5-6. අනර්ථ ඇසූ බමුණාගේ වස්තුව
අත්තාහවෙ ජිතං මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි අනර්ථපුච්ඡක නම් බ්‍රාහ්මණයා නිමිති කරගෙන දේශනා කරනලදි.
ඒ බමුණු තෙමේ, කෙසේද සම්මාසම්බුදුන්වහන්සේ අර්ථයක්ම දන්නාසේක්ද, නැතහොත් අනර්ථයක්ම දන්නා සේක්දැයි කියා විමසා බලන්නෙමියි සිතා උන්වහන්සේ ළඟට පැමිණ මෙසේ ඇසීය. ස්වාමීනි, ඔබවහන්සේ අර්ථයක්ම දන්නෙහිද, අනර්ථයක් නොදන්නා සේක්දැයි ඇසීය. බ්‍රාහ්මණය, මම අර්ථයත් අනර්ථයත් යන දෙකම දන්නෙමි. එසේනම් මට අනර්ථය නම් කුමක්දැයි කියා දෙනු මැනවි. ඉන්පසු බුදුරජාණන්වහන්සේ මේ ගාථාව වදාළහ:
හිරු නැග එන තුරුම
නිදියාම මැලි ගතිය ද
රළු පරළු වීම ද
වැඩෙහි නිසි ලෙස නොයෙදුම
අනුන් අඹුන් සොයන
මෙබදු ගති ඇතිවිට
පිරිහීම නිතැතින්ම සිදු වේ
ඒ ඇසූ බමුණා සාධුකාර දුන්නේය. ගණාචාර්යවරයාණනි, ඉතා මැනවි. ජ්‍යෙෂ්ඨ පුරුෂයාණනි, ඔබ අර්ථය මෙන්ම අනර්ථයද දන්නෙහිය. බමුණ, මෙසේ අර්ථානර්ථ දන්නා මට සමාන කෙනෙක් නැත. ඉන්පසු ඔහුගේ අදහස් විමසා බලා, බමුණ, ඔබ කිනම් කර්මාන්තයක් කොට ජීවත් වන්නෙහිදැයි ඇසූහ. එසේ විචාරා, භවත්ගෞතමයන්වහන්ස, දූකෙළියෙනියි කීකල, කිම ඔබ එයින් දිනන්නේද, පරදින්නෙහිදැයි ඇසූහ. ජයත් ලැබෙයි පරාජයත් ලැබෙයියයි කී කල්හි, බ්‍රාහ්මණය, ඒ අයුරින් අනුන් පරදවා ලබන ජය එතරම් වැදගත් නොවෙයි. උතුම් වන්නේද නොවෙයි, යමෙක් තම සන්තානයෙහි පවත්නා කෙලෙස් පරදවා තමන් දිනන්නේද, ඔහුගේ ජයග්‍රහණය ශ්‍රේෂ්ඨ නොවෙයි. ඔහුගේ ජයග්‍රහණය කිසිවකු විසිනුත් පරාජය කළ නොහැකියයි අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළ සේක.
අන් අය පරදවා
ලබන දිනුමට වැඩියෙන්
කෙලෙස් නසා ලබන ජය
උතුම් වේ එබඳු පුගුලා
නිතර සන්සුන් ලෙසින් හැසිරේ
දෙවියන් බඹුන් ගදඹුන්
මරුන් හෝ කිසිවෙකුටත්
ඔහුගේ දිනුම කිසිවිට
පරාජය කළ හැකි නොවේ
එහි භවෙ යනු නිපාත මාත්‍රයකි. ජිතං යනු ලිංග විපර්යාසයකි. තමන්ගේ කෙලෙස් පරදවා ලබන ජයෙන් ජයක් ලැබීම උතුම් යන අර්ථයයි. යා චායං ඉතරා පජා යනු යම් ඒ අවශේෂ මිනිස්සු සූදුවෙන්, ධනය පැහැරගැනීමෙන්, යුද්ධයෙන්, බලය මැඩපැවැත්වීමෙන් යන කරුණුවලින් පැරදවූවත්, එසේ දිනන්නාගේ ජයග්‍රහණය උතුම් නොවෙයි යන අර්ථයි. ඒ දිනීම කුමක් නිසා උතුම් නොවේද? එය උතුම් දිනුමක් නොවන හෙයිනි. යම් හෙයකින් අත්තදන්තස්ස -පෙ- තථාරූපස්ස ජන්තුනෝ යන්න කියනලදි. එහෙයින් කෙලෙසුන් නැසීම සඳහා තමා දමනය කරගත් පුද්ගලයා ඒ තමා දමනය කර ගැනීමේදී කාය සුචරිතාදියෙන් නිච්චං සඤ්ඤත චාරිනො මේ ආදි කාය සංයමය ආදියෙන් යුක්ත වූ පුද්ගලයාගේ ඒ ලබා තිබෙන ජයග්‍රහණය දෙවියෙකු විසින් හෝ ගන්ධර්වයෙකු, මාරයෙකු බඹෙකු විසින් හෝ නැගී සිට මම මොහු ලබා ඇති ජය පරාජයක් කරන්නෙමියි හෝ මාර්ග භාවනා මගින් ප්‍රහීණ කළ කෙලෙස් නැවත උපදවන්නෙමියි කියා හෝ ගැටෙමින් වෑයම් කරමින් යම්සේ ධනාදියෙන් පැරදුණු නැහුණු එකෙක් ඒ පරාජය පරාජයක් කරන්නේද, එසේ පරාජය කිරීමට නොහැකි වේ යන අර්ථයි.
දේශනා කෙළවර බොහෝ අය සෝවාන් ඵලාදියට පැමිණියාහුය.
සතරවන අනර්ථ ඇසූ බමුණාගේ වස්තුවයි.
7. සැරියුත් තෙරණුවන් මාමාවූ බ්‍රාහ්මණයාගේ වස්තුව
මාසෙ මාසෙ යන මේ ධර්මදේශනාව බුදුරදුන් වේළුවනාරාමයෙහි වාසයකරන කාලයේ සැරියුත්තෙරණුවන්ගේ මාමා වන බ්‍රාහ්මණයෙකු උදෙසා දේශනා කරනලදි.
සැරියුත්තෙරණුවෝ ඒ බමුණා ළඟට ගොස්, බ්‍රාහ්මණය, ඔබ යම් පිනක් කරන්නෙහිදැයි ඇසූහ. ස්වාමීනි, එසේය. කුමක් කරන්නෙහිද? මාසයක් පාසා දහසක් වියදම් කොට දන් දෙමි. ඒ දන් දෙන්නේ කාටද? ස්වාමීනි, නිඝණ්ටයන්ටය. ඔබ කුමක් පතා දෙන්නෙහිද? ස්වාමීනි, බඹලොව පතමිනි, මෙය බඹලොවට මඟවේද? එය කියා දුන්නේ කවුරුන්ද? ස්වාමීනි, මාගේ ආචාර්යවරයන් විසිනි.
බ්‍රාහ්මණය, බඹලොවට යන මග ඔබ නොදන්නෙහිය. ඔබේ ගුරුවරුත් නොදන්නාහුය. මෙය දන්නෝ නම් බුදුරජහුමය. මා සමග එන්න. මම ඔබට ඒ මග කියවා දෙන්නෙමියි ඔහුත් සමග බුදුන් හමුවට ගොස් ස්වාමීනි, මේ බමුණා මෙසේ කියන්නේයයි එම ප්‍රවෘත්තිය බුදුරදුන්ට දන්වා ස්වාමීනි, මොහුට බඹලොව යනමග කියාදුන මැනවියි ඉල්ලා සිටියහ. බුදුරජාණන්වහන්සේ බමුණාගෙන් එය අසා, එසේය භවත් ගෞතමයෙනියි කී කල්හි, බ්‍රාහ්මණය, මෙසේ දන් දෙන්නාවූ ඔබ වර්ෂ සීයක් දෙන දානයට වඩා එක මොහොතක් මාගේ ශ්‍රාවකයන් දෙස ප්‍රසන්න සිතින් බැලීම හෝ සැන්දක් පමණ බත්දීම මහත්ඵලදායක යයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළ සේක:
දහසක් වියදමින්
මසක් පාසා යාග කළමුත්
ඊට වඩා සිල්වතුනට
එක් වරක් බත් දීමෙන්
මොහොතක්වුවද පිදුමත්
එයම වැදගත් වේ
වසර සියයක යාගයට වැඩි
එහි සහස්සෙන යනු දහසක් පරිත්‍යාග කිරීමෙනි. යො යජෙථ සතං සමං යනු යමෙක් අවුරුදු සියයක් වසක් පාසා දහස බැගින් වියදම් කොට ලෞකික මහාජනයාට දන් දුන්නත්, එකං ච භාවිතත්තානං යනු යම් කිසිවෙක් ශීලාදි ගුණවලින් දියුණු කරගත් සිත් ඇති, අවම වශයෙන් සෝවාන් පුද්ගලයෙකුට හෝ උපරිම වශයෙන් රහත්නමකට හෝ ගෙදොරට පැමිණි විට සැන්දක් පමණ භික්ෂාව හෝ යැපෙන පමණ දනක් දළසාටකයක් පමණක් පුදන්නේ නම් පළමු තැනැත්තා වසර සීයක් කළ යාගයට වඩා මෙම පූජාවම වැදගත් උතුම් ශ්‍රේෂ්ඨ පූජාවක් වෙයි යන අර්ථයි.
දේශනා කෙළවර ඒ බමුණා සෝවාන් ඵලයෙහි පිහිටියේය. අනිත් බොහෝ දෙනාත් සෝවාන් ඵලාදියට පැමිණියාහුය.
පස්වන සැරියුත් තෙරණුවන් මාමාවූ බ්‍රාහ්මණයාගේ වස්තුවයි.