වේ.
නැවත මම උසස් කෙනාට වඩා උසස් වෙමි යන මානය, මම උසස් කෙනාට සමාන වෙමි යන මානය, මම උසස් කෙනාට පහත් වෙමි යන මානය, මම සමානයාට උසස් වෙමි යන මානය, මම සමානයාට සමාන වෙමි යන මානය, මම සමානයට පහත් වෙමි යන මානය, මම පහත් කෙනාට උසස් වෙමි යන මානය, මම පහත් කෙනාට සමාන වෙමි යන මානය, මම පහත් කෙනාට පහත් වෙමි යන මානය, යනුවෙන් මානය මෙසේ නව ආකාරද වෙයි. උඩට නැමුණු ගතිය ලක්‍ෂණය කොට ඇත. මම වෙමි යන අහංකාරය කෘත්‍ය (රසය) කොට ඇත. නොහොත් මනාව ඔසවාගැනීම රසය කොට ඇත. ඉදිමුණු බව වැටහෙන ආකාර කොට ඇත. කොඩියක් මෙන් ඉහළින් සිටීමට ඇති කැමති බව හෝ වැටහෙන ආකාරය යි. දෘෂ්ටි විප්‍රයුක්ත (දෘෂ්ටිය නොයෙදුන) ලෝභය ආසන්න කාරණයයි. මානය උමතුවක් මෙනැයි දතයුතුය. (මානයෙන් යුත් පුද්ගලයා පිස්සකු මෙනැයි දතයුතුය.)
පජහථ යනු ඒ සියලු ආකාර මානයට තමා උසස් කිරීමය, අනුන් හෙළා දැකීමය යන නිමිති ඇති බැවින් ද ගරුකළ යුත්තන් කෙරෙහි පසඟ පිහිටුවා වැඳීම (අභිවාදන) දැක අසුනෙන් නැගිටීම, (පච්චුපට්ඨාන), ඇඟිලි එක්කොට දෑත් නළලෙහි තබා වැදීම (අංජලිකම්ම), අසුන් පැනවීම, පවන් සැලීමාදී සුදුසු ක්‍රියා කිරීම (සාමීචි කම්ම) යනාදිය නොකිරීම අවැඩට හේතුවන බැවින්ද ජාතියද, පුරුෂමද ආදිය ඇතිවීමෙන් ප්‍රමාදයට පැමිණීමට හේතුවන බැවින්දැයි මේ ආදී ප්‍රභේද ඇති ආදීනව ද එයට ප්‍රතිවිරුද්ධ වශයෙන් අභිමානයෙන් තොරවීමෙහි අනුසස් ද නුවණින් සලකා බලා රාජ්‍ය සභාවට පැමිණි සැඬොලෙකු මෙන් සබ්‍රහ්මචාරීන් කෙරෙහි යටහත් පහත් (නීච) සිත් ඇති බවට පමුණුවාගෙන මුල් අවස්ථාවෙහි තදංගාදි වශයෙන් එය දුරුකරමින් විදසුන් වඩා අනාගාමි මාර්ගයෙන් සහමුලින් සිඳ දමන්න යන අර්ථයි. අනාගාමි මාර්ගයෙන් දුරුකළයුතු මානයම මෙහි අදහස් කරන ලදී.
මත්තාසෙ යනු ජාතිමද පුරුෂමද ආදී වශයෙන් ප්‍රමාදයට පත්වීමට හේතු වූ මානයෙන් මත්ව තමා (මානයෙන්) ඔසවාගෙන හැසිරෙන්නා වූ (සත්ත්වයෝ). ඉතිරිය කියන ලද පරිදිමය.
පිළිවෙළින් මේ සූත්‍රහයෙහිද ගාථාවල ද අනාගාමි ඵලයට පමුණුවා දේශනාව නිමවන ලදී.
එහි අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ යනුවෙන් අනාගාමීහු පස්දෙනෙක් වෙති. ඔවුන් අතුරෙන් අවිහ බඹලොව උපන් අය අවිහ නම් වෙති. ඔවුහු : 1. අන්තරා පරිනිබ්බායී, 2. උපහච්ච පරිනිබ්බායි, 3. අසංඛාර පරිනිබ්බායී, 4. සසංකාර පරිනිබ්බායි, 5. උද්ධංසොත අකනිට්ඨගාමී, යනුවෙන් පස් ආකාරය. අතප්ප, සුදස්ස, සුදස්සී බඹලොව උපන් අය ද එසේ පස් ආකාර වෙති. අකනිටා බඹලොවෙහි උද්ධංසෝත අකනිට්ඨගාමී පුද්ගලයා අඩුවෙයි. (නොලැබෙයි)
අවිහාදී බඹලොවක ඉපිද එම බඹලොවට අයත් ආයුෂයෙහි මැද (අඩක්) නො ඉක්මවා අර්හත්වයට පැමිණීමෙන් ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවෙන තැනැත්තා අන්තරා පරිනිබ්බායී නම් වේ.
අවිහාදී බ්‍රහ්මලෝකවල මුලින් කල්ප පන්සියයක් ආදි වශයෙන් ප්‍රභේද ඇති ආයුෂයේ මැද ඉක්මවා (ක්ලේශ පරිනිර්වානයෙන්) පිරිනිවෙන තැනැත්තා උපහච්ච පරිනිබ්බායී නම් වේ.
අසංඛාරයෙන් වැඩි ප්‍රමාණයක් උත්සාහ නොකොට අල්ප දුකකින් කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවන්පාන තැනැත්තා අසංඛාර පරිනිබ්බායී නම් වේ.
සසංඛාරයෙන් වැඩි ප්‍රමාණයක් උත්සාහ කොට දුකින් අපහසුවෙන් (කෙලෙස් පිරිනිවීමෙන්) පිරිනිවන්පාන තැනැත්තා සසංඛාර පරිනිබ්බායී නම් වේ.
අනිත් තැනැත්තා අවිහාදියෙහි දී ඉහළට ඔසවන බැවින් ඔහුගේ තණ්හා සෝතය (තණ්හා නමැති දියර), වට්ටසෝතය (සසර නමැති දියදහර) මග්ගසෝතය (අරිඅටඟි මග නමැති දියදහර) උඩටම ඇත්තේය යන අර්ථයෙන් උද්ධංසෝත නම් වේ. අවිවාදියෙහි ඉපදී රහත්වීමට නොහැකි තැනැත්තා ඒ ඒ බ්‍රහ්ම ලෝකයෙහි ආයුෂ ඇති තාක් සිට ප්‍රතිසන්ධි ගැනීම් (ඉපදීම්) වශයෙන් අකනිටා බඹලොවට යන හෙයින් ‘අකනිට්ඨගාමී’ නම් වෙයි.
මෙහි ද උද්ධංසොත අකනිට්ඨගාමී යනුවෙන් සතරක රාශියක් (චතුක්ක) දතයුතුය. කෙසේද? අවිහයෙන් පටන්ගෙන මුල් දෙව්ලොව (බඹලොව) සතරෙහි කල්ගෙවා අකනිටාවට ගොස් පිරිනිවන්පාන තැනැත්තා උද්ධංසෝත අකනිට්ඨගාමී නම් වෙයි පහළ දෙව්ලොව තුනෙහි කල්ගෙවා සුදස්සී දෙව්ලොව සිට පිරිනිවෙන තැනැත්තා උද්ධංසෝත වෙයි. අකනිට්ඨගාමී නොවෙයි. මෙයින් (මේ මිනිස් ලොවින්) අකනිටාවට ගොස් පිරිනිවෙන තැනැත්තා උද්ධංසෝත නොවේ. අකනිට්ඨගාමී වෙයි. පහළ දෙව්ලොව (බඹලොව) සතරෙහි ඒ ඒ තැනදීම පිරිනිවන්පාන තැනැත්තා උද්ධංසෝත ද නොවේ. අකනිට්ඨගාමී ද නොවේ.
අවිහයෙහි ඉපිද කල්ප සියයකින් මත්තෙහි (පසු) පිරිනිවෙන්නා ද කල්ප දෙසියයකින් මත්තෙහි පිරිනිවෙන්නා ද කල්ප පන්සියයකට නොපැමිණි කල්හි පිරිනිවෙන්නා ද යනුවෙන් අන්තරාපරිනිබ්බායී තිදෙනෙක් වෙති. උප්පන්නං වා සමනන්තරා අප්පත්තං වා වෙමජ්ඣං ඉපදීමට අනතුරුව හෝ (ආයුෂ) මැදට නොපැමිණි’ යනුවෙන් මෙය කියන ලදී. ‘වා’ ශබ්දයෙන් (ආයුෂ මැදට) පැමිණීම ද ඇතුළත් කරන ලදී.
මෙසේ අන්තරා පරිනිබ්බායීහු තිදෙනෙකි. උපහච්ච පරිනිබ්බායි එක් අයෙකි. උද්ධංසෝත එක් අයෙකි. ඔවුන් අතුරෙන් අසංඛාර පරිනිබ්බායීහු පස්දෙනෙකුද සසංඛාර පරිනිබ්බායීහු පස්දෙනෙක්දැයි දසදෙනෙක් වෙති. අතප්ප, සුදස්ස, සුදස්සී යන බඹලොව ද එසේම දසදෙනා බැගින් ලැබේ. දශක හතරක් හතළිහකි. අකනිටාවෙහි උද්ධංසෝත පුද්ගලයා නොලැබෙන බැවින් අන්තරා පරිනිබ්බායීහු තිදෙනෙකි. උපහච්ච පරිනිබ්බායී එක් අයෙකි. අසංඛාර පරිනිබ්බායීහු සිවුදෙනෙක්ද සසංඛාර පරිනිබ්බායීහු සිවුදෙනෙක්දැයි අටදෙනෙකි. මෙසේ මේ අනාගාමීහු හතළිස් අටකි. මේ සූත්‍රවලදී ඒ සියලු දෙනා ම (අනාගාමී යන) විශේෂ නොවූ වචනයෙන් ගන්නා ලදැයි දතයුතුය.