10. එක්තරා ස්ත්‍රියකගේ වස්තුව
රමණීයානි ආදි මේ ධර්‍මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ එක්තරා ගැහැණියක් අරභයා දේශනා කරනලද්දකි.
එක් පිණ්ඩපාතික භික්ෂුවක් බුදුන් හමුවෙහි කමටහන් ඉගෙන එක් දිරාගිය උයනකට වැදී මහණදම් පුරයි. එක් නගරශෝභිනියක් (වේසාවියක්) එක් මිනිසෙකු සමග මම අසවල් තැනට යන්නෙමි. ඔබ එතැනට එන්නැයි තැනක් නියම කොට ගියාය. ඒ මිනිහා එතැනට නාවේය. ඈ ඔහු එන පාර බලමින් සිට ඔහු නොදැක කලකිරී එහෙමෙහෙ ඇවිදිමින් ඒ උයනට පිවිස පර්යංකයක් බැඳ වැඩහුන් තෙරුන් දැක, එහෙමෙහෙ බලා වෙන කිසිවෙක් නොදැක, මේත් මිනිහෙකි. මොහුගේ සිත මෝහනය කර ගන්නෙමියි තෙරුන් ඉදිරියේ සිට නැවත නැවතත් ඇඳ සිට සළුව ලිහා අඳියි. කෙස් මුදා බඳියි. දෙඅත් එකට ගසා සිනාසෙයි. තෙරුන්ට සංවේගය ඇතිවී මුළු සිරුර පුරා පැතිරී ගියේය. හෙතෙම මේ කිමෙක්දැයි සිතීය.
බුදුරජාණන්වහන්සේත් තමන්ගෙන් කමටහන් ඉගෙන මහණදම් පුරන්නෙමියි ගිය ඒ භික්‍ෂුවගේ තත්ත්වය කෙබඳුදැයි සොයා බලනසේක් ඒ ස්ත්‍රිය දැක ඇගේ අනාචාර ක්‍රියාද දැක තෙරුන් සංවේගය උපදවාගෙන සිටින අයුරුද දැන ගඳකිළියෙහි හිඳගෙනම ඒ භික්ෂුව සමඟ කථා කළසේක. මහණ, කම්සැප සොයන අයගේ සිත් නොඅලවන තැන්ම වීතරාගීන්ගේ සිත් ගන්නා තැන් වෙයි යනුවෙන් වදාරා ආලෝකයක් යවා ඔහුට දහම් දෙසමින් මේ ගාථාවද වදාළසේක.
ජනයා කැමති නැති
සිත්කලු වන ගහනයෝ
රහතුනට රමණීය වේ
කම්සැප නොසොයන බැවින්
එහි අරඤ්ඤානි යනු පිපුණුමල් ඇති ගස්වලින් යුතු, නිර්මල ජලය ගලා බසින ඇළදොළ ඇති ආරණ්‍යයෝයි. රමණීයානි යත්ථ යනු පිපී ගිය පියුම් වනයන්හි ගම්මැස්සන් නොඇලෙන්නාක් මෙන් කාමයන්ම සොයන අය සිත් නොඅලවති. වීතරාගා යනු පහවූ රාග ඇති රහතන්වහන්සේලා පියුම් වනයෙහි හැසිරෙන බමරමීමැස්සන් මෙන් එබඳු ආරණ්‍යවල රමිස්සන්ති ඇලෙත්. කුමක් නිසාද? න තෙ කාමගවෙසිනො යම්හෙයකින් උන්වහන්සේලා කාමයන් සොයා නොයන්නාහුද එහෙයින්ය යන අර්ථයි.
දේශනා කෙළවර තෙරුන්වහන්සේ සිටිසැටියෙන්ම පිළිසිඹියාත් සහිතව රහත් බවට පත්ව අහසින් පැමිණ ස්තුති කරමින් තථාගතයන්වහන්සේගේ පා වැඳ නික්මී වැඩියාහුය.
දසවන එක්තරා ස්ත්‍රියකගේ වස්තුවයි.
අරහන්තවර්ග වර්‍ණනාව සමාප්තයි.
සත්වන වර්‍ගයයි.
8. සහස්‍ර වර්ගය
1. තඹදැළි නම් චෝරඝාතකයාගේ වස්තුව
සහස්සමපි චෙ වාචා ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වසන සමයෙහි තඹදැළිරැවුලැති චෞරඝාතකයා අරභයා දේශනා කරනලදි.
හාරසිය අනූනවයක් පමණ සොරු ගම් පැහැරගැනීමාදියෙන් ජීවිකාව කරගෙන ගියහ. ඉන්පසු එක්තරා පිඟුවන් ඇස් ඇති, තඹපාට දැලිරැවුලක් ඇති මිනිසෙක් ඔවුන් ළඟට ඇවිත් මමත් නුඹලා සමග ජීවත්වීමට කැමැත්තෙමියි කීය. ඉන්පසු ඔහු හොරදෙටුවා ළඟට ගෙනගොස් මොහුත් අප සමග ජීවත් වීමට කැමැත්තේයයි කීවෝය. සොරදෙටුවා ඔහු දෙස බලා, මෙතෙම ම වගේ තනයවුවත් කපාගෙන කෑමට, පියාගේ ගෙළ සිඳ ලේ බීමටවුවත් දක්ෂ අතිශයින්ම කර්කෂ එකෙකියි දැනගෙන, මොහුට අප හා සමග විසීමට අවසරයක් නැතැයි ඉල්ලීම ප්‍රතික්ෂේප කෙළේය. දෙවැන්නා, තම ඉල්ලීම ප්‍රතික්ෂේප කළත් දෙටුසොරාගේ අතවැසියකු ළඟට ගොස් ඔහුට උපස්ථාන කරමින් ඔහු පහදවා ගත්තේය. අතවැස්සා ඔහුත් රැගෙන සොරදෙටුවා ළඟට ගොස් මෙසේ කීවේය. ස්වාමීනි, මොහු අපට සුදුසුයි. හොඳ උපකාරකයෙකි. මොහු ගැන අනුකම්පා කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉන්පසු දිනෙක නුවරවැසියෝ රාජපුරුෂයන් සමග එක්වී ඒ සොරුන් අල්වා අධිකරණ ඇමතියන් වෙත පැමිණවූහ. ඇමතියෝ ඔවුන් හිස් පොරොවෙන් කපාදමන ලෙස නියෝග කළහ. ඉන්පසු සොරුන් මැරීමට කැමති කවුරුන්දැයි සොයා බැලූවිට ඒ සඳහා කිසිවෙක් ඉදිරිපත් නොවූහ. අනතුරුව සොරදෙටුවාට මෙසේ කීවාහුය.
ඔබ මොවුන් මරාදැම්මොත් සම්මානත් ජීවත්වීමත් ලබාගත හැකිය. එනිසා මොවුන් මරාදමවයි කියාය. ඔහුද තමන් නිසා තමන් ළඟ සිටිනවුන් නිසා ඔවුන් මරාදැමීමට එකඟ නොවීය. මේ ආකාරයෙන් හාරසිය අනූනව දෙනාගෙන්ම විමසා බැලූහ. ඒ සියල්ලෝම අකමැතිවූහ. සියල්ලන්ගෙන්ම පසුව යටකී පිඟුවන් ඇස් ඇති තඹවන් දැළිරැවුලු ඇති එකාගෙන් අසා බැලූහ. හෙතෙම යහපතැයි කැමති වී ඒ සියලු දෙනා මරා ජීවිතයත් සම්මානත් ලැබීය. නගරයේ දක්ෂින දිසාවෙනුත් අල්ලාගත් සොරුන් පන්සීයක් අල්ලාගෙනවුත් ඇමතියන්ට භාරදුන්හ. ඇමතියෝ පෙර පරිදිම ඔවුන්ගේ හිසගසා දැමීමට නියෝග කළවිට සොරදෙටුවාගේ පටන් කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවූහ. පසුව මීට පෙර දිනයේ එක් පුද්ගලයෙක් සොරුන් පන්සීයක් මැරුවේය. ඔහු කොහේදැයි විමසූ විට අසවල් අසවල් තැන්වලදී දක්නාලදැයි කීකල ඔහු කැඳවා මේ සොරුන් මරා දමව. ඒ සඳහා සම්මාන ලැබෙනු ඇතැයි කීහ. හෙතෙම හොඳයි කියා එය පිළිගෙන ඔවුනුත් මරාදමා සම්මාන ලැබීය. ඉක්බිතිව මොහු මේ ක්‍රියාවට සුදුස්සෙකි. මොහු ස්ථිර චොරඝාතක කරන්නෙමුයයි සාකච්ඡා කොට ඔහුට ඒ තනතුර දී සම්මානද කළහ.
බටහිර-උතුරු දිසාවලින් ගෙන ආ පන්සීය පන්සීය බැගින් වූ සොරුන්ද ඝාතනය කෙළේය. මෙසේ සිව්දිසාවෙන් ගෙන ආ සොරුන් දෙදහසක් මරා එතැන් පටන් දිනපතා ගෙන ආ එක්කෙනා දෙන්නා බැගින්වූ සොරුන් මරමින් පනස්පස් වසරක් චෝරඝාතක කර්මය කෙළේය.