8. සැරියුත් තෙරණුවන්ගේ පැන විසඳීමේ වස්තුව
අස්සද්ධො ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ සැරියුත්තෙරණුවන් උදෙසා දේශනා කරනලදහ.
දිනක් ආරණ්යක භික්ෂූන් තිස්නමක් පමණ බුදුන් සමීපයෙහි පැමිණ වැඳ එක්පසෙක වැඩහුන්හ. බුදුරජාණන්වහන්සේ ඒ භික්ෂූන්ට සිව්පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණමේ හේතුසම්පත් ඇතිබව දැන, සැරියුත්තෙරුන් අමතා, ශාරීපුත්රයෙනි, සද්ධින්ද්රිය භාවිතකිරීමෙන් එය නිරන්තරව ප්රගුණකිරීමෙන් නිවනට බැස ගැනීමට නිවනින් කෙළවරවීමට පුළුවන්බව ඔබ පිළිගන්නෙහිදැයි ඇසූහ. මෙසේ පංචේන්ද්රියයන් පිළිබඳවම ප්රශ්න කළසේක.
තෙරණුවෝ මෙසේ පිළිතුරු දුන්හ. ස්වාමීනි, මෙහිදී මම භාග්යවතුන් කෙරෙහි ශ්රද්ධාවෙන් සද්ධින්ද්රියාදිය භාවිතයෙන් වැඩීම නිවන් අවසන් කොට ඇත්තේයයි නොගනිමි. ස්වාමීනි, යම් කෙනෙකුන්ට එය ප්රඥාවෙන් දැනගනු නොහැකි වෙයිද, නොදුටු විරූවක් හෝ නොදන්නා ලද්දක් ප්රත්යක්ෂ නොවූවක්, ස්පර්ශ නොකරන ලද්දක් වෙයිද, එවිට ඔවුහු අනුන්ගේ ශ්රද්ධාවකට ඇදී යන්නාහුයයි මේ ආකාරයෙන් ඒ ප්රශ්නය විසඳාලූහ.
ඒ අසා සිටි භික්ෂූහු, සැරියුත් තෙරණුවෝ මිථ්යාවශයෙන් යම් යම් දේ ගැනීම විසඳුවේ නැත. අදත් සම්මාසම්බුදුන් නොඅදහතියි කථාවක් ඉපදවූහ. ඒ ඇසූ භාග්යවතුන්වහන්සේ, මේ කුමක් කියව්ද, තොප කියන්නේ, සැරියුත්තෙරණුවන්, තමන් ගැන සිතමින් තමන් පංචේන්ද්රිය නොවඩා, සමථ විපස්සනා නොවඩා මාර්ගඵල සාක්ෂාත් කිරීමට සමර්ථයන් ඇතැයි යන අදහස දරන්නකු සේදැයි වදාළහ. දෙනලද දෙයෙහි කරනලද කර්මයෙහි පලවිපාක නොඅදහන්නා බුද්ධාදීන්ගේ ගුණද නොඅදහයි. මේ තෙරණුවෝ වනාහි තමන් ප්රතිවේධ කළ දහම්හිද ධ්යාන විපස්සනා මාර්ගඵල ධර්මයන් කෙරෙහිද අනුන් කෙරෙහි ශ්රද්ධාවක්ද නොපිළිගනිති. එහෙයින් එහි වරදක් නැතැයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ.
අනුන් බස් නොඅදහන
නිවන් දහමම පසක්කළ
සසර බැමි සිඳ බිඳහළ
සිව්මගින් කම් නැවතූ
ඔහුම උතුම් පුරුෂයෙකු වේ
නිවන් දහමම පසක්කළ
සසර බැමි සිඳ බිඳහළ
සිව්මගින් කම් නැවතූ
ඔහුම උතුම් පුරුෂයෙකු වේ
එහි තමන් ප්රතිවේධකළ ගුණ අනුන්ගේ කියමන් අනුව ලැබුණේයයි නොඅදහයි යන අරුතින් අස්සද්ධො නම් වේ. නොකළ නිවන දනී යන අරුතින් අකතඤ්ඤු නම් වේ. තමන් සාක්ෂාත් කළ නිවන් ඇත යන අරුත්ය. සසර පැවැත්ම නම් සන්ධිය නසා සිටියි යන අරුතින් සන්ධිච්ඡෙද නම් වේ. කුශලාකුශලකර්ම බීජ නැසූ හෙයින් ඉපදීමේ ඉඩ මොහු විසින් නසා දමන ලදි යන අරුතින් හතාවකාසො නමි. සිව්මගින් කළයුතු දේ කළ හෙයින්ද, ආශා සියල්ල වමාරා දැමූ හෙයින්ද වන්තාසො නමි. සො මෙබඳු පුද්ගලයා අවබෝධ කළ ලොව්තුරා දහම් ඇති බැවින් උතුම් බවට පත් පුරුෂෝත්තමයෙකි.
ගාථාවසානයෙහි තිහක් පමණ වූ ආරණ්යක භික්ෂූහු පිළිසිඹියාපත් රහතන් බවට පත්වූහ. සෙසු ජනයාටද ධර්මදේශනාව සාර්ථක විය.
අටවන සැරියුත් තෙරණුවන්ගේ පැන විසඳීමේ වස්තුවයි.
9. ඛදිරවනිය රේවතතෙරුන්ගේ වස්තුව
ගාමෙ වා ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වැඩවසන කාලයෙහි ඛදිරවනිය රේවතහිමියන් අරභයා දේශනා කරන ලදි.
ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝ අසූහත් කෝටියක ධනය හැරදමා පැවිදිව, චාලා උපචාලා සිසූපචාලා යන නැගණියන් තිදෙනාද, මන්ද්ර, උපසේන යන සොහොයුරන් දෙදෙනාද පැවිදිකළහ. රේවතකුමරු පමණක් ගෙදර ඉතුරු විය. ඉන්පසු ඔහුගේ මව, මාගේ පුතා උපතිස්ස සහෝදරියන් තිදෙනාද සොහොයුරන් දෙදෙනාද සමග පැවිදිවිය. රේවත පමණක් ඉතිරිවිය. යම් හෙයකින් මොහුත් පැවිදි කළහොත් අපේ මේසා මහත් ධනය විනාශවන්නේය. කුලවංශයත් නැසෙන්නේය. ළමා වියේදීම මොහු ගෘහබන්ධනයට ඇතුළත් කරන්නෙමියි සිතුවාය.
සැරියුත්තෙරණුවෝද පළමු කොටම භික්ෂූන්වහන්සේලාට මෙසේ නියෝගයක් කළහ. ඇවැත්නි, යම් වේලාවක රේවත මහණවීමේ කැමැත්තෙන් මෙහි ආවොත්, ඒ ආගමන්ම ඔහු පැවිදිකරව්. මගේ මවුපියෝ මිසදිටුවෝය. ඔවුන්ගෙන් ඇසීමේ තේරුමක් නැත. මමම රේවතගේ මවුපියෝය. රේවත කුමරුගේ මවද ඔහු සත්හැවිරිදි කාලයේම ගෘහබන්ධනයෙන් බැඳලනු සඳහා සමාන ජාතික පවුලක දැරියක් සමග සරණ බන්ධනයට කථා කොට දිනද නියම කරගෙන කුමරා ආභරණ පළඳවා සරසා මහත්වූ පිරිවර සහිතව කුමරියගේ නෑගෙදරට කැඳවාගෙන ගියාය.
ඉන්පසු ඔවුන්ගේ මංගල කටයුතු අවසන දෙදෙනාගේම නෑයන් එක්වී ජලය පිරූ රන්තලියෙහි දෙදෙනාගේම අත් බහා මගුල්පාඨ කියා කුමරියගේ දියුණුව බලාපොරොත්තු නෑයෝ ඇගේ මිත්තණිය පෙන්වා මේ බලන්න. ඔබේ මිත්තණිය කෙතෙක් දිගු කලක් ජීවත්ව සිටින්නීද, එමෙන් දුවණිය ඔබත් බොහෝ කල් ජීවත් වන්නැයි කීවාහුය. රේවතකුමරු මාගේ මිත්තණියගේ මෙලොව සැප කුමක්දැයි විමසා බල්නනෙමියි සිතා මගේ මිත්තණිය කවරියකදැයි ඇසුවේය. අනතුරුව නෑයෝ මෙසේ ඇසූහ. දරුව ඔබ ඈ නොදුටුවෙහිද? ඒ එක්සිය විසිහවුරුදු සපිරි, දත් හැළුණු, කෙස් පැසුණු, සම වැරහැලි ගැසුණු, මුළු සිරුර තලකැරලියෙන් ගැවසීගත් ගොණැස්සක් මෙන් වකගැසුණු තැනැත්තී මැගේ මුත්තණයෝයයි කීවෝය. කිම මෑත් එබඳු තත්ත්වයට පත්වන්නීද? ඉදින් එතෙක් ජීවත් වුවහොත් ඒ තත්ත්වයට පැමිණෙයි. කුමරා, මෙතරම් ලක්ෂණ සිරුරක් පසුව මෙසේ විප්රකාරයට පැමිණෙන්නේය. මගේ සහෝදර උපතිස්ස මේ කරුණ හොඳින් වටහා ගත්තේය. අදම පැනගොස් පැවිදිවීම වටනේයයි සිතීය. ඉන්පසු ඔහුගේ නෑයෝ ඒ දෙදෙනා එකම යානයක නංවා රැගෙන ගියාහුය.