7. අරහද් වර්ගය
1. ජීවකප්‍රශ්න වස්තුව
ගත්ද්ධිනො ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරනකාලයේ ජීවකයන් ඇසූ ප්‍රශ්නයක් අරභයා දේශනා කරනලද්දකි. ජීවකවස්තුව විනය ඛන්ධකයෙහි විස්තර වශයෙන් දැක්වේ.
එක් සමයෙක දෙව්දත්තෙම අජාසත්රජු සමග එක්වී ගිජුකුළුපව්වට නැගී දූෂණය කරගත් සිතින් බුදුන් මරාදමන්නෙමියි ගලක් පෙරළීය. ඒ ගල පර්වත මුදුන් දෙකක් විසින් පිළිගන්නාලදි. එයින් බිඳී විසිවුණු පගල්පතුරක් බුදුන්ගේ පාදයේ ඇනී ලේ පිටවිය. ක්‍රෑර වේදනාවක් ඇතිවිය. භික්‍ෂූහු බුදුන් මද්දකුච්ඡි නම් තැනට පැමිණවූහ. බුදුරජාණන්වහන්සේ එතැනින් ජීවකඅඹවනයට යනු කැමැත්තෙන් මා එහි ගෙනයව්යයි කීහ. භික්‍ෂූහු භාග්‍යවතුන්වහන්සේ රැගෙන ජීවක අඹවනයට ගියාහුය.
ජීවක වෛද්‍යවරයා එපුවත අසා ශාස්තෘන්වහන්සේ සමීපයට ගොස් තුවාලයට ප්‍රතිකර්ම සඳහා තියුණු බෙහෙතක් සාදා එය තබා බැඳ බුදුරදුන් මෙසේ දන්වා සිටියේය. ස්වාමීනි, මම ඇතුළු නගරයේ එක් මිනිසෙකුට බෙහෙත් කරමින් සිටියෙමි. නැවත ඔහු ළඟට ගොස් එන්නෙමි. මේ බෙහෙත මා එනතුරු බැඳි ආකාරයෙන්ම තිබියයුතුයයි කියා ගියේය. ඔහු ගොස් අනිත් රෝගියාට කළයුතු වෙදකම් කොට දොරවල් වසන වේලාවෙහි එන්නේ දොරවල් වසන්ටපෙර පැමිණිය නොහැකිවිය.
ඉන්පසු ඔහුට මෙබඳු සිතක් ඇතිවිය. අනේ මා අතින් නපුරු දෙයක් සිදුවිය. අනිත් රෝගීන්ට මෙන් බුදුන්ගේ පාදයෙහිත් ලේ පිළිස්සෙන කටුක බෙහෙතක් තබා බැන්දෙමි. දැන් ඒ බෙහෙත ඉවත්කරන වේලාවයි. එය දැන් ඉවත් නොකොළොත් මුළු රෑ පුරා බුදුන්ගේ සිරුරෙහි දැවිල්ල හටගන්නේය. ඒ වේලාවෙහි ශාස්තෘන්වහන්සේ ආනන්ද හිමියන්ට කථා කොට, ආනන්ද, සවස්වී ආ ජීවකයන්ට දොරවල් වැසීමට පෙරාතුව ආගත නොහැකි විය. දැන් තුවාලයේ බෙහෙත ඉවත් කරන වේලාවයයි ඔහු සිතීය. එහෙයින් එය මුදාලන්නැයි වදාළහ. තෙරණුවෝත් එය මුදාහළහ. තුවාලය ගසක මැලියමක් ගැළවුණාක් මෙන් පහවී ගොස් තිබිණි. ජීවකතෙම අරුණ නැගෙන වේලාවෙහි බුදුන් සමීපයට වේගයෙන් අවුත් ස්වාමීනි, කෙසේද ඔබ වහන්සේගේ ශරීරයෙහි දැවිල්ල හටගත්තේදැයි විචාළේය. ශාස්තෘන්වහන්සේ, ජීවකයෙනි, තථාගතයන්ට බෝධිමණ්ඩයෙහිදීම සියලු දැවිලිවේදනා නිවීගියේයයි පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
සසර ගමන් කෙළවර කොට
සැම සෝදුක්වලින් මිදුණ
සියලු ගැටලු මුදා දැමූ
අයට වේදනා නොම වේ
එහි ගතද්ධිනො යනු මාර්ගයට පැමිණි, කාන්තාර මාර්ගය, සංසාරවට්ට මාර්ගය වශයෙන් අතරමාර්ග දෙකකි. එයින් කාන්තාරයට පැමිණි පුද්ගලයා යම් විටක තමන් කැමති ස්ථානයට නොපැමිණෙන්නේද එතෙක් ඔහු මගියෙක්ම වේ. ඒ ස්ථනයට පැමිණිවිට ඔහු ගතද්ධිමාර්ගය අවසන් කළ පුද්ගලයෙක් වෙයි. සංසාරවට්ටයෙහි ඇවිදින සත්ත්වයෝද සසර වසනාතාක් කල් මගියෝම වෙති. කුමක් නිසාද? සංසාරවර්ටය අත්නොහැරි හෙයිනි. සෝවාන් ආදීහුද මගියෝමය. සංසාර පැවැත්ම ප සෙකට දැමූ රහතන්වහන්සේ වූකලි ගතද්ධි හෙවත් සසරගමන් කෙළවර කළහෙයින් ගතද්ධි යන නම ලබති. විසොකස්ස යනු සසර පැවැත්ම මුල්කොට ඇති ශෝකවලින් බැහැරවූ හෙයින් ශෝක නැත්තෙකු වෙයි. සබ්බධි-සියලු ස්කන්ධාදි ධර්මයන් කෙරෙහි, විප්පමුත්තස්ස සිව්වැදෑරුම් ග්‍රන්ථ (ගැටලු) ප්‍රහීණ කළ හෙයින් සබ්බගන්ථප්පහීණස්ස යනුවේ. පරිළාහො න විජ්ජති දැවීම් දෙකකි. කායික චේතසික වශයෙනි. එයින් රහතන් වහන්සේට ශීත උෂ්ණාදි වශයෙන් උපදින කායික දැවීම් නිවුණේ නැත. ඒ නිසයි ජීවක බුදුන්ගෙන් අසා සිටියේ. ශාස්තෘන්වහන්සේ ධර්මරාජයන් බැවිනුත් දේශනාවිධි පිළිබඳ කුශලත්වයක් ඇති බැවිනුත් කායික චේතසික දැවීම් වශයෙන් දේශනාව පවත්වමින්, ඇවැත් ජීවකයෙනි, පරමාර්ථ වශයෙන් නම් මෙබඳු ක්ෂීණාශ්‍රව කෙනෙකුන්ට දැවීම් නැත්තේයයි වදාළහ.
දේශනා කෙළවර බොහෝදෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.
පළමුවන ජීවකප්‍රශ්න වස්තුවයි.
2. මහාකාශ්‍යප ස්ථවිර වස්තුව
උය්‍යුංජන්ති ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වාසයකරන කාලයේ මහාකාශ්‍යප තෙරණුවන් අරභයා දේශනාකරන ලද්දකි.
එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ රජගහනුවර වස් වැස වස් අවසන්වී අඩමසකින් පමණ චාරිකාවෙහි හැසිරෙන්නෙමියි භික්ෂූන්ට දන්වා යැවූහ. භික්ෂූන් සමග මෙසේ චාරිකාවේ හැසිරීම බුදුවරයන්ගේ එක්තරා වතකි. මෙසේ භික්ෂූන් තමන්ගේ පාසිවුරු ආදිය සෝදා පඬුපොවාගැනීම් ආදිය කරන අතර මහාකාශ්‍ය තෙරණුවෝත් සිවුරු ආදිය සේදූහ. භික්ෂූහු දොස් කියන්ට පටන්ගත්හ. මහකසුප්තෙරණුවෝ කුමක් නිසා සිවුරු සෝදත්ද? මේ නුවර ඇතුළත පිටත අටළොස් කෝටියක් මිනිස්සු සිටිති. එයින් යම් කෙනෙක් තෙරුන්ගේ නොනෑයෝ නම් ඔවුහු උපස්ථායක දායකයෝය. යම් කෙනෙක් දායකයෝ නොවෙත් නම් ඔවුහු නෑයෝය. ඒ අය තෙරුන්ට සත්කාරසම්මාන නොකෙරෙත්ද, මෙතරම් උපකාර කරද්දීත් ඒවා අතහැර මුන්වහන්සේ කොහි යන්නාහුද, ඉදින් ගියත් මාපමාද ඔයෙන් එහාට නොයන්නාහුයයි කියාය. ශාස්තෘන්වහන්සේ යම් ඔයක් ළඟට පැමිණ, නැවැත්විය යුතු භික්ෂූන්ට තෙපි මෙහි නවතිව් පමා නොවව්යයි වදාරති. එහෙයින් එතැනට මාපමාදකන්දරයයි කියති. ඒ සඳහාම මෙසේ කියා ඇත.
ශාස්තෘන්වහන්සේ චාරිකාව පටන්ගෙන මෙනුවර ඇතුළත පිටත අටළොස් කෝටියක් මිනිස්සු වාසය කරති. ඒ මිනිසුන්ගේ මඟුල් අවමඟුල් අවස්ථාවල ඒ සඳහා භික්ෂූන් යායුතුය. විහාරය හිස් කරන්ටත් බැරිය. මිනිසුන්ගේ මඟුල් අවමඟුල් අවස්ථාවලදී භික්‍ෂූන්ගෙන් වැඩද ඇත. කවුරුන් නවතා යන්නෙම්ද? ඉන්පසු මෙසේද සිතූහ. කාශ්‍යපට මෙහි නෑයෝත් දායකයෝත් සිටිති. එහෙයින් උන්වහන්සේ නවතා යන්නෙමියි ඔබේ පිරිසත් සමග නවතින්නැයි කාශ්‍යප හිමියන්ට කීහ. එසේයයි තෙරණුවෝ පිරිසත් සමග නැවතුණාහ. භික්ෂූහු ඇවැත්නි, අප විසින් මේ දැන් කීදෙය තෙපි දැක්කාහුනේද, අප කීලෙසම මහකසුප්තෙරණුවෝ සිවුරු සෝදන්නේ කුමක් නිසාද? උන්වහන්සේ බුදුන් සමග නොයායුතුය යනාදි අප කීදෙය ඉක්මනින්ම සිදුවිය. ශාස්තෘන්වහන්සේ භික්ෂූන්ගේ කතා අසා නැවතී මෙසේකීහ: මහණෙනි, කුමක් කථා කළාහුද? ස්වාමීනි, මහාකාශ්‍යප තෙරුන් ගැන කථා කරන්නෙමුයයි ඔවුහු දන්වා සිටියහ. තමන් කලින්ම කීදෙය එලෙසම සිදුවූ හැටි දැන්වූහ.
මහණෙනි, තෙපි මහකසුප්තෙරණුවන් කුලයෙහි හා ප්‍රත්‍යයයෙහි ඇළුණු කෙනෙකියි නොකියව්. හෙතෙම මගේ වචනය ඉටු කරන්නෙමියි නැවතුණේය. මෙතෙම පෙරත් සිව්පසයෙහි නොඇළී සඳමෙන්වී කුලයන් වෙත එළඹෙන්ට සමර්ථ වෙම්වායි ප්‍රාර්ථනා කෙළේය. කුලයන්හි හෝ ප්‍රත්‍යයන්හි හෝ ලැගීමක් උන්වහන්සේට නැත. මම චන්ද්‍රෝපම ප්‍රතිපදාවත්, අරියවංස ප්‍රතිපදාවත් කාශ්‍යප ආදීන් නිසාම දේශනා කෙළෙමි.