5. බාල වර්ගය
1. කුමුදු උපුල් ගෙනා දුප්පත් සේවකයාගේ වස්තුව
දීඝා ජාගරතො රත්ති ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි පසේනදි කොසොල් රජුද, තවත් පුරුෂයෙකුද අරභයා දේශනා කරනලදි.
සැණකෙළිදිනක පසේනදි කොසොල් රජු, අබරණින් සැරසූ මුළුමනින්ම සුදුපාටවූ පුණ්ඩරීක නම් ඇතා පිට නැගී මහත්වූ රාජානුභාවයෙන් නගරය ප්‍රදක්ෂිණා කරයි. මාර්ග අවහිරකම් ඉවත්කිරීම සඳහා කැට දඬුමුගුරුවලින් තළා පලවා හරින මහාජනයා එසේ පැන යද්දීත් බෙල්ල හරවා රජුන් දෙස බලති. මෙසේ ඒ රජුන් යහපත් ලෙස දන්දීම, සිල්රැකීම, යහපත් කාර්යයන්කිරීම ආදියේ ඵල භුක්තිවින්දේය. මෙසේ රජු යන අතර එක්තරා දුප්පත් එකෙකුගේ බිරිඳක් සත්බුමුපහයක ඉහළම මාලයේ සිට එක් වාකවුලුවක් හැර රජු දෙස බලා වහාම ඉවත්වූවාය. රජු එය දුටුවේ පිරුණුසඳ වළාගැබක සැඟවී ගියාක් මෙනි. රජු ඒදෙස බලා ඈ කෙරෙහි බැඳුණු සිතින් ඇතු පිටින්වැටෙන්නාක් මෙන්වී වහා නගර ප්‍රදක්ෂිණාවකොට ඇතුළු පුරයට ගොස් එක් විශ්වාස ඇමතියෙකු අමතා, අසවල් තැන මා බලාසිටි ප්‍රාසාදය දුටුවෙහිද? එසේය දේවයන්වහන්ස. එහි සිටි එක් ස්ත්‍රියක් දුටුවෙහිද? දැක්කෙමි දේවයන්වහන්ස, ඔබ එහි යන්න. ගොස් ඈ ස්වාමියෙකු ඇත්තියකද නැද්දැයි දැනගෙන එවයි කීවේය.
ඔහු එහි ගොස් ඈ සස්වාමික බව දැන අවුත් ඈ සැමියෙකු ඇත්තියකියි රජුන්ට දන්වා සිටියේය. ඉන්පසු රජු එසේනම් ඇගේ සැමියා මෙහි කැඳවන්නැයි කීකල්හි ඇමතියා ඒ පුරුෂයා වෙත ගොස් පින්වත, රජු ඔබ කැඳවන්නෙහියයි දැන්වීය. හෙතෙම මේ මගේ භාර්යාව නිසා හටගත් බියජනක දෙයක් වියයුතුයි සිතා රජඅණ ප්‍රතික්ෂේප කළ නොහැකිව ගොස් රජුන් වැඳ සිටියේය. ඉන්පසු රජු ඔබ මාළඟ සේවය කරවයි කීවේය. දේවයන්වහන්ස, මට සේවය අවශ්‍ය නැත. මම මගේ පුරුදු වැඩ කර ඔබවහන්සේට අයබදු ගෙවන්නෙමි. එයම මගේ ජීවිකාව වීම මැනවයි කීය. තාගේ අයබද්දෙන් මට වැඩක් නැත, අද පටන් මාළඟ සේවය කරවයි කියා පලිහක් සහ ආවුධද දුන්නේය. එසේ කරන ලද්දේ ඔහු වෙත කිසියම් වරදක් පටවා මරාදමා ඔහුගේ භාර්යාව තමන් සතුකර ගන්නෙමි යන අදහසිනි. ඉන්පසු ඒ පුරුෂයා මරණබියෙන් බියපත්ව අප්‍රමාදව රජුට සේවය කෙළේය.
රජුන්ට ඔහුගේ වරදක් දැකගත නොහැකිවුවත් රජුතුළ කාමදැවිල්ල වැඩීගිය හෙයින් මොහුට යම් දොසක් ආරෝපණය කොට රජ අණින් මරා දමමියි සිතා ඔහු තමා ළඟට කැඳවා එම්බල මෙහි සිට යොදුන් සියයක් ගිය ගැන නදියක් ඇත. එතැන් සිට අසවල් තැනට ගොස් සවස මා නාන වේලාවට කුමුදු හා උපුල් මල්ද රන්වන් මැටිද රැගෙන එව. ඉතින් ඒ වේලාවට නාවොත් තා මරාදමන ලෙස අණකරමියි කීවේය.
ඒ සේවකයා, දාසයන් සිව්දෙනා අතර කීකරු ලෙස ක්‍රියාකරන්නෙකි. මිලයට ගත් දාසාදීහු මගේ හිස රුදා දෙයි, මගේ පිට රිදෙයි කියා සේවයට නොඅවුත් සිටින්ට හැකිය. ඔහුට එසේනොවීය. එහෙයින් මා අවශ්‍යයෙන්ම යායුතුය. කුමුදු උපුල් හා අරුණුවන් මැටි නම් නාගලෝකයෙහි උපදියි. මම ඒවා කොහෙන් ලබන්නෙම්දැයි සිතමින් මරණබියෙන් බියපත්ව, ගෙදර ගොස් සොඳුර මට බත් සූදානම්දැයි ඇසීය. ස්වාමීනි, බත් තවමත් ලිප උඩය. හෙතෙම බත් ළිපෙන් බානතුරු සිටිය නොහැකිව සැන්දෙන් කැඳ ඉවත් කොට ලැබුණු ව්‍යංජනත් සමග තෙතබරි බත් මල්ලක දමා රැගෙන යොදුනක් මග ගෙවා ගියෙය්. ඔහු යනඅතර බතද ඉදීගියේය. ඔහු ඉඳුල් කිරීමට පෙර බත්ටිකක් වෙන්කරගෙන කනඅතර එක් මගියෙක් දැක මා ඉඳුල් නොකර වෙන්කර තැබූ බත් ඇත. එය රැගෙන අනුභව කරන්නැයි කීවේය. මගියා එය රැගෙන කෑවේය. අනිත් තැනැත්තා බත් කා එක් බත් මිටක් ජලයෙහි දමා කට සෝදාගෙන, මහත් හඬින් මේ නදී ප්‍රදේශයෙහි අධිගෘහිත නාග සුපර්ණ දේවතාවෝ මගේ වචනය අසත්වා, රජු මට දඬුවම් දෙනු පිණිස කුමුදු උපුල් මල් හා අරණුවන් මැටි ගෙනඑවයි නියෝග කෙළේය. මගියෙකුටත් මම බත් දුනිමි. එය දහසක් ආනිසංසය. ජලයෙහි මාලුන්ටත් බත්දුනිමි. එය සීයක් ආනිසංසය. මෙතෙක් මා ලැබූ පින් තොපට පවරා දෙමි. මට කුමුදුඋපුල් මල් සමග අරුණුවන් මැටි ගෙනවුත් දෙන්නැයි තුන්වරක් ඉල්ලා සිටියේය. එහි අධිගෘහිත නාරජ තෙමේ ඒ ශබ්දය අසා මහලු වෙසක්ගෙන ඔහු ළඟට ගොස් කුමක් කියන්නෙහිදැයි ඇසීය. හෙතෙම නැවත නැවතත් එයම කියා මට ඒ පින් දෙවයි කීකල දෙන්නෙමියි කීවේය. මෙසේ ඔහු දෙතුන්වරක් පින් ලබාගෙන කුමුදු උපුල්මල් සමග අරුණුවන් මැටි ගෙනවුත් දුන්නේය.