14. පටාචාරා තෙරණියගේ වස්තුව
යො ච වස්සසතං ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි පටාචාරා ස්ථවිරීන් අරභයා දේශනා කරනලදි.
ඕතොමෝ සැවැත්නුවර සතළිස්කෝටියක ධනසම්පතක් ඇති සිටුවරයෙකුගේ අභිරූපී දුවණියකවූවාය. මවුපියෝ ඈ සොළොසැවිරිදි වියේදී සත්මහල් ප්‍රාසාදයක උඩුමහලේ රැකවල් සහිතව ආරක්‍ෂා සහිතව වාසයකරවූශ. මෙසේ තිබියදීත් ඈ තමාගේ එක් සේවකයකු සමග නෝබිනා ආශ්‍රයට වැටුණාය. ඉන්පසු ඇගේ මවුපියෝ සම ජාති කුලවත් එක් කුමාරයකු ගැන කතාබහ කරගෙන විවාහයට දින නියම කරගත්හ. දිනය ළංවූ විට ඈ ඒ තමාගේ සුළුසේවකයාට කථාකොට, මා අසවල් පවුලේ අසවලාට දෙන්නේය. මා පතිකුලයට ගිය පසු මගේ පණිවුඩයක් රැගෙන එන කෙනෙකුට පවා එහි ඇතුළට යෑමට අවසරයක් නොලැබෙයි. ඉතින් ඔබ මා කෙරෙහි ආදරයක් ඇත්නම් දැන්ම මා රැගෙන කොහේ හරි පලායන්නැයි කීවාය. හෙතෙම සොඳුර, යහපති. මම හෙට උදේ පාන්දරම නුවර දොරටුවේ අසවල් තැන සිටින්නෙමි. ඔබ කුමක් හෝ උපායකින් නික්මී එතැනට එන්නැයි කියා දෙවෙනි දිනයේ නියම කරගත් තැනට ගොස් සිටියේය.
ඈ දෙවෙනි දිනයේ කිළුටු ඇඳුම් ඇඳගෙන කෙස් මුදාහැරගෙන විසුරුවාහැර ධාන්‍යකුඩු ඇඟේ තවරාගෙන කළගෙඩියක්ද රැගෙන දාසයන් සමග යන්නියක මෙන් ගෙයින් පිටවී එකී තැනට ගියාය. ඔහු ඈත් සමග ඈත ගමකට ගොස් එහි නැවතී ආරණ්‍යයෙහි කෙතක් හදා සීසා දරකොළ ආදිය ගෙන එයි. අනිත් තැනැත්තිය කළයෙන් දිය ගෙනවුත් සියතින්ම වී කෙටීම් ආහාර පිසීම් ආදිය කරමින් තමන්ගේ පවෙහි විපාක විඳියි. පසුව ඇගේ කුස ගැබක් පිහිටියේය. ඈ පිරිපුන් ගැබ ඇතිව, මෙහි අපට කිසිම උදව් කරන්නෙක් නැත. මවුපියෝ දරුවන්ට මොළොක් හදවත් ඇත්තෝ වෙති. මා ඔවුන් ළඟට පමුණුවන්න, ඔවුන් ළඟදී මගේ දරුවන් ලැබී වියයුතුයයි කියමින් සැමියාගෙන් ඉල්ලාසිටියාය.
හෙතෙම, සොඳුර කුමක් කියන්නෙහිද, මා දුටු හැටියේම ඔබේ මවුපියේ නොයෙක් වධහිංසා කරන්නහුය. ඔබ හා සමග මට නම් එහි යාම අපහසුයයි ප්‍රතික්ෂේප කෙළේය. ඈ නැවත නැවතත් ඉල්ලාසිටි නමුත් යාගත නොහැකිව ඔහු වනයට ගිය කල අසල්වැසියන් අමතා ඉදින් ඔහු අවුත් මා නොදැක කොහේ ගියාදැයි ඇසුවොත් මා තමන්ගේ ගෙදර ගියබව දන්වන්නැයි කියා යන්ට ගියාය. ඒ පුරුෂයාත් ගෙට අවුත් ඈ නොදැක අසල්වැසියන්ගෙන් ඒ පුවත අසා ඈ නවත්වාගන්නෙමියි ලුහුබැඳගොස් හමුවී නානාප්‍රකාරයෙන් ඉල්ලාසිටි නමුත් නවත්වාගත නොහැකිවිය. ඉන්පසු පිටත්ව යන අතර එක්තැනකදී ඈට විලිරුදාව හටගත්තේය. ඈ එක් ගස් අතරකට ගොස් සැමියාණනි, මට විලිරුජා හටගත්තේයයි කියා බිම නිදාගෙන ඉතාමත් දුකසේ දරුවා වදා අපි අපේ ගෙදරට යන කරුණ මෙහිදීම සිදු වූයේයයි නැවත ආපසු ගෙදර ගොස් වාසය කළහ.
පසුකලකදී ඇගේ කුස තවත් ගැබක් පිහිටියේය. ඈ ගැබ මුහුකුරා ගියවිට පෙර පරිද්දෙන්ම සැමියාගෙන් යාච්ඤාකොට එය ඉටු නොවුණු හෙයින් පුතාත් වඩාගෙන පෙර පරිද්දෙන්ම පිටත්ව යනකල සැමියා පිටුපසින් අවුත් නවත්වා ගනු නොහැකිවිය. මෙසේ යන ඔවුන්ට අතරමගදී මහා අකල් වැස්සක් හමුවිය. හාත්පසම විදුලියවැලින් දිලිසෙන්නාක් මෙන්ද මේඝගර්ජනාවලින් අහස බිඳී වැගිරෙන්නාක් වැනි වර්ෂාධාරා නිපාතයෙන් පිරීගියේය. එකෙණෙහිම ඈට විලිරුදාවද ඇතිවිය. ඈ සැමියා අමතා, හිමියනි මට විලිරුදා ඇතිවිය. ඉවසීමත් අපහසුය. නොතෙමෙන තැනක් සොයන්නැයි කීවාය. ඔහු අතේ තිබුණු වෑයත් රැගෙන එහෙමෙහ සොයා යන අතර, එක් තුඹසක් මත වැවී තිබුණු පඳුරු කැලෑවක් දැක එය කපන්ට පටන්ගත්තේය. තුඹසේ සිටි ඝෝරවිෂ සර්පයෙක් ඇවිත් ඔහු දෂ්ටකෙළේය. එකෙණෙහි සිරුර ඇතුළේ ඇතිවූ විෂගිනිජාලාවකින් දැවෙන්නාක් මෙන් වී ශරීරය නිල්පැහැවී එතැනම ඇද වැටුණේය.
අනිත් තැනැත්තිය මහාදුකක් විඳිමින්, ඔහුගේ පැමිණීම බලාසිට ඔහු නොදැකම පුතකු වැදුවාය. දරුවෝ දෙදෙන වැසිවාත වේගය උහුලාගතනොහී මහහඬින් හඬන්නටවූහ. ඈ දරුවන් දෙදෙනාම බඩතුරුලට ගෙන අත්දෙකක් දණිස් දෙකත් පොළොවේ පිහිටුවා දරුවන් රකිමින් මුළු රැයම ගත කළාය. මුළු සිරුර ලේ නැතුව ගියක්මෙන් පඬුපැහැ ගැන්විණි. ඈ එළිවුණු පසු මස්වැදැල්ලක් වැනි දරුවා ඇකයෙන් ගෙන අනික් පුතාගේ ඇඟිල්ලෙන් අල්වාගෙන පුතා එන්න. ඔබේ පියා ගියේ මේ පැත්තටයයි කියා සැමියා ගිය පාරෙන් ගොස් ඔහු තුඹස උඩ මැරී වැටී නිල්වන්ව දරදඬු ගැහී තිබුණු සිරුර දැක මා නිසා මගේ සැමියා පාරේ වැටී මළේයයි හඬමින් විලාපකියමින් එතැනින් පිටත්ව ගියාය.
මුළු රැයමවැසි වැටී තනමත්තක් පමණ දියෙන් පිරුණු අචිරවතී ගඟ දුටු ඈ තම බුද්ධියේ මඳකම නිසා දරුවන් සමග දියට බසිනු නොහැකිව දෙටුපුතා මෙහා ඉවුරෙන් තබා ළදරුපුතා රැගෙන එහා ඉවුරට ගොස් අත්තක් කඩා දමා ඔහු එහි හොවා අනික් පුතා ගෙන එනු පිණිස දියට බැස ගොස් බාලපුතාගේ ඇඬීම නවතාගනු නොහැකිව නැවත නැවතත් නැවතී නැවතී ආපසු බලමන් ගියාය. ඈ නදිය මැදට ගියකල්හි එක් උකුස්සෙක් ඒ බිළිඳා දැක මස්වැදැල්ලකියි යන හැඟීමෙන් අහසින් බැස්සේය. පුතා නිසා එසේ බසින උකුස්සා දුටු ඈ දෑතින් අත්පුඩි ගසා සූ සූ කියා තෙවරක් මහහඬින් කෑගෑවාය. උකුස්සා දුරින් සිටි නිසා ඒ ශබ්දය නොඇසී බිළිඳා ඩැහැගෙන අහසට නැගී ගියේය. එහා ඉවුරෙහි සිටි පුතා මව නදියෙහි මැඳ සිටි දෑතින් මහහඬ නගන නිසා මට හඬගසන්නේයයි සිතා වේගයෙන් වතුරට පැන්නේය. මෙසේ ඇගේ බාලපුතා උකුස්සා ඩැහැගෙන ගියේය. දෙටුපුතා ජලය පැහැරගෙන ගියේය.