3. මාරයාගේ කථා පුවත
“යස්ස පාරං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී මාරයා නිමිති කර ගෙන දේශනා කළහ.
මාරයා එක් දිනක් එක්තරා පුරුෂයෙක් ලෙසට බුදුන් වෙත එළඹ විමසුවේය. ස්වාමීනි - පාරං - පාරං - යනුවෙන් කියනු ලැබේ. මේ පාර - නම් කුමක්ද? බුදුරදුන් මේ මාරයා යයි දැන පව්කාරය - ඔබට එතෙර වීමෙන් කවර ප්රයෝජනයක්ද? එය වීතරාගීන් විසින් ප්රාර්ථනා කළයුතු දෙයකි.
එගොඩ මෙගොඩ ද දෙගොඩ නැතිකොට
කෙලෙස් ගිනිදැල් නිවා අළු කොට
කෙලෙස් බැමෙන් මිදුනු දනහට
බමුණු යන නම ලැබෙයි වහරට
කෙලෙස් ගිනිදැල් නිවා අළු කොට
කෙලෙස් බැමෙන් මිදුනු දනහට
බමුණු යන නම ලැබෙයි වහරට
යමෙකුට එතර ද මෙතරද - මෙතෙරද - එතෙරද නැත්තේද. පහසු කෙලෙස් විඩා ඇති, සියළු කෙළෙසුන්ගෙන් මිදුණු ඒ රහතන් වහන්සේට මම බ්රාහ්මණයයි කියමි.
එහි පාරං යනු ආධ්යාත්මික ආයතන සයයි. (ඇස- කන - දිව - නහය - කය - සිත) අපාරජං යනු බාහිර ආයතන සයයි. (රූප - ශබ්ද - රස - ගන්ධ - ස්පර්ශ - ධම්ම) පාරා පාරං මේවා නිසා ඇතිවන බියයි, න වීජ්ජති යනු යම් කෙනෙකුට මේ සියල්ල පිළිබඳව මමය මගේය යන ග්රහණය නැතිවීම, සංකිලේසයන්ගෙන් වෙන්වීම. වීතදදරං. සියලු ක්ලේශයන්ගෙන් වෙන්වීම විසංයුත්තං තං අහං බ්රාහමණං වදාමි. ඔහු බ්රාහ්මණයෙකැයි මම කියමි යන අර්ථයි.
දේශනාවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණියාහු
4. එක්තරා බ්රාහ්මණයකුගේ කථා පුවත
“ඣායි” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියදී එක්තරා බ්රාහ්මණයෙකු නිමිති කරගෙන දේශනා කළහ.
මෙම බ්රාහ්මණයා මෙලෙස සිතුවේය. තථාගතයන් වහන්සේ තමන්ගේ ශ්රාවකයින්ට බ්රාහ්මණ නමින් පවසයි. මම ද ජාති ගෝත්රයෙන් බ්රාහ්මණයෙකි. එනිසා මටද එසේ ඇමතීම සුදුසුය. ඔහු බුදුන්වෙත එළඹ මේ කරුණ විමසුවේය. මම ජාති ගෝත්ර මාත්රයෙන් බ්රාහ්මණ යයි නො කියමි. උතුම් වූ අර්හත්වයට පත්වූ නිසාම මම මෙලෙස කියමියි පැවසු ශාස්තෲන් වහන්සේ මෙම ගාථාව වදාළහ.
ඇලී දැහැනෙහි කෙලෙස් නැතිකොට
කරන කටයුතු දුකින් මිදුම ට
පැමිණි අයහට රහත් පලයට
බමුණු යයි මම කියමි තිරකොට
කරන කටයුතු දුකින් මිදුම ට
පැමිණි අයහට රහත් පලයට
බමුණු යයි මම කියමි තිරකොට
ධ්යාන වඩන, රාගාදි රජස් නැති, වනයේ එකලාව වාසකරන කතකිච්චං මගින් කරන ලද කටයුතු ඇති, ආශ්රම නැත්තාවු උතුම් අර්හත්වයට පත්වු තැනැත්තා බ්රාහ්මණ නම්
එහි ඣායි කසිණ වැඩීමෙන් ද ත්රිලක්ෂණ භාවනා වැඩීමෙන් ද ධ්යානයන්ට පැමිණි, කාම රජස්වලින් වෙන්ව විරජං මාසීනං වනයෙහි හුදෙකලාව විසීම, කතකිච්චං සිවිමගින් සොළොස් කෘත්යයන් පුරා ඇතිබව. අනාසවනං ආසවයගෙන් දුරුවීම, උත්තමත්ථං අර්හත්භාවයට අනුපත්තං අහං බ්රාහමණං පැමිණි තැනැත්තාම බ්රාහ්මණයයි කියමි.
දේශනාවසානයේ ඒ බ්රාහ්මණයා සෝවාන් ඵලයෙහි පිහිටියේය. පැමිණි සිටි පිරිසට ද දේශනාව සාර්ථක වුයේය.
5. ආනන්ද තෙරුන් පිළිබඳ කථා පුවත
“දිවා තපති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ මාතු ප්රාසාදයේ වැඩ සිටියදී ආනන්ද තෙරුන්ට දේශනා කළහ.
පසේ නදී කොසොල් රජු වස් පවාරණය කරන දිනයේදි සියළු අබරණවලින් සැරසී සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගියේය. එකෙනෙහි කාළුදායි තෙරුන් ධ්යානයට සම වැදී පිරිස කෙළවර වැඩ සිටියේ වෙයි. උන්වහන්සේගේ සිරුර මනවඩන රන්වන් සිරුරක් විය. එකෙණෙහි සඳ උඩට නැගේ. සුර්යයා අවරට යයි. ආනන්ද තෙරණුවෝ - සඳ එළියත් හිරු රැසත් බලා රජුගේ ද- කාළුදායි තෙරුන්ගේ හා තථාගතයන් වහන්සේගේ ද ශරිර ශෝභාව බලා විහිදි සියළු ශෝභාවන් පරදවා බුද්ධ ශරිරය ශෝභාවත් බව දැක තෙරුන් බුදුන් වැද ස්වාමීනි මම අද ආලෝකය බලද්දි ඒ සියළු ආලෝකයන්ට වඩා ඔබ වහන්සේගේ ශෝභාව රුචි වේ. ඔබ වහන්සේගේ ශරිර ශෝභාව සියළු ශෝභාවත් පරදවා බබළයි. යනුවෙන් පැවසුහ. අනතුරුව තථාගතයන් වහන්සේ ආනන්ද හිරු දිවාකල බබළයි. සඳ රාත්රියේ බබළයි. රජු ආභරණවලින් හා සන්නද්ධ වූයේම බබළයි. රහතන් වහන්සේ ජන සමුහයෙන් වෙන් වී ඇතුළත සමාපත්තිය තුළින්ම ධ්යානයෙන්ම බබළයි බුදුවරු නම් දිවා රෑ දෙකේම පස් තේජසින් බබළයි. යනුවෙන් පවසා මෙම ගාථාව වදාළහ.