3-4. කුණ්ඩලකේසී ස්ථවිර වස්තුව
යො ච ගාථාසතං භාසෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ කුණ්ඩලකේශී අරභයා දේශනා කරනලදි.
රජගහනුවර සොළොස් හැවිරිදි පමණවූ දුටුවන් පහදවන ප්රසාදජනක අභිරූපීවූ එක් සිටුදියණියක් සිටියාය. ඒ වයසෙහිම සිටි ස්ත්‍රීහු පුරුෂයන් පිළිබඳ වූ සිතින් ඇය කෙරෙහි ලොල්ව සිටියාහුය. ඉන්පසු ඒ සිටුදුවණියගේ මවුපියෝ සත්මහල් පහයක උඩම ඇති මහලේ සිරියහන් ගබඩාවක දුවණිය වාසය කරවාලූහ. එකම එක දාසියක් ඇගේ ඇපඋපස්ථානය සඳහා යෙදවූහ.
එක් සොරකම් කළ තරුණයෙක් අල්වාගෙන දෙඅත් පිටුපසට තබා බැඳගෙන කස සතරකින් තළතළා වධකාගාරයට ගෙන ගියාහ. ඒ සිටුදුව මහාජනයාගේ කෝලාහලය අසා මෙ කිමෙක්දැයි විමසා ප්‍රාසාදතලයෙහි සිට බලන්නී ඔහු දැක ඔහු හා පිළිබඳ සිත් ඇතිකරගෙන ඔහු ප්‍රාර්ථනා කරමින් ආහාර නොගෙන ඇඳෙහි වැදහෙවී සිටියාය. ඉන්පසු මව්පියෝ, දුව මේ කුමක්දැයි ඇසූහ. ඉදින් මේ සොරෙකියි ගෙන යන පුරුෂයා ලදොත් ජීවත්වෙමි. ඔහු නොලැබුණොත් මගේ ජීවිතයක් නැත. මැරෙන්නෙමියි කීවාය. දුව එසේ නොකරන්න. අපේ ජාති ගෝත්‍ර වත්කම් ආදියට සැසඳෙන අනිත් සැමියෙක් ලබා දෙන්නෙමුයයි කීවාහුය. මට වෙන එකෙකුගෙන් වැඩක් නැත. මොහු නොලැබුණොත් මැරෙන්නෙමියි කීවාය. දුව සනසාගත නොහැකිව සිටුවරයාට දන්වනලදි. ඔහුද ඈ සනසාගත නොහැකිව කුමක් කළහැකිදැයි සිතා ඒ සොරා ගෙන යන රජයේ නිලධාරීන්ට මිල දහසක් යැවීය. මේ මිල රැගෙන මේ සොරා මා වෙත එවව්. හෙතෙම යහපතැයි කහවණු රැගෙන ඔහු මුදා හැර වෙන එකෙක් මරා දේවයන්වහන්ස, සොරු මැරුවෙමියි රජුට දැන්වීය. සිටුවරයා තම දුවණිය ඔහුට පාවා දුන්නේය.
ඈ එතැන් පටන් සැමියා සතුටු කරන්නෙමියි සව්බරණින් සැරසී තම අතින්ම කැඳ ආදිය පිළියෙල කළාය. සොරා කීප දිනකින්, කවදා නම් මම මෑ මරා මැගේ ආබරණ ගෙන විකුණා එක් සුරා සැලකට ගොස් කාබී සිටින්ට ලබම්දෝයි සිතුවේය. මෙසේ සිතූ ඔහු එක් උපායක් ඇතැයි සිතා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කොට ඇඳේ නිදාගත්තේය. ඉන්පසු සිටුදුව ඔහු වෙත පැමිණ ස්වාමීනි, ඇති අමාරුව කුමක්දැයි ඇසුවාය. සොඳුර, කිසිවක් නැතැයි හේ කීවේය. කිම මගේ මවුපියෝ ඔබ හා අමනාපද? සොඳුර අමනාප නැත. එසේනම් මේ හැටියට ඉන්නේ ඇයි? සොඳුර, එදා මා බැඳගෙන යන අතර චොරප්‍රපාතයෙහි (සොරුන් මැරීම සඳහා පහතට දමන හෙල) අධිගෘහිත දෙවියන්ට බිල්ලක් (පූජාවක්) දෙන්නෙමියි පොරොන්දුවී ජීවිතය ලදිමි. ඔබත් මට ලැබුණේ ඒ ආනුභාවයෙනි. මම තවමත් ඒ බාරය ඔප්පු නොකෙළෙමි සොඳුරයයි ඔහු කීවේය. ස්වාමීනි, ඒ ගැන නොසිතන්න. බාරය අපි ඔප්පු කරමු. ඒ සඳහා අවශ්‍ය දේ කියන්න. දියනුමුසු කිරිබත් හා ලදපස්මල් අවශ්‍යයි. සැමියාණනි, මැනවි. මම ඒවා පිළියෙල කරන්නෙමියි කී ඈ සියලු බාරවස්තු පිළියෙල කොට ස්වාමීනි, එන්න, යමුයයි කීවාය. එසේනම් සොඳුර ඔබේ නෑදෑයන් නවතා ඔබ අගනා වස්ත්‍රාභරණවලින් සැරසී එන්න. එවිට අපි සිනාසෙමින් සෙල්ලම් කරමින් මනාප ලෙසින් යන්නෙමු. ඈ එසේ කළාය.
ඉන්පසු ඈ පර්වත පාමුලට ගියකල්හි සොරා ඈ අමතා සොඳුර, මෙතැන් සිට අපි දෙදෙනා පමණක් යමු. සෙසු ජනයා යානාවත් සමග මෙහි නවත්වා බලිකර්මයට අවශ්‍ය භාජන ඔබම ගන්න. ඈ එසේ කළාය. සොරා ඈත් සමග චෝරප්‍රපාත පර්වතයට නැංගේය.
ඒ පර්වතයට මිනිස්සු එක් පැත්තකින් පමණක් නගිති. අනික් පැත්ත ප්රපාතයක් සේ ඇති නිසා පර්වත මුදුනේ සිට, සොරුන් ඒ පැත්තෙන් හෙළා දමති. ඒ වැටෙන හොරු කෑලි කෑලිවලට කැඩී බිමට වැටෙත්. ඒ නිසාම මේ පර්වතය චෝරප්‍රපාත නමින් හඳුන්වති. සිටුදුව පර්වත මුදුනේ සිට ස්වාමීනි, බලිකර්මය කරන්නැයි කීවාය. හොරා නිහඬ විය. නැවත ඈ ස්වාමීනි, තුෂ්ණීම්භූතව සිටින්නේ ඇයිදැයි ඇසුවාය. ඉන්පසු ඔහු මෙසේ කීවේය.
මට බලිකර්ම කිරීමෙන් වැඩක් නැත. ඔබ මෙහි ගෙන ආවේ රවටාගෙනයයි හෙතෙම කීවේය. ස්වාමීනි, ඒ කුමක් සඳහාද? නුඹ මරා නුඹේ ආභරණ රැගෙන පලායාම සඳහායි. මරණභයට පැමිණි ඈ මෙසේ කීවාය. ස්වාමීනි, මාත් මේ ආභරණත් ඔබ සතුය. ඉතින් මෙසේ කියන්නේ ඇයිද? ඈ එසේ නොකරවයි නැවත නැවතත් ඉල්ලා සිටිනමුත් තී මරන්නෙමි යන්නම ඔහු කීවේය. එය එසේනම් මා මැරීමෙන් ඔබට ප්‍රයෝජනයක් නැත. මේ ආභරණ රැගෙන මට ජීවිතදානය කරන්න. මෙතැන් පටන් මා ඔබගේ අම්මායයි හෝ දාසියක් වශයෙන් හෝ ඔබට අවශ්‍ය සේවය කරන්නෙමියි කියා මේ ගාථාවද කීවාය.
මේ අඟු පළඳනා
විදුරුමිණි වළළුද හැම
ගනු මැනවි හිමියනි
මමත් දැස්සක් වන්නෙමි
විදුරුමිණි වළළුද හැම
ගනු මැනවි හිමියනි
මමත් දැස්සක් වන්නෙමි
ඒ ඇසූ සොරා ඔබ කියන ආකාරයට වැඩ කළොත් ඔබ ගොස් මවුපියන්ට දන්වන්නෙහිය. ඔබ මහ හඬින් විලාප තියා හැඬුවත් මරන්නෙමියි කියා මේ ගාථාවද කීවේය.
හැඬුවත් වැළපෙමින්
එයින් කම් නැත බඳුව බඩු රැස
ඔබට දිවියක් නැත
සියලු බඩුරැස අපිම ගන්නෙමු
එයින් කම් නැත බඳුව බඩු රැස
ඔබට දිවියක් නැත
සියලු බඩුරැස අපිම ගන්නෙමු
ඈ මෙසේ සිතුවාය. අහෝ මේ සිදුවන දෙයක ඇති බරපතළකම. නුවණ නම් උයාපිහා කන්නට නෙවෙයි. විචාරයෙන් කටයුතු කිරීමටය. මොහුට කළයුතුදේ දන්නෙමියි සැමියා අමතා, ස්වාමීනි, යම්දවසක ඔබ සොරෙකියි අල්වාගෙන ගෙනාවේද, එදා මම ඔබට හිතවත්ව මවුපියන්ට කීවෙමි, ඔවුහු දහසක් වියදම් කොට ඔබ ගෙනවුත් අපේ ගෙදර නැවැත්වූහ. එදා පටන් මම ඔබට පක්ෂපාතීව සිටියෙමි. අද මට හොඳින් ඔබ දෙස බලා වැඳගන්ට අවසර දෙනුමැනවි.
හෙතෙම යහපත සොඳුර, හොඳින් දැක බලාගෙන වැඳගනුවයි කියා පර්වත කෙළවර හිඳගත්තේය. ඉන්පසු ඈ ඔහු තෙවරක් පැදකුණු කොට සතර තැනක සිට වැඳ ස්වාමීනි මේ ඔබේ අවසාන දැකුමයි. ඔබට මා හෝ මා ඔබට හෝ මින්පසු දැකීමක් නැතැයි කියා ඉදිරි පසිනුත් පිටිපසිනුත් වැළඳගෙන මඳක් නැවතී සිට පර්වතප්රාන්තයෙහි පිටිපසින් සිට එක් අතකින් කඳත් අනිත් අතින් පිටිකරත් ගෙන පර්වතප්රපාතයට තල්ලු කළාය. හෙතෙම පර්වත කුහරයෙහි වැදිවැදි කෑලිකෑලිවී බිම වැටුණේය. චෝර ප්රපාතමුදුනේ අධිගෘහීත දේවතාවා ඒ දෙදෙනාගේම ක්‍රියා දැක ඒ ස්ත්‍රියගේ ක්‍රියාවට සාධුකාර දී මේ ගාථාව කීවේය.