5. උදායි තෙරුන්ගේ වස්තුව
යාචජීවම්පි චෙ බාලො ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වසනකාලයෙහි උදායි තෙරුන් අරභයා දෙසූ සේක.
ඒ තෙරනම මහාස්ථවිරයන්වහන්සේලා දම්සභා මණ්ඩපයෙන් ආපසු ගියකල ධර්මාසනයෙහි හිඳියි. දිනක් ආගන්තුක භික්ෂූහු මෙය දැක, මේ බහුශ්රැත මහතෙරනමකියි සිතා ස්කන්ධ පිළිබඳ ප්රශ්න අසා කිසිවක් නොදන්නාබව දැන මේ කවුද, බුදුන් සමග එකම විහාරයෙහි වසමින් ස්කන්ධ ධාතු ආයතන මාත්රයකුත් නොදනිතියි දොස්පරොස් කියා බුදුරදුන්ටත් ඒබව දන්වා සිටියහ. ශාස්තෘන්වහන්සේ ඒ භික්ෂූන්ට දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
දිවි ඇති තෙක් බාලයා නුවණැතියෙකු ළඟ සිටියත්
දහම දැන නොගනී හැන්ද රස නොදන්නා සේ
දහම දැන නොගනී හැන්ද රස නොදන්නා සේ
එහි අර්ථය බාලො බාල නම් වූ මොහු යාවජීවම්පි පණ්ඩිතං දිවි ඇතිතාක් පණ්ඩිතයෙකු ළඟට පැමිණ ආශ්රය කළත් මෙය බුද්ධ වචනයයි. බුදුදහම මෙපමණය, මෙසේ ත්රිපිටක දහම හෝ මෙය සමාචාරය, මෙය විහරණය මෙය ආචාරය මෙය ගෝචරය මෙය වැරදි සහිතය, මෙය නිවැරදිය මෙය සේවනය කටයුතුය. මෙය සේනය නොකටයුතුය. මෙය අවබෝධ කළයුතුය. මෙය සාක්ෂාත් කළයුතුය. මෙසේ ප්රතිපත්ති ප්රතිවෙධ ධර්මය නොදනී. කුමක් මෙන්ද? දබ්බී සූපරසං යථා යම්සේ හැන්ද ගෙවෙනතුරුම නානාප්රකාර සූප ව්යාංජනාදියෙහි පෙරළෙන නමුත් මෙය ලුණුරසය මෙහි ලුණු නැත. මෙය තිත්තය, සැරය, කටුකය, ඇඹුල්ය, ඇඹුල් නැත, කහටය ආදි සූපරස නොදනී. මේ ආකාරයෙන් අන්ධබාල නුවණ නැති පුද්ගලයා දිවිහිමියෙන් පණ්ඩිතයෙකු ඇසුරුකළත් ඉහත සඳහන් පරිදි ධර්ම නොදනී.
දේශනා කෙළවර ආගන්තුක භික්ෂූන්ගේ සිත් කෙළෙස්වලින් මිදුණේය.
පස්වන උදායි තෙරුන්ගේ වස්තුවයි.
6. තිහක් පමණ පාඨෙය්යක භික්ෂූන්ගේ වස්තුව
මුහුත්තමපි චෙ විඤ්ඤූ ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයෙහි තිහක් පමණවූ පාථෙය්යක භික්ෂූන් අරභයා දේශනාකළ සේක.
ස්ත්රියක් සොයමින් ඇවිදින ඔවුන්ට කප්පාසික වනලැහැබෙහිදී ප්රථමයෙන් දහම් දෙසූසේක. එදින ඒ සියල්ලෝම ඒහිභික්ෂු භාවයෙන් පැවිදිව සෘද්ධිමය පාත්ර සිවුරු දරා තෙලෙස් ධුතාංග සමාදන්ව සිටිනඅතර, නැවත බොහෝ කලකින් බුදුන්වෙත පැමිණ අනමතග්ග සූත්රදේශනාව අසා ඒ ආසනයෙහිම රහත්බවට පැමිණියාහුය.
භික්ෂූහු අහෝ පුදුමයි, මේ භික්ෂූහු ඉතා ඉක්මනින්ම දහම දැනගත්තාහුයයි දම්සභා මණ්ඩපයෙහි කථාවක් ඇතිකළහ. බුදුරජාණන්වහන්සේ ඒ කථාව අසා, මහණෙනි දැන් පමණක් නොවෙයි. පෙරත් මේ තිහක් පමණ යහළුවෝ ධූර්තයන්ව සිට තුණ්ඩිල ජාතකයෙහි මහාතුණ්ඩිලගේ බණ අසාත් වහාම ධර්මය දැනගෙන පන්සිල් සමාදන් වූහ. ඒ හේතු සම්පත් බලයෙන් මෙකල සිටිඅසුනෙහිදීම රහත්බවට පැමිණියාහුදැයි වදාරා දහම් දෙසමින් මේ ගාථාවද වදාළසේක.
මොහොතක් හෝ නුවණැත්තා පණ්ඩිතයෙකු ඇසුරු කළොත් වහා දහම ඉගෙනගනී දිව රස දැනගන්නාසේ
එහි අර්ථය - විඤ්ඤූ යනු පණ්ඩිත පුරුෂයායි. මුහුත්තමපි චෙ යනු තවත් කෙනෙකි. පණ්ඩිතං පයිරුපාසති ඔහු ඒ පඬිවරයා සමීපයෙහි ඉගෙනගනිමින් සාකච්ඡාකරමින් ඛිප්පමෙව වහාම පර්යාප්ති ධර්මය විජානාති දැනගනියි. ඉන්පසු කර්මස්ථාන කියවාගෙන ප්රතිපත්ති පුරමින් වෑයම්කරමින්, යම්සේ නොනැසුණු ජිව්හප්රසාදය ඇති පුද්ගලයෙක් රසදැන ගැනීම සඳහා දිවඅග තබාගනිමින්ම ලුණු බහුලබව ආදී භේදවූ රසය දැනගනීද, මෙසේ පණ්ඩිතතෙම වහාම ලෝකෝත්තර ධර්මයද දැනගනී.