11. සංකිච්ච සාමණේර වස්තුව
යො ච වස්සතං ජීවෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ සංකිච්ච සාමණේරයන්වහන්සේ නිමිති කරගෙන දේශනා කරනලදි.
සැවැත්නුවර කුලපුත්‍රයෝ තිස්දෙනෙක් බුදුන්ගෙන් බණ අසා සසුනෙහි පැහැදී පැවිදිවූහ. ඔවුහු උපසම්පදාවෙන් පස්වසක් ගෙවුණු පසු බුදුන් ළඟට පැමිණ මේ සසුනෙහි ග්‍රන්ථධුර විපස්සනාධුර වශයෙන් ධුර දෙකක් ඇතිබව අසා ඇත්තෙමු. අපි වයසට පත්ව පැවිදිවූ නිසා ග්‍රන්ථධුරයෙහි උත්සාහවත් නොවී විපස්සනාධුරය පුරනුකැමතිව රහත්බව දක්වා කමටහන් කියවාගෙන එක් අරණ්‍යායතනයකට යන්නෙමුයයි බුදුරදුන්ගෙන් විමසූහ.
ශාස්තෘන්වහන්සේ, කිනම් තැනකට යන්නහුදැයි අසා, අසවල් තැනටයයි කීකල්හි එහි එක් ඉඳුල් කන්නෙකු නිසා භයක් උපදින බවත් එය සංකිච්ච සාමණේරයන් නිසා දුරුවනබවත් ඉන්පසු ඔවුන්ගේ පැවිදිවීමේ බලාපොරොත්තුව සම්පූර්ණ වනබවත් දැක ගමනට අවසර දුන්හ.
සංකිච්ච සාමණේරනම සැරියුත්හිමියන්ගේ සත්හැවිරිදි ගෝළනමකි. උන්වහන්සේගේ මව සැවැත්නුවර පොහොසත් පවුලක දියණියකි. ඈ ඔහු කුසෙහි උපන්කල එක්තරා රෝගයකින් හදිසියේම කළුරිය කළාය. ඈ දවා පුළුස්සන අවස්ථාවේ දරුගැබ නොදැවී සෙසු මස් දැවී ගියේය. ඇගේ ගර්භාසය චිතකයෙන් ඉවතට ගෙන දෙතුන්පලක් උල්වලින් විද්දාහ. උලේ කෙළවර දරුවාගේ ඇස් කොණේ ඇනුණේය. මෙසේ ගැබ්මස විද අඟුරු ගොඩක තබා අඟුරුවලින්ම වසා ගියෝය.
ගර්භමාංශය දැවී ගියේය. අඟුරුගොඩ මතුපිට රන්පිළිමයක් වැනි දරුවෙක් නෙලුම් මලක හිඳිනාක් මෙන් සිටියේය. අන්තිම ජාතියෙහි උපදින සත්ත්වයන් මහමෙරෙන් පහළට දැම්මත් රහත් බව නොලබා මිය යන්නේ නැත. දෙවෙනි දිනයේ චිතකය නිවා දැමීමට පැමිණි අය අඟුරු මත සිටි දරුවා දැක විස්මයට පත්වූහ. මුළු ශරීරයක්ම දවාලන්ට සමත් මේ දරගොඩක් දැවෙද්දී මේ දරුවා නොදැවුණේ කෙසේද? මෙහි කිසියම් අමුතු කරුණක් තිබිය යුතුයයි දරුවා රැගෙන ඇතුළුගමට ගොස් නිමිති කියන්නන්ගෙන් ඒ ගැන ඇසූහ.
නිමිති කියන්නෝ යම් හෙයකින් මේ දරුවා ගිහිගෙයි සිටියොත් ඔහුගේ හත්වෙනි කුලපරපුර දක්වා සියලුම නෑදෑයෝ දුප්පතුන් බවට පත්වන්නාහුය. ඉදින් මොහු පැවිදි වන්නේ නම් පන්සීයක් පමණවූ ශ්‍රමණ පිරිසක් පිරිවරා සිටින්නේයයි දන්වා සිටියෝය. උලෙන් ඇනීමේදී ඔහුගේ ඇස් කෙළවර බිඳී ගිය නිසා සංකිච්චයයි නම් කළහ. හෙතෙම පසු කාලයෙහි සංකිච්ච නමින් ප්‍රකට විය. ඉන්පසු ඔහුගේ නෑයෝ වියයුත්තක් වේවායි සිතා වැඩුණු පසු අපේ ආර්යයන්වහන්සේ ළඟ පැවිදි කරන්නෙමුයයි පෝෂණය කළහ.
ඔහු සත්හැවිරිදි කාලය විට අනිත් කුමාරවරු, ඔබ මවුකුස් වසන කාලයෙහි ඔබේ මව කළුරිය කළාය. ඇගේ සිරුර දවන විට ඔබ නොදැවී සිටියෙහි යන කථාව අසා මම මෙපමණ බියකින් මිදුණෙමි. මේ ගිහිගෙයි වාසයෙන් මට වැඩක් නැත. පැවිදි වන්නෙමියි සිතා නෑයන්ට එය දැන්වූයේය. ඔවුහු දරුව, යහපතැයි සැරියුත්තෙරණුවන් ළඟට ගොස් ස්වාමීනි, මොහු පැවිදි කරන්නැයි කීහ. තෙරණුවෝ ඔහුට තචපංචක කමටහන් දී එදාම පැවිදි කළහ. හෙතෙම කරගෙයිදීම පිළිසිඹියාපත් සමග රහත්බවට පැමිණියේය. මේ සංකිච්ච සාමණේරයන්ගේ කථාවයි.
ශාස්තෘන්වහන්සේ සංකිච්ච සාමණේරයන් එහි ගිය කල භය නැතිවන බවත් එයින් ඔහුගේ පැවිදි කිස මුදුන්පත් වන බවත් දැන මහණෙනි, තොපගේ දෙටු සොහොයුරු සැරියුත්තෙරණුවන් දැක බලා යව්යයි වදාළහ. ඔවුහු යහපතැයි කියා තෙරණුවන් හමුවට ගොස් ඇවැත්නි ඇයිදැයි ඇසූවිට, අපි බුදුන් හමුවෙහි කමටහන් ලබා ආරණ්‍යයට යනු කැමැත්තෙන් සිටිවිට බුදුරජාණන්වහන්සේ නුඹලාගේ දෙටු සොහොයුරා හමුවී යන්නැයි වදාළහ. එනිසා අපි මෙහි ආවෙමුයයි කීහ.
තෙරණුවෝ බුදුරජාණන්වහන්සේ මෙහි විශේෂ කරුණක් දැක මොවුන් මා සමීපයට එවන්නට ඇතැයි ආවර්ජනා කොට, එම කරුණ දැනගෙන, ඔබලා අතර සාමණේර නමක් ඇද්දැයි ඇසූහ. නැත. එසේ නැත්නම්, මේ සංකිච්චසාමණේරනමත් සමග යන්නැයි කීහ. ඇවැත්නි, අවශ්‍ය නැත. සාමණේරයන් නිසා අපට යම් යම් බාධා ඇතිවිය හැකිය. කැලේ වසන අපට සාමණේරනමකගෙන් ප්‍රයෝජනයක් නැතැයි කීහ. ඇවැත්නි, එසේ නොවෙයි. මේ සාමණේරයන් නිසා ඔබවහන්සේලාට කිසිම බාධාවක් නොවෙයි. බුදුරජාණන්වහන්සේත් වනයට යෑමට ප්‍රථම මා හමුවී යන්නැයි ඔබවහන්සේලා මෙහි එව්වේත් ඔබ සැම සමග සාමණේරයන් පිටත්කරවීමේ බලාපොරොත්තුවෙනි. එහෙයින් මේ සාමණේරයනුත් සමගම යන්නැයි කීහ. ඒ භික්‍ෂූහු යහපතැයි පිළිගෙන සාමණේරයනුත් සමග තිස්එක්දෙනා තෙරුන්ගෙන් අවසර රැගෙන විහාරයෙන් නික්මී චාරිකාවේ හැසිරෙමින් එක්සිය විසියොදුනක් දුරින් පිහිටි සහස්සකුලක නම් ගමට පැමිණියාහුය.
මිනිස්සු උන්වහන්සේලා දැක පැහැදුණු සිතින් මනාකොට වළඳවා ස්වාමීන්වහන්සේ කොහි වඩින්නාහුදැයි අසා, ඇවැත්නි පහසු තැනකටයයි කීකල්හි, උන්වහන්සේලාගේ දෙපාමුල වැඳ සිට, ස්වාමීනි, ආර්යයන්වහන්සේලා මේ වස් තුන්මස මේ ස්ථානයෙහි වැඩ සිටියොත් අපට පන්සිල් සමාදන්ව පෙහෙවස් විසීමටද හැකිවේයයි ආරාධනා කළහ. උන්වහන්සේලා එය ඉවසා වදාළහ.
ඉන්පසු මිනිස්සු උන්වහන්සේලා සඳහා රෑ වසන තැන් දවල් වසන තැන් සක්මන්මළු පන්සල් ආදිය තනා, අද අපි, හෙට අපි ආදි වශයෙන් බෙදාගෙන බොහෝ උත්සාහයෙන් උපස්ථාන කළාහුය. තෙරුන්වහන්සේලා වස් වසන දිනයේ මෙසේ කථිකා කළහ. ඇවැත්නි, අපි ජීවමාන බුදුන් හමුවෙහි කමටහන් ලබාගත්තෙමු. වෙනත් පිළිවෙත්වලින් බුදුවරුන් සතුටු කිරීමට නොහැකිය. අප වෙනුවෙන් අපායේ දොරවල් විවෘතය. එහෙයින් උදේ වරුවේ පිඬුපිණිස හැසිරෙන වේලාවත් සවස මහතෙරුන් වෙත වතාවත් කරන වේලාවත් හැර අනිත් වේලාවක දෙදෙනෙක් එකතු නොවිය යුතුය. යම් කෙනෙකුට අසනීපාදි අපහසුවක් වුවහොත් ඔහු ගෙඩිය ගැසූ කල ඔහු ළඟට ගොස් බෙහෙත් කරන්නෙමු. මෙතැන් පටන් ආරණ්‍යයෙහි රාත්‍රීකාලයේ හෝ දවල්කාලයේ අප්‍රමාදීව කමටහන්වල යෙදෙන්නෙමු.