14-15. සුධම්ම තෙරුන්ගේ වස්තුව
අසතං භාවනමිච්ඡෙය්‍ය ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වැඩසිටින කාලයේ සුධම්ම තෙරුන් අරභයා දේශනා කළසේක.
දේශනාව මච්ඡිකාසණ්ඩයෙහි පටන්ගෙන සැවැත්නුවරදී අවසන්වූවකි. මච්ඡිකාසණ්ඩ නගරයෙහි චිත්ත නම් ගෘහපතියා පස්වගමහණුන් අතරවූ මහානාම තෙරුන් පිඬුසිඟා යනුදැක උන්වහන්සේගේ ඉරියව් පැවැත්වීම පිළිබඳව පැහැදී පාත්‍රය රැගෙන, ගෙට කැඳවා වළඳවා බත්කිස අවසන්හි දැහැමිකථා අසන්නේ සෝවාන්ඵලයට පැමිණ අචල ශ්‍රද්ධාවතෙක්ව අම්බාටකවන නම්වූ තමන්ගේ උයන සංඝාරාමයක් කරනුකැමතිව තෙරුන් අතපැන් වත්කර පිළිගැන්වීය. එකෙණෙහි බුදුසසුන පිහිටියේයයි ජලය කෙළවරකොට ඇති මහපොළොව කම්පාවී ගියේය. මහසිටුවරයා උයනෙහි මහා විහාරයක්කොට නිමවා සියලු දිසාවලින් පැමිණි භික්ෂූන්ට විවෘතකොට තැබීය. මච්ඡිකාසණ්ඩයෙහි නේවාසික සුධම්ම නම් තෙරකෙනෙක් වූහ.
පසු කලෙක චිත්ත ගෘහපතියාගේ ගුණකථාව අසා අගසවු දෙනම ඔහුට සංග්‍රහ කරනු කැමැත්තෙන් මච්ඡිකාසණ්ඩය බලා වැඩමවූහ. චිත්ත ගෘහපතිතෙම උන්වහන්සේලාගේ ආගමනය ගැන අසා අඩයොදුනක් පෙරගමන්කොට උන්වහන්සේලා පිළිගෙන තමන්ගේ විහාරස්ථානයට වැඩමවා ආගන්තුකවතාවත්කොට, ස්වාමීනි, බණටිකක් අසනු කැමැත්තෙමියි ධර්මසේනාපතීන්වූ සැරියුත් හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.
ඉන්පසු ඔහුට තෙරුන්වහන්සේ, උපාසකතුමනි, ඇත්තෙන්ම අපි ක්ලාන්තගතියෙන් සිටින්නෙමු. එහෙත් බණටිකක් අසන්නැයි ධර්මකථාවක් දෙසූහ. හෙතෙම තෙරුන්ගේ ධර්මකථාව අසනගමන්ම අනාගාමීඵලයෙහි පිහිටියේය. හෙතෙම අගසවු දෙනම වැඳ, ස්වාමීනි, හෙට භික්ෂූන් දහසකුත් සමග මාගේ ගෙදර භික්ෂාව ගනුමැනවයි ආරාධනාකොට, පසුව නේවාසික සුධම්ම තෙරුන්ටද, ස්වාමීනි, ඔබවහන්සේත් තෙරවරුන් සමග වඩිනු මැනවයි ආරාධනා කෙළේය. සුධම්ම තෙරණුවෝ, මෙතෙම මට පසුව ආරාධනා කෙළේයයි කිපී ප්‍රතික්ෂේප කළ විට නැවත නැවතත් ඉල්ලා සිටියේ නමුදු ප්‍රතික්ෂේපම කළහ. උපාසක තෙම එසේ නම් ස්වාමීනි, ඔබවහන්සේම මෙයින් ප්‍රකටවනු ඇතැයි කියා ගොස් දෙවෙනි දවසේ තම නිවසෙහි මහාදානයක් පිළියෙල කෙළේය. සුධම්ම තෙරණුවෝත් මේ ගෘහපතියා අගසව් දෙනමට කෙබඳු අයුරකින් සත්කාර සම්මාන සූදානම්කර ඇද්දැයි හෙට ගොස් බලන්නෙමියි සිතා උදෑසනම පාසිවුරු රැගෙන ඔහුගේ ගෙට ගියෝය.
ගෘහපතියා විසින් ස්වාමීනි වැඩහිඳිනු මැනවැයි කියද්දීම මම හිඳ නොගන්නෙමි, පිඬුසිඟා යන්නෙමියි කියා අගසවුවන් වෙනුවෙන් පිළියෙල කළ සත්කාර දෙස බලා ගෘහපතියා ජාතිය කියාපෑමෙන් ගටවනු සඳහා ගෘහපතිය, ඔබේ සත්කාරය නම් මහ උදාරයි. එහෙත් මෙහි එකක් නම් අඩුයයි කීවාහුය. ස්වාමීනි, ඒ කුමක්ද? ගෘහපතිය තලගුළියයි කියා ගෘහපතියා විසින් කාකෝපමාවෙන් කථාව ප්‍රතික්ෂේප කළ පසු කිපී, ගෘහපතිය මෙන්න ඔබේ ආවාසය, මම යන්නෙමියි කියා තෙවෙනිවර දක්වාත් වැළැක්වූ නමුදු නොනැවතී බුදුන් ළඟට ගොස් චිත්ත ගෘහපතියාත් තමනුත් අතර හුවමාරුවූ වචන දන්වා සිටියේය.
ශාස්තෘන්වහන්සේ, තොප විසින් සැදැහැයෙන් පැහැදුණු උපාසකවරයා, හීන වචන කීමෙන් කලකිරවන ලද්දේ යයි ඔහු වෙතම දෝෂය පවරා පටිසාරණීය නම් විනයකර්මය කරවා, යව ගොස් චිත්ත ගෘහපති ක්ෂමා කරවා ගන්නැයි යැවීය. සුධම්ම ස්ථවිරතෙම ආපසු ගොස්, ගෘහපති අමතා ගෘහපතිය, දෝෂය මගේමයි මට සමාව දෙන්නැයි කීවේ නමුත් නැහැ මා ක්ෂමාව දෙන්නේ නැතැයි කීවිට හැකිළීගොස් ක්ෂමාකරවාගත නොහැකිවිය. නැවතත් බුදුන් සමීපයට පැමිණියේය. බුදුරජාණන්වහන්සේ, මොහුට සමාව නොදෙන්නේයයි දැනදැනත් මානයෙන් තදවී ගිය මොහු තිස්යොදුන් මග ගෙවා ගොස් නැවත ආපසු පැමිණේවායි ක්ෂමා කරවා ගන්නා උපාය නොකියාම පිටත්කර හැරිසේක. ඉන්පසු ඔහු නැවත ආකල නිහතමානවූ ඔහුට දෙවෙනි දූතයකුදු දී යව, මොහුත් සමග ගොස් උපාසකයා ක්ෂමාකරවා ගන්නැයි කියා, ශ්‍රමණයා විසින් මගේ විහාරය, මා නවතින තැන, මගේ දායකයා, මගේ දායිකාව ආදී වශයෙන් සිතා මානය හෝ ඊර්ෂ්‍යාව ආදියද කෙලෙස්ද වැඩෙතියි පූර්වාපරසන්ධි ගළපා දහම් දෙසනසේක් මේ ගාථාද වදාළහ:
මා සිල්වතෙකියි මා සැදැහැතියයි
සියලුදෙනා පිළිගතයුතුයයි
සියලුදෙනා මා පිරිවර කොටගෙන
හැසිරෙත්වයි නිරතුරු පතනා
විහාර පන්සල් හැමතැන් හැමදෙන
හොඳදේ මට දියයුතුයයි සිතමින්
සිටින බාලයා අතුරක් නැතිවම
දුකෙන් දොම්නසින් පෙළීසිටියි
මා මයි හපනා පැවිදි ගිහින් ළඟ
මට ඉහළින් කිසිවකු නොමැතේ
මෙබඳු සිතුම් ඇති මෝඩ බාලයා
දහමින් තපසින් පිරිහී යයි
ඉසි මන් දුර්ගුණ වැඩිවැඩි යෑමෙන්
පිරිහීමේ මරුකකට වැටෙයි
එහි අසතං යනු සම්භාව්‍ය තත්ත්වයක් නැති බාලයායි. ඉච්ඡෙය්‍ය යනු සැදැහැ නැතිව සිටිමින් මා සැදැහැවතෙකියි ජනයා දැනගනිත්වායි බලාපොරොත්තුවෙයි. පාපී කල්පනා ඇති, නිර්දේශපාළියේ කීඅයුරු සැදැහැනැති දුස්සීල, උනන්දුවක් නැති, විවේක සිතක් නැති, කම්මැලි, එළඹසිටිසිහියෙන් තොර, සමාධිගත ඉන්‍ද්‍රියයන් නැති, නුනුවණ, අර්හත් නොවීම රහත්යයි අනිත් අය පිළිගනිත්වායි මෙසේ සම්භාව්‍ය තත්ත්වයක් නැතිව එම තත්ත්වය ප්‍රාර්ථනාකරන බාලඅඥානයායි. පුරෙක්ඛාරං යනු පිරිවරයි. අපොයි සියලු විහාරයන්හි භික්ෂූහු මා පිරිවරා මගෙන් නොයෙක් ප්‍රශ්න විචාරමින් හැසිරෙන්නාහු නම් යෙහෙකි. මෙබඳු පැතුම් ඇතිව පෙරටුව සිටීමයි. භික්ඛුසු භික්ෂූන් කෙරෙහි මෙබඳු කල්පනා ඇතිව සිටියි. ආවාසෙසු යනු සාංඝික ආවාසයන්හි විහාරස්ථාන මැද තිබෙන හොඳහොඳ සැපපහසු ඇති සෙනසුන් වෙයි නම් ඒවා තමන්ගේ දැක පුරුදු, ආශ්‍රයෙන් පුරුදු භික්ෂූන්ට තෙපි මෙහි වසව්යයි පරිත්‍යාගකරමින් තමනුත් එබඳු සෙනසුන් පරිභොගකරමින් සෙසු ආගන්තුකාදි භික්ෂූන්ට අන්තිම වශයෙන් ගලින් බැඳි සේනාසනත් අමනුෂ්‍යයන් අරක්ගත් සෙනසුනුත් දෙමින් තෙපි මෙහි වසව්යයි විමසමින් හැසිරෙමින් ආවාස පිළිබඳ ඉසුරුමත් බවයි. පූජා පරකුලෙසුච යනු මවුපියන්ගෙනුත් නොව නෑදැයන්ගෙනුත් නොව පරකුලයන්ගෙන් ලැබෙනදේ මටම දේනම් මැනවි. අනුන්ටදීම නුසුදුසුයයි සිව්පසය පිළිබඳ පූජා කැමතිවීමයි.