16. වනවාසික තිස්සතෙරුන්ගේ වස්තුව
අඤ්ඤාහි ලාභූපනිසා ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි වනවාසිකතිස්ස තෙරුන් අරභයා දේශනා කළසේක. මෙම දේශනාව රජගහනුවර උපන්නකි.
සැරියුත් තෙරණුවන්ගේ පියාවූ වංගන්ත බමුණාගේ යහළුවූ මහාසේන නම් බමුණෙක් රජගහනුවර වාසයකරයි. සැරියුත් තෙරණුවන් දිනක් පිඬුපිණිස වඩිනගමන් ඔහු කෙරෙහි අනුකම්පා උපදවා ඔහුගේ ගෙදොරට වැඩියාහ. ඔහු සම්පත් ගෙවීගිය දිළින්දෙකි. හෙතෙම මගේ පුතා මගේ ගෙදරට පිඬුපිණිස ආවා වියහැකිය. මම දුප්පතෙක්මි. මගේ දුප්පත්බව නොදන්නවා වියහැකිය. මට දියයුතු දෙයක්ද නැතැයි මුණගැසෙනු නොහැකිව සැඟවුණේය.
තෙරණුවෝ තවත් දිනකද එහි වැඩියෝය. බමුණා එදිනද සැඟවුණේය. කිසිවක් ලබාගෙන දියයුතුයයි සිතුවේ නමුත් නොලැබුණේය. ඉන්පසු දිනක බමුණන් හොමකරන තැනකින් දළරෙදිකඩක්ද, කිරිබත් තලියක්ද ලැබී එය රැගෙන ගෙටගොස් තෙරුන් සිහිකෙළේය. මේ පිණ්ඩපාතය තෙරුන්ට දියහැකිනම් මැනවි කියාය. තෙරණුවෝද එවේලේ ධ්‍යානයට සමවැදී සමවතින් නැගිට ඒ බමුණා දැක, බමුණා දියයුත්තක් ලැබී මගේ පැමිණීම බලාපොරොත්තුවයි. මා එහි යායුතුයය සඟල පෙරවා පාත්‍රයත් රැගෙන ඔහුගේ ගෙදොර සිටගෙනම තමන් දැක්වීය.
තෙරුන් දැකීමෙන්ම බමුණාගේ සිත පැහැදුණේය. ඉන්පසු ඔහු උන්වහන්සේ වෙත එළඹ වැඳ පිළිසඳර කථාකොට ඇතුල්ගෙහි වඩාහිඳුවා කිරිබත් තලිය ගෙන තෙරුන්ගේ පාත්‍රයෙහි බහාලීය. තෙරණුවෝ භාගයක් පිළිගෙන අතින් පාත්‍රය වැසූහ. ඉන්පසු බමුණා උන්වහන්සේ අමතා, ස්වාමීනි, මේ පායාසය එක් කෙනෙකුන්ට පමණක් සෑහෙයි. මට පරලොවින් සංග්‍රහ කරන්න, මෙලොව සංග්‍රහ අවශ්‍ය නැත. ඉතිරි නොකරම දෙනු කැමැත්තෙමියි සියල්ල පාත්‍රයෙහි බහාලීය.
තෙරණුවෝ, එහිම සිට වැළඳූහ. වළඳා අවසන්වූ පසු එම සාටකයත් පූජා කොට වැඳ, ස්වාමීනි, ඔබ දුටු දහම මමත් දකිනු කැමැත්තෙමියි කීය. බ්‍රාහ්මණය, එසේම වේවායි ප්‍රකාශකොට ඔහුට අනුමෝදනා දේශනාදකොට අසුනින් නැගිට පිළිවෙලින් චාරිකාවේ හැසිරෙමින් දෙව්රමට වැඩියෝය. දුප්පත් කාලයේ දුන් දානය අතිශයින් බබළන්නේයයි බමුණාත් ඒ දානය දී ප්‍රසන්නසිත් ඇතිව සොම්නස්ව තෙරුන් වෙත අතිමහත්සේ ස්නේහ ඇතිකර ගත්තේය.
හෙතෙම තෙරුන්වෙත ස්නේහ කරමින්ම කළුරිය කොට සැවැත්නුවර තෙරුන්ට උපස්ථාන කරන පවුලක පිළිසිඳ ගත්තේය. එකෙණෙහිම ඔහුගේ මව ගැබිණියක වූවායයි දැන ස්වාමිපුරුෂයාට ඒබව දැන්වූවාය. හෙතෙම ඈට ගැබ්පෙළහැර දුන්නේය.
ඈට ඉතා ශීතල, අධිකඋෂ්ණ, තද ඇඹුල් ආදිය පරිභෝග කිරීම වළක්වා සැපසේ ගැබ රැකබලාගනිද්දී ‘අනේ සැරියුත් හිමියන් ප්රමුඛ පන්සීයක් භික්ෂූන්ට ආරාධනා කොට ගෙදර වඩා හිඳුවා පැන් නුමුසු ක්ෂීරපායාස පිළිගන්වා තමනුත් කසාවත් හැඳ රන්තැටියක් ගෙන ආසනකෙළවර හිඳගෙන ඒ භික්ෂූන් වළඳා ඉතිරි ඉඳුල් කිරිබත් කෑමට ඇත්නම් ඉතා මැනවයි දොළදුකක් පහළවිය. ඇගේ ඒ කසාවත් හැඳ පෙරවීමේ දොළදුක, කුසේහුන් දරුවා බුදුසසුනේ පැවිදිවනබවට පෙරනිමිත්තක් විය.
ඉන්පසු ඇගේ නෑයෝ අපේ දුවට ධාර්මික දොළදුකක් පහළවීයයි සැරියුත් හිමියන් ප්රමුඛකොට පන්සීයක් භික්ෂූන්ට පැන්නුමුසු ක්ෂීරපායාසය පිළිගැන්වූවාහුය. ඕතොමෝත් එක් කසාවතක් හැඳගෙන එකක් පෙරවා ගෙන රන්තලියක් ගෙන්වාගෙන අසුන්කෙළවර හිඳ ඉඳුල්කළ පායාසය අනුභය කළාය. දොළදුක අවසන් විය. ඇගේ දරුවා ලැබෙනතුරු අතරින්පතර කරනලද මංගල්‍යවලදීද දසමස් ඇවෑමෙන් පුතකු වැදූපසු කළ මංගල්‍යවලදීද සැරියුත් හිමියන් ප්රමුඛ පන්සීයක් භික්ෂූන්ට අල්පජලය යෙදූ මිහිරි පායාස පිළිගන්වනලදි. මේ සියල්ල දරුවා විසින් බ්රාහ්මණකාලයේ දුන් පායාස දානයේ ආනිසංස වෙයි.
ඒ දරුවා උපන් දිනයේම උදෑසනම නාවා සරසා සිරිසයනයෙහි ලක්ෂයක් වටිනා කම්බිලියක් මතුපිට නිදිකරවූහ. හෙතෙම එහි නිදාගෙන සිටිද්දීම තෙරුන් දැක මේ මාගේ පූර්වාචාර්යයන් වහන්සේයි. මම තෙරුන් නිසා මේ සම්පත් ලදිමි. මා විසින් උන්වහන්සේට එක් පරිත්‍යාගයක් කළයුතුයයි ශික්ෂාපදගැන්වීම සඳහා ගෙනයනවිට ඒ කම්බිලිය සුළු ඇඟිල්ලෙහි වෙළා ගෙනගියේය. ඉන්පසු ඔහුගේ ඇඟිල්ලෙහි කම්බිලිය ඇළී ඇතැයි එය ගලවන්ට පටන්ගත්හ. හෙතෙම ඇඬීය. නෑයෝ, ඉවත්වන්න, දරුවා නොහඬවන්නැයි කම්බිලියත් සමග ගෙනගියහ. තෙරුන් වන්දවන වේලාවේ කම්බිලියෙන් ඇඟිල්ල ඉවතට ගෙන කම්බිලිය තෙරුන්ගේ පාමුල හෙළීය. නෑයෝ ළාබාල කුමරා නොදැන කළ දෙයකැයි නොකියා පුතා මෙය ඔබට දෙනලදි. ස්වාමීනි, මෙය පරිත්‍යාගයක් ලෙස වේවායි කියා, ස්වාමීනි, ලක්ෂයක් අගනා කම්බිලියකින් පූජාවක් කළ ඔබගේ දාසයාට සිල්දෙන්නැයි කීවාහුය. මේ දරුවාගේ නම කුමක්ද? ස්වාමීනි ආර්යයන්ගේ නමකට සමාන නමකි. එය තිස්ස නම්වන්නේයි.
තෙරණුවෝ ගිහකල උපතිස්සමානව නම් වූහ. ඔහුගේ මවද මගේ පුතාගේ අදහස වෙනස් නොකළ යුතුයයි සිතුවාය. මෙසේ දරුවාගේ නාමකරණ මංගල්‍යය සිදුකොට නැවත ඔහුට බත්කවන මගුලේදීත් කන්විදින මගුල, රෙදිපිළි හදවන මගුල, කෙස්කැපීම ආදියෙහිද සැරියුත් හිමියන් ප්රමුඛ පන්සීයක් භික්ෂූන්ට පැන්නුමුසු පායාසම පිළිගැන්වූහ.