2. දාරුචීරිය තෙරුන්ගේ වස්තුව
සහස්සම්පි චෙ ගාථා යනාදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වැඩසිටින කාලයේ දාරුචීරිය තෙරුන් නිමිතිකොට දේශනා කරනලදි.
එක් කලෙක බොහෝ මිනිස්සු නැවකට නැගී මහ මුහුදේ මැදදී නැව බිඳීගොස් මත්ස්‍යයන්ගේ ආහාර බවට පත්වූහ. එයින් එක් මිනිහෙක් ලෑලි කැබැල්ලක එල්ලී ඉතාමත් දැඩි වෑයමකින් සුප්පාරකපටුන නම් තැනට ගොඩබැස්සේය. ඔහුට ඇඳුම් පෙරවුම් සඳහා රෙදිපිළි නැතිවිය. හෙතෙම වෙනත් කිසිවක් නොදැක දරලෑලි පතුරු රැගෙන ඒවා වැල්වලින් ගොතා අඳනා පොරවනා සාදාගෙන දෙවොලකින් වළං කබලක් රැගෙන සුප්පාරකපටුනට ගියේය. එහි මිනිස්සු ඔහු දැක කැඳබත් ආදිය දී මේත් එක් රහත් කෙනෙක්යයි සිතා සැලකිලි දැක්වූහ.
හෙතෙම රෙදිපිළි ගෙනත් දුන් කල ඉදින් මා මේවා හැඳීම් පෙරවීම් කළහොත් ලාභසත්කාරයෙන් පිරිහී යා හැකියයි ඒවා ප්‍රතික්ෂේප කර දරවලින් තැනූ ඇඳුම්ම පරිහරණය කෙළේය. ඉන්පසු බොහෝ දෙනා ඔහුට රහතන්වහන්සේ රහතන්වහන්සේයයි කීම නිසා මෙබඳු සිතිවිල්ලක් ඇතිවිය. ලොව කවුරුන් හෝ රහතුන් හෝ රහත්මගට පැමිණි කෙනෙක් වෙත්නම් මමත් එබඳු කෙනෙක්මි කියාය. ඉන්පසු පැරණි කාලයක ඔහු හා එකට සිටි දෙවියෙක් මෙසේ සිතීය.
පුරාණ සගයෙක් යනු පෙර කාලයක එකට මහණදම් පිරූ කෙනෙකි. අතීතයේ කාශ්‍යපබුදුරදුන්ගේ සසුන පිරිහී යනකල්හි සාමණේරාදීන්ගේ විප්‍රකාර දැක සංවේගයට පැමිණි භික්‍ෂූන් සත්නමක් සසුන අතුරුදහන් වීමට පෙර තමන් කිසියම් ස්ථාවරත්වයකට පැමිණිය යුතුයයි ස්වර්‍ණචෛත්‍යය වැඳපුදා වනයට පිවිසියාහුය. එහිදී එක් පර්වතයක් දැක ජීවිතය ගැන ආශා ඇත්තෝ නවතිත්වා, එබඳු ආශා නැති අය මේ පර්වතයට නැංගයුතුයයි කථිකා කරගෙන හිණිමඟක් බැඳගෙන සියලු දෙනාම පර්වතයට නැගී හිණිමඟ පහතට දමා මහණදම් පිරූහ.
ඔවුන් අතර සිටි සංඝස්ථවිරයන්වහන්සේ (ප්‍රධාන) එක්රැයක් ඉක්මෙනවිටම රහත්බවට පැමිණියහ. උන්වහන්සේ අනෝතත්ත විලෙහිදී නාලියදැහැටි වළඳා උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාත ලබා ගෙනවුත් ඒ භික්‍ෂූන්ට කතා කොට, ඇවැත්නි, මේ දැහැටි වළඳා මුවසෝදාගෙන මේ පිණ්ඩපාතය වළඳවයි කීහ. ස්වාමීනි, කිම? අපෙන් යමෙක් පළමුව රහත් වුණොත්, ඔහු විසින් ගෙනා පිණ්ඩපාතය අනිත් අය වැළඳිය යුතුයයි අපි කථිකාකරගෙන ඇද්දැයි විචාළහ. ඇවැත්නි, එබඳු කතිකාවක් නැත. එසේනම් ස්වාමීනි, අපිත් ඔබ මෙන් විශේෂත්වයක් උපදවාගන්නෙමුයයිද කියා පිණ්ඩපාතය නොකැමති වූහ. දෙවෙනි දිනයේදී දෙවෙනි තෙරණුවෝ අනාගාමී ඵලයට පැමිණියහ. උන්වහන්සේත් පිණ්ඩපාතය රැගෙන අවුත් අනිත් අයට නිමන්ත්‍රණය කළෝය. උන්වහන්සේලා කිම? ස්වාමීනි, මහතෙරුන් ගෙනා පිණ්ඩපාතය නොගෙන දෙවෙනි තෙරුන් ගෙනා පිණ්ඩපාතය වළඳන්නෙමුයයි අපි කතිකාවක් කෙළෙමුද? නැත ඇවැත්නි. එසේනම් ඔබ මෙන් අපිද විශේෂත්වයකට පැමිණ තමන්ගේ පුරුෂ ධෛර්යයෙන් වළඳන්ට හැකි වෙමුයයි පිණ්ඩපාතය නොවැළඳූහ. ඔවුනතර රහත් බවට පත් භික්‍ෂූන්වහන්සේ පිරිනිවුණාහ. අනාගාමීතෙරණුවෝ මිය පරලොව ගොස් බඹලොව උපන්හ. අනිත් පස්නම විශේෂත්වයක් නොලබාම වියළී-හොඳටම වියළීගොස් සත්වෙනි දිනයේ කාලක්‍රියා කොට දෙව්ලොව ඉපදී මේ බුද්ධාන්තරයේදී දෙව්ලොවින් චුතව ඒ ඒ කුලගෙවල්වල උපන්හ. එයින් එක්කෙනෙක් පුක්කුසාති රජ විය. අනිත් කෙනෙක් කුමාරකස්සප විය. එක් කෙනෙක් දාරුචීරිය විය. එක් කෙනෙක් දබ්බමල්ලපුත්තය. තව කෙනෙක් සහිය පරිව්‍රාජක විය. ඒ අතර බඹලොව උපන් භික්‍ෂුව සඳහායි මෙහි පුරාණසාලොහිත දේවතා නමින් සඳහන් කරනලද්දේ.