6. තිහක් පමණ පාඨෙය්‍යක භික්ෂූන්ගේ වස්තුව
මුහුත්තමපි චෙ විඤ්ඤූ ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ දෙව්රම වාසයකරන කාලයෙහි තිහක් පමණවූ පාථෙය්‍යක භික්ෂූන් අරභයා දේශනාකළ සේක.
ස්ත්‍රියක් සොයමින් ඇවිදින ඔවුන්ට කප්පාසික වනලැහැබෙහිදී ප්‍රථමයෙන් දහම් දෙසූසේක. එදින ඒ සියල්ලෝම ඒහිභික්ෂු භාවයෙන් පැවිදිව සෘද්ධිමය පාත්‍ර සිවුරු දරා තෙලෙස් ධුතාංග සමාදන්ව සිටිනඅතර, නැවත බොහෝ කලකින් බුදුන්වෙත පැමිණ අනමතග්ග සූත්‍රදේශනාව අසා ඒ ආසනයෙහිම රහත්බවට පැමිණියාහුය.
භික්ෂූහු අහෝ පුදුමයි, මේ භික්ෂූහු ඉතා ඉක්මනින්ම දහම දැනගත්තාහුයයි දම්සභා මණ්ඩපයෙහි කථාවක් ඇතිකළහ. බුදුරජාණන්වහන්සේ ඒ කථාව අසා, මහණෙනි දැන් පමණක් නොවෙයි. පෙරත් මේ තිහක් පමණ යහළුවෝ ධූර්තයන්ව සිට තුණ්ඩිල ජාතකයෙහි මහාතුණ්ඩිලගේ බණ අසාත් වහාම ධර්මය දැනගෙන පන්සිල් සමාදන් වූහ. ඒ හේතු සම්පත් බලයෙන් මෙකල සිටිඅසුනෙහිදීම රහත්බවට පැමිණියාහුදැයි වදාරා දහම් දෙසමින් මේ ගාථාවද වදාළසේක.
මොහොතක් හෝ නුවණැත්තා පණ්ඩිතයෙකු ඇසුරු කළොත් වහා දහම ඉගෙනගනී දිව රස දැනගන්නාසේ
එහි අර්ථය - විඤ්ඤූ යනු පණ්ඩිත පුරුෂයායි. මුහුත්තමපි චෙ යනු තවත් කෙනෙකි. පණ්ඩිතං පයිරුපාසති ඔහු ඒ පඬිවරයා සමීපයෙහි ඉගෙනගනිමින් සාකච්ඡාකරමින් ඛිප්පමෙව වහාම පර්යාප්ති ධර්මය විජානාති දැනගනියි. ඉන්පසු කර්මස්ථාන කියවාගෙන ප්‍රතිපත්ති පුරමින් වෑයම්කරමින්, යම්සේ නොනැසුණු ජිව්හප්‍රසාදය ඇති පුද්ගලයෙක් රසදැන ගැනීම සඳහා දිවඅග තබාගනිමින්ම ලුණු බහුලබව ආදී භේදවූ රසය දැනගනීද, මෙසේ පණ්ඩිතතෙම වහාම ලෝකෝත්තර ධර්මයද දැනගනී.
දේශනාවසානයෙහි බොහෝ භික්ෂූහු රහත් බවට පැමිණියාහුය.
සයවන තිහක් පමණ පාඨෙය්‍යක භික්ෂූන්ගේ වස්තුවයි.
7. සුප්පබුද්ධකුෂ්ටියාගේ වස්තුව
චරන්ති බාලා දුම්මෙධා යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවන විහාරයෙහි වාසයකරන කාලයෙහි සුප්පබුද්ධකුට්ඨි නමැත්තා අරභයා දේශනා කළසේක. සුප්පබුද්ධ වස්තුව උදාන පාළියෙහි එන කථාවමය.
මේ කියන දිනයෙහි පිරිස් කෙළවර සිට බුදුන්ගේ බණ අසා සෝවාන් ඵලයට පැමිණ තමන් ලැබූ ඒ උසස් ගුණය බුදුන්ට දන්වනු කැමතිව පිරිස මැදින් රිංගා යනු නොහැකිව මහාජනයා බුදුන් වැඳ පසුගමන්කොට නැවතුණුපසු විහාරයට ගියේය. එකෙණෙහි ශක්‍රදිව්‍යරාජයා මේ සුප්‍රබුද්ධකුෂ්ටියා තමා බුදුසසුන්හි ලැබූ ගුණ ප්‍රකටකරනු කැමැත්තේයයි දැන ඔහු විමසාබලන්නෙමියි ගොස් අහසෙයි සිටම මෙසේ කීය. සුප්‍රබුද්ධය, ඔබ මිනිස් දිළින්දෙකි, මිනිස් දීනයෙකි. මම ඔබට අප්‍රමාණ ධනය දෙන්නෙමි. ඔබ, බුදුන් බුද්ධ නොවෙයි. ධර්මය ධර්මය නොවෙයි. සංඝයා සංඝයා නොවෙයි. මට බුදුන්ගෙන් වැඩක් නැත. මට ධර්මයෙන් වැඩක් නැත. මට සංඝයාගෙන් වැඩක් නැතැයි කියවයි කීය. ඉන්පසු ශක්‍රයාට සුප්‍රබුද්ධ මෙසේ කීවේය.
ඔබ කවුද? මම ශක්‍රයා වෙමි. අන්ධබාල, විලිලජ්ජානැති තෝ මා සමග කථා කිරීමට පවා නොහොබින්නෙකි. තෝ මා දුගියෙකි, දිළින්දෙකි ආදිය කියයි. එහෙත් මා එසේ නොවෙයි. මම මහත් ධනසැපතට පැමිණියෙක්මි. මම දුගියෙක් හෝ දිළින්දෙක් නොවෙමියි කියා,
සැදැහැ ධන සීලධන හිරිඔතප් නමැති ධන
සුත ධනද ත්‍යාග ධන පැණ යනුවෙන්ය සත්දන
යම් ගැහැණියකට හෝ පිරිමියෙකුට මෙධන ඇත්නම්
නොසිස් දිවිඇති ඔහු දිළිඳෙකු නොවේ කිසිවිට
මට මේ සප්තවිධ ආර්යධන ඇත. මේ ධන ඇත්තෙකු බුදුවරු පසේබුදුවරු දිළින්දෙකැයි නොකියති. ශක්‍රයා ඔහුගේ කථාව අසා ඔහු අතරමග හැරදමා බුදුන් හමුවට ගොස් ඒ සියලු වචන හා ප්‍රතිවචන දන්වා සිටියේය. ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ, ශක්‍රය එබඳු සියගණනින් දහස්ගණනින් හෝ සුප්‍රබුද්ධකුෂ්ටි ලවා බුදුන් බුදුන් නොවේ දහම දහම නොවේ සංඝයා සංඝයා නොවේයයි කියවන්නට නොහැක්කේමය. සුප්‍රබුද්ධකුෂ්ටිද බුදුන් හමුවට ගොස් ශාස්තෘන්වහන්සේ සමග පිළිසඳර කථාකොට සතුටුවෙමින් තමන්ලැබූ ගුණ දන්වා අසුනින් නැගිට ගියේය. ඔහු එතනින් පිටත්වී ටිකවේලාවකින් අලුත වැදූ දෙනක් පැමිණ ඇන ඔහුගේ දිවි තොර කළාය.