13. සට්ඨිකුට ප්රේතවස්තුව
යාවදෙව අනත්ථාය ආදි මේ ධර්මදේශනාව බුදුන් දෙව්රම වැඩවාසයකරන කාලයෙහි සට්ඨිකූට නම් ප්රේතයා අරභයා දේශනා කළසේක.
පෙරකී පරිද්දෙන්ම මහමුගලන් තෙරණුවෝ ලක්ඛණ තෙරණුවන් සමග ගිජුකුළු පව්වෙන් බසින විට එක්තරා ප්රදේශයකදී සිනා පහළකළහ. සිනාසීමට කරුණු විචාළකල බුදුන් ළඟදී ඒ ප්රශ්නය මගෙන් අසන්නැයි කියා පිඬු සිඟා බුදුන් ළඟට පැමිණ වැඳ සිටිකල්හි නැවත ප්රශ්නය නැගූවිට මෙසේ කීහ.
ඇවැත්නි මම එක් ප්රේතයෙක් දුටිමි. ඔහුගේ සිරුර තුන්ගවු පමණය. ඔහුගේ හිසට සැටක් පමණ ගිනිගෙන ඇවිළෙන යකුළු දහසක් වැටිවැටී උඩට විසිවෙයි. ඒ හැම වරකම හිස බිඳෙයි. බිඳෙන බිඳෙන තැන යළි පෑහෙයි. මේ ආත්මයේදී මම මෙබඳු ආත්ම භාවයක් දැක නැත. මම එය දැක සිනාසුණෙමියි කීහ. ප්රේතවස්තුවෙහිද :
ගිනිදැල් විහිදුවන
දහසක් පමණ කුළුගෙඩි
තාගේ හිස බිඳිමින්
නිරතුරුවම වැටෙනු ඇත
එයින් බිඳෙනා හිස
යළි යළිත් පෑසී යයි
දහසක් පමණ කුළුගෙඩි
තාගේ හිස බිඳිමින්
නිරතුරුවම වැටෙනු ඇත
එයින් බිඳෙනා හිස
යළි යළිත් පෑසී යයි
ආදිය මේ ප්රේතයා උදෙසාම කියන ලදි. ශාස්තෘන්වහන්සේ තෙරණුවන්ගේ කථාව අසමින්ම මහණෙනි, බෝධිමණ්ඩපයෙහි සිටි මමද මේ සත්ත්වයා දිටිමි. මා එය කීවිට කවුරු හෝ එය නොපිළිගතහොත් එය ඔවුන්ට අහිත පිණිස වියහැකියයි අනුන්ට අනුකම්පාව නිසා නොකීවෙමි. දැන් මුගලන් තෙරුන්ට සාක්ෂිවෙමින් එය කියමියි වදාළහ. ඒ අසා භික්ෂූහු ඔහුගේ පූර්වකර්මය ගැන ඇසූහ. ශාස්තෘන්වහන්සේ ඔවුන්ට ඒ කථාව වදාළහ.
අතීතයෙහි බරණැස අතකුරු ගැසීමෙහි නිපුණත්වයට පැමිණි එක් කොර මිනිහෙක් (පිළෙක්) සිටියේය. හෙතෙම නුවර දොරටුවේ එක් නුගයක් යට හිඳගෙන ගල්කැට විද ඒ ගසේ කොළ සිදුරු කරමින්, ගම්දරුවන් අපට ඇත්රූපයක් අපට අශ්වරූපයක් දක්වන්නැයි කීකල ඔවුන් කැමතිකැමති රූප අතකුරු ගලින් විද කපා පෙන්වා ඔවුන්ගෙන් කෑමබීම ලබයි. පසුව දිනක රජු උයනට යන අතර ඒ ස්ථානයට පැමිණියේය. ගම්දරුවෝ පිළා ගසේ මුල් ඇටුවන් අතරට දමා පලාගියහ. මධ්යාහ්න වේලාවේ එහි පැමිණි රජුට සිදුරුවූ කොළවල ඡායා තම ශරීරයෙහි වැටී ඇතිහැටි පෙනුණේය. රජු මේ කිමෙක්දැයි විමසා පිළාගේයයි අසා ඔහු කැඳවා, මගේ පුරෝහිතයා ඉතා මුඛරිය, වාචාළය. ටිකක් කීකල ඔහු බොහෝ කථාකරමින් මට හිරිහැර කරයි. ඔහු කථාකරනවිට නැළියක් පමණ එළුබෙටි ඔහුගේ කටට විදීමට පුළුවන්දැයි ඇසීය. එසේය දේවයන්වහන්ස, එළුබෙටි ගෙන්වා තබා පුරෝහිතත් සමග ඔබවහන්සේ තිරයකින් එහා සිටිනු මැනවි. කළයුතු ඉතිරිහරිය මම දනිමියි කීවේය.
රජු එසේ කෙළේය. අනික් තැනැත්තේ කතුරකින් තිරයේ සිදුරක් තනා රජුන් සමග කථාකරන පුරෝහිතයා කටඅරින විටම එක් එක් එළුබෙට්ටක් බැගින් විද්දේය. පුරෝහිතයා කට වැටුණ හැම එකක්ම ගිල්ලේය. පීඨසප්පි එළුබෙටි අවසන්වූ පසු තිරය සෙලවීය. රජු ඒකරුණ දැන, ආචාර්යයෙනි, මා ඔබ සමග කථාකරද්දී කථාව නවත්වන්ට අපොහොසත්වීමි. ඔබ අතිශයින්ම මුඛරිව කථා කරද්දීම එළුබෙටි නැලියක් පමණ ගිලෙද්දීත් නිහඬ නොවීය. බමුණා නොසතුටු බවට පැමිණ එතැන්පටන් කටඇර රජුන් සමග කථාකරන්ට මැලිවිය. රජු පීඨසප්පි කැඳවා ඔබ නිසා මට පහසුවක් ලැබුණේයයි සතුටුව ඔහුට සබ්බට්ඨක නම් ධනයක්දී නුවර සිව්දිසාවෙන් ගම්වර සතරක්ද දෙවීය. ඒබව දැනගත් රජුගේ අත්ථධම්මානුශාසක නම් ඇමතියා මේ ගාථාව කීවේය: