8. සහස්‍ර වර්ගය
1. තඹදැළි නම් චෝරඝාතකයාගේ වස්තුව
සහස්සමපි චෙ වාචා ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වසන සමයෙහි තඹදැළිරැවුලැති චෞරඝාතකයා අරභයා දේශනා කරනලදි.
හාරසිය අනූනවයක් පමණ සොරු ගම් පැහැරගැනීමාදියෙන් ජීවිකාව කරගෙන ගියහ. ඉන්පසු එක්තරා පිඟුවන් ඇස් ඇති, තඹපාට දැලිරැවුලක් ඇති මිනිසෙක් ඔවුන් ළඟට ඇවිත් මමත් නුඹලා සමග ජීවත්වීමට කැමැත්තෙමියි කීය. ඉන්පසු ඔහු හොරදෙටුවා ළඟට ගෙනගොස් මොහුත් අප සමග ජීවත් වීමට කැමැත්තේයයි කීවෝය. සොරදෙටුවා ඔහු දෙස බලා, මෙතෙම ම වගේ තනයවුවත් කපාගෙන කෑමට, පියාගේ ගෙළ සිඳ ලේ බීමටවුවත් දක්ෂ අතිශයින්ම කර්කෂ එකෙකියි දැනගෙන, මොහුට අප හා සමග විසීමට අවසරයක් නැතැයි ඉල්ලීම ප්‍රතික්ෂේප කෙළේය. දෙවැන්නා, තම ඉල්ලීම ප්‍රතික්ෂේප කළත් දෙටුසොරාගේ අතවැසියකු ළඟට ගොස් ඔහුට උපස්ථාන කරමින් ඔහු පහදවා ගත්තේය. අතවැස්සා ඔහුත් රැගෙන සොරදෙටුවා ළඟට ගොස් මෙසේ කීවේය. ස්වාමීනි, මොහු අපට සුදුසුයි. හොඳ උපකාරකයෙකි. මොහු ගැන අනුකම්පා කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉන්පසු දිනෙක නුවරවැසියෝ රාජපුරුෂයන් සමග එක්වී ඒ සොරුන් අල්වා අධිකරණ ඇමතියන් වෙත පැමිණවූහ. ඇමතියෝ ඔවුන් හිස් පොරොවෙන් කපාදමන ලෙස නියෝග කළහ. ඉන්පසු සොරුන් මැරීමට කැමති කවුරුන්දැයි සොයා බැලූවිට ඒ සඳහා කිසිවෙක් ඉදිරිපත් නොවූහ. අනතුරුව සොරදෙටුවාට මෙසේ කීවාහුය.
ඔබ මොවුන් මරාදැම්මොත් සම්මානත් ජීවත්වීමත් ලබාගත හැකිය. එනිසා මොවුන් මරාදමවයි කියාය. ඔහුද තමන් නිසා තමන් ළඟ සිටිනවුන් නිසා ඔවුන් මරාදැමීමට එකඟ නොවීය. මේ ආකාරයෙන් හාරසිය අනූනව දෙනාගෙන්ම විමසා බැලූහ. ඒ සියල්ලෝම අකමැතිවූහ. සියල්ලන්ගෙන්ම පසුව යටකී පිඟුවන් ඇස් ඇති තඹවන් දැළිරැවුලු ඇති එකාගෙන් අසා බැලූහ. හෙතෙම යහපතැයි කැමති වී ඒ සියලු දෙනා මරා ජීවිතයත් සම්මානත් ලැබීය. නගරයේ දක්ෂින දිසාවෙනුත් අල්ලාගත් සොරුන් පන්සීයක් අල්ලාගෙනවුත් ඇමතියන්ට භාරදුන්හ. ඇමතියෝ පෙර පරිදිම ඔවුන්ගේ හිසගසා දැමීමට නියෝග කළවිට සොරදෙටුවාගේ පටන් කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවූහ. පසුව මීට පෙර දිනයේ එක් පුද්ගලයෙක් සොරුන් පන්සීයක් මැරුවේය. ඔහු කොහේදැයි විමසූ විට අසවල් අසවල් තැන්වලදී දක්නාලදැයි කීකල ඔහු කැඳවා මේ සොරුන් මරා දමව. ඒ සඳහා සම්මාන ලැබෙනු ඇතැයි කීහ. හෙතෙම හොඳයි කියා එය පිළිගෙන ඔවුනුත් මරාදමා සම්මාන ලැබීය. ඉක්බිතිව මොහු මේ ක්‍රියාවට සුදුස්සෙකි. මොහු ස්ථිර චොරඝාතක කරන්නෙමුයයි සාකච්ඡා කොට ඔහුට ඒ තනතුර දී සම්මානද කළහ.
බටහිර-උතුරු දිසාවලින් ගෙන ආ පන්සීය පන්සීය බැගින් වූ සොරුන්ද ඝාතනය කෙළේය. මෙසේ සිව්දිසාවෙන් ගෙන ආ සොරුන් දෙදහසක් මරා එතැන් පටන් දිනපතා ගෙන ආ එක්කෙනා දෙන්නා බැගින්වූ සොරුන් මරමින් පනස්පස් වසරක් චෝරඝාතක කර්මය කෙළේය.
හෙතෙම මහලු වූ පසු එක පහරින් හිස ගසාලන්ට අසමත් විය. දෙතුන්වර කඩුපහර දෙනු බලාසිටි මිනිස්සු ක්ලාන්ත වූහ. නුවර මිනිස්සු තවත් චෝරඝාතකයකු උපදිනු ඇති. මොහු බොහෝ මිනිසුන් ක්ලාන්ත කරවයි, මොහුගෙන් වැඩක් නැතැයි ඔහුගේ තනතුර පැහැර ගත්හ.
පෙර චොරඝාතක තනතුර දරද්දී ඔහුට අලුත් සළුපිළි අඳින්ට, වෙඬරු හා කිරිකැඳ බොන්ට සමන්මල් පළඳින්ට සුවඳවිලවුන් ගාගන්ට යන මේ කටයුතු සඳහා වේලාවක් නොවීය. ඔහු තනතුරෙන් පහවූ දිනයෙහි මට කිරිකැඳ පිසව්යයි කියා අලුත් සළුපිළිද සමන්මල් සුවඳවිලවුන්ද ගෙන්වාගෙන ගඟට ගොස් නා අලුත් සළුපිළි හැඳ මල් පැළඳ සුවඳ විලවුන් ඇඟ තවරාගෙන ගෙට අවුත් හිඳගත්තේය. ඉන්පසු ඔහුට අලුත් ගිතෙල් මිශ්‍ර කිරිකැඳ ඉදිරියෙන් තබා අත් සේදීමට වතුරගෙන ආහ.
ඒ වේලාවෙහි සැරියුත්තෙරණුවෝ සමවතින් නැගිට අද මා කොතනට යායුතුදැයි තමන්ගේ භික්‍ෂාචාර වේලාව ගැන සලකා ඔහුගේ ගෙදර කිරිකැඳ පිළියෙල වී ඇතිබව දැක, ඔහු මට සංග්‍රහ කරයිද කියා බලා මේ කුල පුත්‍රයා මා දැක මට සංග්‍රහ කරන්නේය, එසේ කර මහ සම්පත් ලබන්නේයයි දැන සිවුරු පෙරවා පාත්‍රයද රැගෙන ඔහුගේ ගෙදොර සිටින්නාක් මෙන් පෙන්වාලූහ.
හෙතෙම තෙරණුවන් දැකීමෙන්ම පැහැදුණු සිතැතිව මම බොහෝ කලක් චොරඝාතක කර්මය කෙළෙමි. බොහෝ මිනිසුන් මැරුවෙමි. දැන් මගේ ගෙදර කිරිකැඳක් පිළියෙල වී ඇත. තෙරණුවෝත් පැමිණ මගේ ගෙදොර සිටියෝය. දැන් මම ආර්යයන්වහන්සේට දනක් දීම සුදුසුයයි සිතා ඉදිරියෙහි තිබුණු කැඳ හැරගෙන තෙරුන් වෙත එළඹ වැඳ තමන්ගේ ගේතුළ වඩා හිඳුවා පාත්‍රය කිරිකැඳවලින් පුරවා අලුත් ගිතෙල් ඉස පිළිගන්වා තෙරුන්ට පවන් සලමින් සිටියේය. බොහෝ කලකින් කිරිකැඳ නොලැබුණු හෙයින් කිරිකැඳ බීමට බලවත් ආශාවක් ඇතිවිය. තෙරණුවෝ ඔහුගේ අදහස දැන උපාසකය, ඔබ ඔබේ කැඳ බොන්න. හෙතෙම වෙන එකකුගේ අතට විජිනිපත දී කැඳ බීවේය. තෙරණුවෝ පවන් සලන පුරුෂයාට කථා කොට යව උපාසකයාටම පවන් සලවයි කීහ. ඔහු පවන් සැලීමද ඉවසාගෙන බඩපුරා කැඳබී අවුත් තෙරුන්ට පවන් සලමින් සිට අහරකිස නිමවූ තෙරුන්ගේ පාත්‍රය ගත්තේය. තෙරණුවෝ ඔහුට අනුමෝදනා දේශනාව පටන්ගත්හ. උපාසකයාට තමන්ගේ සිත තෙරණුවන්ගේ දේශනාවට යොමුකරගත නොහැකි විය. තෙරණුවෝ ඒබව දැන, උපාසකය, කුමක් නිසා ඔබේ සිත දේශනාවට යොමුකර ගත නොහැකි වන්නේදැයි ඇසූහ. ස්වාමීනි, මම දිගු කලක් ඉතා දරුණු ක්‍රියාවක් කෙළෙමි. බොහෝ මිනිසුන් මරාදැමුවෙමි. මම ඒ ක්‍රියාව සිහිකරමින් මගේ සිත ආර්යයන්වහන්සේගේ දේශනාව කෙරෙහි යොමුකරගත නොහැකිවී සිටිමි. තෙරණුවෝ, මොහු රවටන්නෙමියි සිතා, මොකද ඔබ එය සිතාමතාම කැමැත්තෙන්ම කෙළෙහිද, නැත්නම් අනුන්ගේ කීම නිසා කෙළෙහිද? ස්වාමීනි, මා ලවා රජුන් විසින් කරවනලදි. ඉතින් එසේනම් උපාසකය, අකුසලයක් වෙයිද? මුළාවට පත් උපාසක තෙම තෙරුන් එසේ කීකල මට පවක් සිදුවී නැත යන සංඥාව ඇතිකරගත්තේය. එසේනම් ස්වාමීනි බණ කියනු මැනවැයි කීය. හෙතෙම තෙරණුවන් අනුමෝදනා කරද්දී එක්සිත්ව බණ අසන්නේ සෝවාන් මගට පහතින්වූ අනුලෝමික ඥානය උපදවා ගත්තේය. තෙරණුවෝ අනුමෝදනාව කොට වැඩියහ.