12. ඛාණුකොණ්ඩඤ්ඤ තෙරණුවන්ගේ වස්තුව
යො ච වස්සසතං ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි ඛාණුකොණ්ඩඤ්ඤ තෙරුන් අරභයා දේශනා කරනලදි.
ඒ තෙරුන්වහන්සේ බුදුන් සමීපයෙහ කමටහන් ඉගෙන ආරණ්යවාසීව රහත්බවට පැමිණ ඒ බව බුදුරදුන්ට දන්වන්නෙමියි එනවිට අතරමගදී ක්ලාන්තය හැදී මගින් මෑත්වී ගල්තලාවක හිඳගෙන ධ්යානයට සමවැදුණාහ. ඉන්පසු පන්සීයක් පමණ සොරු ගම් කොල්ලකා තම ශක්ති පමණින් බඩුපොදි බැඳගෙන හිස මත තබා එනවිට බොහෝ දුර ගිය බැවින් විඩාවට පැමිණියෙමු. මේ ගල්තලාවේ විවේක ගෙන යන්නෙමුයයි මගින් ඉවත්ව ගල්තලාව ළඟට ගොස් තෙරුන් දුටුනමුත් මේ කණුවක්යයි සිතූහ. එක් සොරෙක් තම බඩුමිටිය තෙරුන්ගේ හිස මත තැබීය. තවත් එකෙක් ඒ උඩ තම බඩුමිටිය තැබීය. මේ ආකාරයෙන් පන්සීයක් සොරු තමතමන්ගේ බඩුමිටි තෙරුන් මත ගොඩ ගසා ඒ උඩ නිදාගත්හ. උදේ හිරපායා එනවිට ඇහැරී තමතමන්ගේ බඩුමිටි ගනිද්දී තෙරුන් දැක අමනුෂ්යයෙහිකියි සිතා පැනදුවන්ට පටන්ගත්හ.
තෙරණුවෝ ඔවුන්ට කතාකොට උපාසකවරුනි, බිය නොවව්, මම පැවිද්දෙක්මියි කීහ. ඔවුහු තෙරුන් පාමුල වැඳ වැටී අපට සමාවුව මැනවි. අප සිතා ගත්තේ කණුවක්ය කියායයි තෙරුන් සමාකරවාගෙන, සොරදෙටුවා මම ආර්යයන්වහන්සේ සමීපයෙහි පැවිදිවෙමියි කී කල්හි, අපිත් පැවිදි වන්නෙමු යයි සෙස්සෝද පැවිදි වීමට ඒකච්ඡන්දයෙන් ඉදිරිපත්ව තෙරුන්ගෙන් පැවිද්ද ඉල්ලූහ. තෙරණුවෝත් සංකිච්චසාමණේරයන්මෙන් ඔවුන් පැවිදි කළහ. ඉන්පසු උන්වහන්සේ ඛාණුකොණ්ඩඤ්ඤ නමින් ප්රකටවූහ.
උන්වහන්සේ ඒ භික්ෂූන් සමඟ බුදුන් සමීපයට ගොස් කිම කොණ්ඩඤ්ඤ ඔබට අන්තේවාසිකයන් ලැබුණේදැයි ඇසූ කල ඒ පුවත දන්වා සිටියහ. මහණෙනි, එසේදැයි විචාරා, ස්වාමීනි එසේය. මින්පෙර අපි මෙබඳු සෘද්ධ්යනුභාවයක් දැක නැත්තෙමු. එනිසා පැවිදිවීමයි කීකල්හි, මහණෙනි, තොප කළා සේ අනුවණ වැඩක යෙදී වර්ෂ සියයක් ජීවත්වීමට වඩා දැන් තොප ප්රඥාසම්පදාවෙහි යෙදී එක්දිනක් ජීවත්වීම අර ජීවිතයට වඩා වටින්නේයයි කියා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ.
නුවණ නැතිව සියවසක්
යමෙකු ජීවත්වුව ලොව
නුවණැතිව එක දවසක්
ජීවත්වීම වැදගති.
යමෙකු ජීවත්වුව ලොව
නුවණැතිව එක දවසක්
ජීවත්වීම වැදගති.
එහි දුප්පඤ්ඤො යනු ප්රඥාවෙනි තොරවීමයි. පඤ්ඤාවන්තස්ස යනු ප්රඥාව ඇති තැනැත්තාගේයි. සෙස්ස පෙර පරිදිමය.
දේශනාවසානයෙහි ඒ භික්ෂූන් පන්සීයම පිළිසිඹියාත් සමග රහත්බවට පත්වූහ. පැමිණි මහජනයාටද දේශනාව ප්රයෝජනවත් විය.
දසවන ඛාණුකොණ්ඩඤ්ඤ තෙරණුවන්ගේ වස්තුවයි.
13. සප්පදාස තෙරුන්ගේ වස්තුව
යො ච වස්සතං ජීවෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි සප්පදාසක නම් තෙරුන් උදෙසා දේශනා කරනලදි.
සැවැත්නුවර එක් කුලපුත්රයෙක් බුදුන්නේ බණ අසා පැවිදිවී උපසම්පදාවක් ලබා, පසු කලක සසුනෙහි කලකිරී මා වැනි කුලපුත්රයෙකුට ගිහිවීම සුදුසු නොවෙයි. පැවිද්දේ සිටම මිය යෑම යෙහෙකැයි සිතා තමන් මියයන උපායක් සොයමින් හැසිරෙයි. ඉන්පසු දිනක උදෑසනම වැළඳූ භික්ෂූහු විහාරයට ගොස් ගිනිශාලාවේ සර්පයකු දැක ඌ එක් කළයකට දමා කළය වසාගෙන විහාරයෙන් පිටත්වූහ. කළකිරුණු භික්ෂුවත් වළඳා එනවිට ඒ භික්ෂූන් දැක ඇවැත්නි මේ කුමක්දැයි අසා ඇවත්නි මේ සර්පයෙකියි කීකල්හි ඔය කරන්ට යන්නේ කුමක්දැයි අසා මූ ඈත තැනකට දමන්නෙමුයි කීහ. ඔවුන්ගේ කථාව ඇසූ භික්ෂුව මේ සර්පයා ලවා දෂ්ට කරවාගෙන මැරෙන්නෙමියි එය ඉල්වාගෙන එක් තැනක හිඳගෙන ඒ සර්පයා ලවා තමන් දෂ්ටකරවාගන්ට වෑයම් කෙළේය. සර්පයා දෂ්ට කිරීමට නොකැමතිවිය. හෙතෙම කළය ඇතුළට අත දමා අත එහාට මෙහාට කාල් ගෑවේය. සර්පයාගේ කටඇර ඇඟිල්ල දැම්මේය. එහෙත් සර්පයා දෂ්ට කෙළේම නැත. හෙතෙම මූ විෂඝෝර සර්පයෙක් නොවේයයි ඌ හැරදමා විහාරයට ගියේය.
ඉන්පසු භික්ෂූහු, ඇවැත්නි, සර්පයා වීසි කෙළෙහිදැයි ඇසූහ. ඇවැත්නි, ඌ විෂඝෝර සර්පයෙක් නොවෙයි. නෑ ඇවැත්නි ඌ විෂඝොරයෙකි. පෙණය පුප්පා සූ සූ ගා ඌ පිම්බේය. අපි ඌ අල්ලාගත්තේ ඉතා අමාරුවෙනි. ඔබ මෙසේ කියන්නේ කුමක් නිසාදැයි ඇසූහ. ඇවැත්නි, මම ඌ ලවා දෂ්ටකරවාගන්ට වෑයම් කළත් උගේ කටට ඇඟිල්ල දැමුවත් දෂ්ටකරවාගන්ට නොහැකිවිය. ඒ ඇසූ භික්ෂූහු නිහඬවූහ.
පසුව දිනක හිසරැවුල් බාන කරනවෑමියෙක් දැලිපිහි දෙකතුනක් රැගෙන විහාරයට ගොස් එකක් බිම තියා අනිකෙන් භික්ෂූන්ගේ හිස බායි. ඒ භික්ෂුව බිම තිබූ කඩකැත්ත රැගෙන මේකෙන් ගෙන සිඳගෙන මැරෙන්නෙමියි, එක් ගසකට බෙල්ල තබා කඩකැති තලය උගුරුදණ්ඩේ තබා, සිට, උපසම්පදා මාලකයේ පටන් තමන්ගේ සීලය ගැන කල්පනාකර එය නිර්මල සඳමඬලක් මෙන්ද, සුදෝසුදු මැණිකක් මෙන් ද පිරිසිදු බව දුටුවේය. එසේ තමන්ගේ නිර්මල සීලය බලය ඔහුගේ මුළුසිරුර පුරා සිහිය පැතිර ගියේය. හෙතෙම ප්රීතිය විෂ්කම්භනය (යටපත්කොට) කොට විදර්ශනා වඩා සිව්පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණ, දැළිපිහියක් රැගෙන විහාරය මැදට පැමිණියේය.
ඉන්පසු භික්ෂූහු ඇවැත්නි, කොහි ගියෙහිදැයි ඇසූහ. මේ දැළිපිහියෙන් උගුරුදණ්ඩ කපාගෙන මැරෙන්නෙමියි ගියෙමි. ඇවැත්නි, ඉතින් නොමැරුණේ ඇයි? මම දැන් පිහියකින් දිවි තොරකර ගැනීමට අපොහොසත් වෙමි. මම මේ පිහියෙන් ගළනාලය සිඳගන්නෙමියි නුවණ නමැති පිහියෙන් සියලු කෙලෙස් සිඳදැමීමියි කීහ. භික්ෂූහු මේ අය අභූතයෙන් නැති ගුණයක් කියන්නේ යයි භාග්යවතුන්වහන්සේට ඒ බව දැන්වූහ. භාග්යවතුන්වහන්සේ ඔවුන්ගේ වචන අසා, මහණෙනි, රහතන්වහන්සේලා වනාහි සියතින් ජීවිතය තොරකර නොගනිති. ස්වාමීනි, ඔබවහන්සේ මොහු රහත්යයි කියනසේක්ද? මොහු රහත් වීමට උපනිශ්රයසම්පත් ඇත්තෙක් නම් සසුනෙහි කලකිරුණේ ඇයි? මොහුට රහත් වීමට ඇති හේතුසම්පත් මොනවාද? කුමක් නිසා ඒ සර්පයා මොහු දෂ්ට නොකෙළේද? මහණෙනි, ඒ සර්පයා ආත්මභාව තුනකට පෙර මොහුගේ දාසයෙකි. හෙතෙම තම ස්වාමියාගේ ශරීරය දෂ්ටකරන්ට උත්සාහ නොකෙළේය. මෙසේ ශාස්තෘන්වහන්සේ එක් කරුණක් පමණක් දැන්වූහ. එතැන් පටන් ඒ භික්ෂුව සප්පදාස නමින් ප්රකට විය.