9. ඛදිරවනිය රේවතතෙරුන්ගේ වස්තුව
ගාමෙ වා ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වැඩවසන කාලයෙහි ඛදිරවනිය රේවතහිමියන් අරභයා දේශනා කරන ලදි.
ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝ අසූහත් කෝටියක ධනය හැරදමා පැවිදිව, චාලා උපචාලා සිසූපචාලා යන නැගණියන් තිදෙනාද, මන්ද්‍ර, උපසේන යන සොහොයුරන් දෙදෙනාද පැවිදිකළහ. රේවතකුමරු පමණක් ගෙදර ඉතුරු විය. ඉන්පසු ඔහුගේ මව, මාගේ පුතා උපතිස්ස සහෝදරියන් තිදෙනාද සොහොයුරන් දෙදෙනාද සමග පැවිදිවිය. රේවත පමණක් ඉතිරිවිය. යම් හෙයකින් මොහුත් පැවිදි කළහොත් අපේ මේසා මහත් ධනය විනාශවන්නේය. කුලවංශයත් නැසෙන්නේය. ළමා වියේදීම මොහු ගෘහබන්ධනයට ඇතුළත් කරන්නෙමියි සිතුවාය.
සැරියුත්තෙරණුවෝද පළමු කොටම භික්ෂූන්වහන්සේලාට මෙසේ නියෝගයක් කළහ. ඇවැත්නි, යම් වේලාවක රේවත මහණවීමේ කැමැත්තෙන් මෙහි ආවොත්, ඒ ආගමන්ම ඔහු පැවිදිකරව්. මගේ මවුපියෝ මිසදිටුවෝය. ඔවුන්ගෙන් ඇසීමේ තේරුමක් නැත. මමම රේවතගේ මවුපියෝය. රේවත කුමරුගේ මවද ඔහු සත්හැවිරිදි කාලයේම ගෘහබන්ධනයෙන් බැඳලනු සඳහා සමාන ජාතික පවුලක දැරියක් සමග සරණ බන්ධනයට කථා කොට දිනද නියම කරගෙන කුමරා ආභරණ පළඳවා සරසා මහත්වූ පිරිවර සහිතව කුමරියගේ නෑගෙදරට කැඳවාගෙන ගියාය.
ඉන්පසු ඔවුන්ගේ මංගල කටයුතු අවසන දෙදෙනාගේම නෑයන් එක්වී ජලය පිරූ රන්තලියෙහි දෙදෙනාගේම අත් බහා මගුල්පාඨ කියා කුමරියගේ දියුණුව බලාපොරොත්තු නෑයෝ ඇගේ මිත්තණිය පෙන්වා මේ බලන්න. ඔබේ මිත්තණිය කෙතෙක් දිගු කලක් ජීවත්ව සිටින්නීද, එමෙන් දුවණිය ඔබත් බොහෝ කල් ජීවත් වන්නැයි කීවාහුය. රේවතකුමරු මාගේ මිත්තණියගේ මෙලොව සැප කුමක්දැයි විමසා බල්නනෙමියි සිතා මගේ මිත්තණිය කවරියකදැයි ඇසුවේය. අනතුරුව නෑයෝ මෙසේ ඇසූහ. දරුව ඔබ ඈ නොදුටුවෙහිද? ඒ එක්සිය විසිහවුරුදු සපිරි, දත් හැළුණු, කෙස් පැසුණු, සම වැරහැලි ගැසුණු, මුළු සිරුර තලකැරලියෙන් ගැවසීගත් ගොණැස්සක් මෙන් වකගැසුණු තැනැත්තී මැගේ මුත්තණයෝයයි කීවෝය. කිම මෑත් එබඳු තත්ත්වයට පත්වන්නීද? ඉදින් එතෙක් ජීවත් වුවහොත් ඒ තත්ත්වයට පැමිණෙයි. කුමරා, මෙතරම් ලක්ෂණ සිරුරක් පසුව මෙසේ විප්‍රකාරයට පැමිණෙන්නේය. මගේ සහෝදර උපතිස්ස මේ කරුණ හොඳින් වටහා ගත්තේය. අදම පැනගොස් පැවිදිවීම වටනේයයි සිතීය. ඉන්පසු ඔහුගේ නෑයෝ ඒ දෙදෙනා එකම යානයක නංවා රැගෙන ගියාහුය.
කුමරු ටික දුරක් ගොස් සිරුරුකිස කර ආපසු එන්නෙමියි එයින් බැස එක් වන ලැහැබක ටිකක් නැවතී සිට ආවේය. නැවතත් මඳ දුරක් ගොස් ඒ අයුරින්ම යානයෙන් බැස ගොස් ඇවිත් යානයට නැංගේය. නැවතත් එසේ කෙළේය. පසුව ඔහුගේ නෑයෝ මොහුට නැගිට ගැනීම අපහසුයයි සලකා මදවූ ආරක්ෂක ක්‍රමයක් කළහ. කුමරු නැවතත් ටික දුරක් ගොස් පෙර පරිද්දෙන්ම යානයෙන් බැස, තෙපි මා පෙරටුව යව්. මම පසුව සෙමින් එන්නෙමියි කියා බැස වන ලැහැබ කරා ගියේය. නෑයෝත් ඔහු පසුව එනු ඇතියි සිතා යානා පදවාගෙන ගියහ. හෙතෙම එතනින් පැන ගොස් භික්ෂූන් තිස්නමක් පමණ වසන ප්‍රදේශයකට ගොස් ස්වාමීනි, මා පැවිදි කරන්නැයි ඉල්ලීය.
ඇවැත්නි, තෙපි සව්බරණින් සැරසිලාය. ඔබ රාජපුත්රයෙක්ද, අමාත්‍ය පුත්රයෙක්දැයි අපි නොදනිමු. ඉතින් අප ඔබ පැවිදි කරන්නේ කෙසේද? ස්වාමීනි, ඔබවහන්සේලා මා ගැන නොදන්නාසේක්ද? ඇවැත්නි අපි නොදන්නෙමු. මම උපතිස්සගේ බාල සොහොයුරා වෙමි. මේ උපතිස්ස කියන්නේ කවුද? එසේය ස්වාමීනි, ඔබවහන්සේලා මාගේ සහෝදරයාට සාරිපුත්තයයි කියති. එනිසා උපතිස්සයයි කීකල නොදන්නාහුය. එසේ නම් ඔබ සැරියුත්තෙරණුවන්ගේ බාලසොහොයුරාද? ස්වාමීනි, එසේය. එසේනම් මෙහි එන්න. ඔබ පැවිදි කිරීම ඔබේ සොහොයුරා අනුදැන ඇතැයි කියා ඔහුගේ ආභරණ ගළවා පසෙකින් තබා ඔහු පැවිදිකර සැරියුත්තෙරණුවන් වෙත, ස්වාමීනි, ආරණ්‍යක භික්ෂූන් විසින් රේවතකුමරා පැවිදි කරනලදැයි හසුනක් යැවූහ. සැරියුත්තෙරණුවෝ ඒබව බුදුරදුන්ට දැන්වූහ. ස්වාමීනි, ආරණ්‍යයක භික්ෂූන් විසින් රේවත කුමරුන් පැවිදිකළ බව දන්වා ඇත. එහි ගොස් බහු බලා එන්නෙමියි දැන්වූහ. බුදුරජාණන්වහන්සේ, ශාරීපුත්‍රය තව ටිකක් ඉවසන්නැයි යන්ට නොදුන්හ. තෙරණුවෝ තවත් දින කීපයකින් බුදුන්ගෙන් ඇසූහ. ශාරීපුත්‍රය, මමත් එන්නෙමි. තව ටිකක් ඉවසවයි යන්ට නොදුන්හ.
සාමණේර තෙමේත් ඉදින් මා මෙහි සිටියොත් මගේ නෑයෝ මෙහි අවුත් මා කැඳවන්නාහුයයි ඒ භික්ෂූන් වෙතින් අර්හත්වය දක්වා කමටහන් ඉගෙන පාසිවුරු රැගෙන චාරිකාවේ හැසිරෙමින් එයින් තිස්යොදුනක් පමණ දුරින් පිහිටි ඛදිරවනය නම් තැනට ගොස් වස් තුන් මාසය ඇතුළතදීම සිව්පිළිසිඹියා පත් රහත්බවට පැමිණියේය.
සැරියුත් තෙරණුවෝත් වස් පවාරණය කොට එහි යෑම පිණිස බුදුන්ගෙන් ඇසූහ. බුදුරජාණන්වහන්සේත් ශාරිපුත්‍රය, අපත් එන්නෙමුයයි භික්ෂූන් පන්සීයක් සමග නික්මුණාහ. ටිකක් දුර ගිය පසු, ආනන්දතෙරණුවෝ දෙමංසන්ධියකදී, බුදුන්වෙත ගොස්, ස්වාමීනි, රේවත වෙත යන ගමන් මාර්ගයන්හි මෙය දීර්ඝ මාර්ගයකි. සැටයොදුනක් දුරය. මනුෂ්යාවාස සහිතය. මේ මාර්ගය සෘජුමගකි. තිස්යොදුනකි. අමනුෂ්‍යයන්ගෙන් පිරුණකි. අප යන්නේ කොයි මාර්ගයෙන්දැයි ඇසූහ. ආනන්ද, සීවලීතෙරණුවෝත් අප සමග ආවෙහිද? ස්වාමීනි, එසේය. සීවලීතෙරණුවන් ආවාහු නම් සෘජුමාර්ගයම ගන්නැයි වදාළහ.
බුදුරජාණන්වහන්සේ, මම තොපට කැඳබත් එළවා දෙන්නෙමි සෘජුමාර්ගය ගනුවයි නොකියා, ඒ ඒ අයගේ පුණ්‍යවිපාක පලදීමට මේ හොඳ අවස්ථාවකියි දැන සීවලී ආවෙහි නම් සෘජුමග ගනුවයි වදාළහ. ශාස්තෘන්වහන්සේ ඒ මගට පිළිපන් කල්හි දෙවියෝ, අපේ ආර්යවූ සීවලීතෙරණුවන්ට සත්කාර කරන්නෙමුයයි සිතා එක් එක් යොදුනක විහාරයන් කරවා එක් එක් යොදුනක් හෝ ඉක්මවා යානොදී උදෑසනම අවදිව දිව්‍යමය කැඳබත් ආදිය රැගෙන අවුත් අපේ ආර්යවූ සීවලීතෙරණුවෝ කොහි වෙසෙත්ද, කොහි වෙසෙත්දැයි විචාරමින් යෙති. සීවලීතෙරණුවෝ තමන්ට ගෙනා ආහාර බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට දෙවූහ. ශාස්තෘන්වහන්සේ පිරිවර සහිතව තිස්යොදුන් කාන්තාරය සීවලීතෙරුන්ගේ පිනම අනුභව කරමින් වැඩියහ.
රේවත තෙරණුවෝත් බුදුන්ගේ පැමිණීම දැනගෙන බුදුරදුන් උදෙසා ගඳකිළියක් නිර්මාණයකොට කුළුගෙවල් පන්සීයක් සක්මන්මළු පන්සීයක් රාත්රිස්ථාන දිවාස්ථාන පන්සීයක් වශයෙන්ද නිර්මාණය කරවූහ. ශාස්තෘන්වහන්සේ උන්වහන්සේ සමීපයෙහි මසක් පමණ විසූහ. එහි වසමිනුත් සීවලීතෙරුන්ගේ පිනම අනුභව කළසේක.