15. කිසාගෝතමී තෙරණියන්ගේ වස්තුව
යො ච වස්සසතං ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වසන කාලයෙහි කිසාගෝතමිය අරභයා දේශනා කරනලදි.
සැවැත්නුවර එක්තරා සිටුවරයෙකුගේ ගෙදර සතළිස් කෝටියක් පමණ ධනයක් අඟුරු බවට පත්වී තිබුණේය. ඒ දුටු සිටුතෙමේ උපන් ශෝකයෙන් ආහාරත් නොගෙන ඇඳේ වැතිර සිටියේය. ඔහුගේ එක් යහළුවෙක් ඒ ගෙට අවුත්, යහළුව කුමක් නිසා ශෝක කරන්නෙහිදැයි අසා යහළුව, ශෝක නොකරව. මම එක් උපායක් දනිමි. එය කරවයි කීය. යහළුව මා කුමක් කළයුතුද? නුඹ තමන්ගේ වෙළෙඳපොළෙහි කළාල අතුරුවා ඒ අඟුරුරාශිය එහි විසුරුවා තබා අඟුරු විකුණන්නකු ලෙස හිඳගෙන සිටුව. එනයන මිනිස්සු මෙසේ කියනු ඇති. අනිත් වෙළෙන්දෝ වස්ත්‍ර, තෙල්, මීපැණි ආදිය විකුණත්. ඔබ ඉඳගෙන අඟුරු විකුණන්නෙහිය. මා ඉතින් මට ඇති දේ විකුණනවා මිස වෙන කුමක් කරන්ටදැයි ඔවුන්ට කියන්න.
යමෙක් අවුත්, අනිත් වෙළෙන්දෝ රෙදි, තෙල්, මීපැණි ආදිය විකුණති. ඔබ රත්රන් විකුණන්නෙහියයි කීවොත් ඔහුට මෙසේ කියව. මෙතන රත්රන් තියෙන්නේ කොහිද? මේ මේවායයි කීකල එය මට රැගෙන දෙන්නැයි කී අයගේ අතින්ම ඉල්වා ගෙන ඔබ අත සඟවා තබාගන්න. එසේ දුන් කල ඔබේ ඇති ඒවා රත්රන්ම වන්නේය. ඒවා අරගෙන ඔබට දුන්නේ කුමරියක් නම්, ඈ ඔබේ ගෙදරට ගෙන්වාගෙන ඔබේ පුතෙකුට ඈ පාවා දී සතළිස් කෙළක් ධනය ඈට පවරාදෙන්න. ඈ අතින් දෙන පමණක් ඔබ පරිහරණය කරන්න.
හෙතෙම මෙය හොඳ උපායක්යයි සිතා තම කඩපිලෙහි අඟුරු ගොඩ ගසා විකුණන්නට මෙන් සිටියේය. යමෙක් එහි අවුත්, සෙස්සෝ වස්ත්‍ර, තෙල්, මීපැණි ආදිය විකුණති. ඔබ ඉඳගෙන අඟුරු විකුණනවා නොවේදැයි කීකල, මට අයිති දේ විකුණනවා මිස මා වෙන කුමක් කරන්ටදැයි පිළිතුරු දුන්නේය. ඉන්පසු දිනෙක වැනසී ගිය පවුලක කෙට්ටු සිරුරක් ඇති නිසා කිසාගෝතමී නමින් හැඳින්වුණු කුමරියක් එහි පැමිණ වෙළෙඳ දොරටුවට ගොස් ඒ වෙළඳ සිටුවරයා දැක, පියාණනි, අනිත් අය රෙදි, තෙල්, මීපැණි ආදිය විකුණන අතර ඔබ ඉඳගෙන රත්රන් විකුණන්නෙහිදැයි ඇසුවාය. මෑණියනි, මෙතැන රත්රන් මොනවාද? ඔබ ඔය තියාගෙන ඇත්තේ රත්රන්ය. මෑණියනි, ඔබේ අතින්ම මට ඒවා අරගෙන දෙන්නැයි හේ ඉල්ලීය. ඈ අත්පුරවා රැගෙන ඔහුගේ දැත්මත තැබුවාය. ඒ දුන් සියල්ලම රත්රන්මවිය.
ඉන්පසු ඒ සිටුවරයා, දුව ඔබේ ගෙය කොහිදැයි විචාරා, අසවල් තැනයයි කී පසු ඇගේ අස්වාමික බවද දැනගෙන ධනය පවරාදී ඈ තමන්ගේ පුතාට ගෙනවුත් දී සතළිස්කෝටියක ධනය දෑවැද්දකොට දුන්නේය. ඒ අඟුරු සියල්ල රත්රන්ම විය. පසු කලෙක ඈ ගැබ්බර වූවාය. දසමස් ඇවෑමෙන් පුතකු වැදුවාය. ඒ දරුවා පයින් ඇවිදගන්නා කාලයේ මිය ගියේය. ඈ මැරුණු කෙනෙක් මීට පෙර දැක නැති නිසා, ඔහු දැවීමට ගෙනයන විට එය වළක්වා මගේ පුතාට බෙහෙත් සොයන්නෙමියි මළසිරුර ඇකයේ හොවාගෙන, මගේ පුතාට බෙහෙතක් දන්නෙහිදැයි විචාරමින් ගෙවල් පිළිවෙළින් ඇවිදගෙන ගියාය.
මිනිස්සු ඒ දැක දුව ඔබට පිස්සුද? මළ පුතාට බෙහෙත් සොයා ඇවිදින්නෙහිදැයි කියති. ඈ නොවරදවාම මගේ පුතාට බෙහෙත් ලබාගන්නෙමි යන සිතින් ඇවිදගෙන ගියාය. ඉන්පසු එක් නුවණැති පුරුෂයෙක් මේ මගේ දුවණිය පළමුවෙන්ම පුතකු වැදුවා විය හැකියි. මැරුණු කෙනෙකු දැක නැත. මා මේ තැනැත්තියට උපකාර කළ යුතුයයි සිතා දුව මම බෙහෙත් දෙන්ට නොදනිමි. එහෙත් බෙහෙත් දන්නා කෙනෙක් නම් දනිමියයි කීවේය. ඒ බෙහෙත් දන්නේ කවුරුන්ද? දරුව, ඒ බුදුරජාණන්වහන්සේයි. එහි ගොස් උන්වහන්සේගෙන් අසා බලවයි කීවේය. ඈ පියාණෙනි, මම එහි යන්නම්. ගොස් උන්වහන්සේගෙන් අසන්නෙමියි කියා බුදුන් වෙත එළඹ වැඳ එක් පැත්තකටවී ස්වාමීනි, ඔබවහන්සේ මගේ පුතුට බෙහෙත් දන්නෙහිදැයි ඇසුවාය. එසේය මම දනිමි. ඒ සඳහා අවශ්‍ය මොනවාද? අහුරක් පමණ අබඇට වුවමනාය. ස්වාමීනි, එය ලබාගතයුතු තැනක් ඇද්ද? එසේය, පුතෙක් හෝ දුවක් හෝ වෙනත් කිසිවෙක් නොමළ ගෙයකින් ඒවා ලබාගතයුතුය.
ඈ ස්වාමීනි, මැනවැයි කියා බුදුන් වැඳ මළපුතා ඇකයේ හොවාගෙන ඇතුළුගමට ගොස් පළමු ගෙදර දොර සිට ඔබලාගේ ගෙදර අබ ඇද්ද මගේ පුතාට එය බෙහෙතකියි ඇසූ විට, ඇතැයි කී කල එසේනම් මට ඒ අබ දෙන්නැය ඉල්ලුවාය. ඔවුන් අබ ගෙනවුත් දෙන කල, මේ ගෙදර පුතෙක් හෝ දුවක් හෝ මීට පෙර මැරී ඇද්ද නැද්දැයි ඇසූවිට, දුව කුමක් කියන්නෙහිද? මෙහි ජීවත්වන අය කීපදෙනෙකි. මැරුණු අය බොහෝ වෙතියි කීකල්හි, එසේනම් මේවා ආපසු ගන්න. මගේ පුතාගේ බෙහෙතට අවශ්‍යවන්නේ දූපුතුන් නොමළ ගෙයක ඇති අබවලින්යයි ප්‍රතික්ෂේප කළාය.
මේ ආකාරයෙන් ඈ මුල පටන් ගෙවල්වලින් විචාරමින් ඇවිද්දාය. එබදු එක ගෙයකින් හෝ අබ ලබාගත නොහැකිවූ ඈ සවස්වූ විට, අනේ මා කළ වැඩක හැටි. මගේ පුතා පමණයි මැරුණේ යන අදහසින් ගමේ ඇවිදි නමුත් මේ ගමේ ජීවත්වන අයට වඩා මළ අය වැඩියයි සිතුවාය. මෙසේ සිතන ඈ තුළ පුත්‍රස්නේහය මෘදුවී තුනීවී ගියේය. ඈ මළපුතා කැලයේ දමා බුදුන් හමුවට ගොස් වැඳ එක් පැත්තක හිඳගත්තේය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ, ඔබ අහුරක් පමණ අබ ලැබුවාදැය ඇසූහ. ස්වාමීනි, නැත. මුළු ගමේම ජීවත්වන අයට වඩා මැරුණු අය වැඩිය. ඉන්පසු බුදුරජාණන්වහන්සේ ඔබ මගේ පුතා පමණයි මිය ගියේ කියා සැලකුවෙහිය. මෙය සත්ත්වයන්ට හිමි ඒකාන්ත ස්වභාවයකි. මාරයා, බලාපොරොත්තු අදහස් මුදුන්පත් නොවුණු අයම මහාදියකඳක් මුහුදට ඇදගෙන යන්නාක් මෙන් අපාය නමැති මුහුදට හෙළන්නේයයි වදාරා දහම් දෙසමින් මේ ගාථාව ප්‍රකාශ කළහ: