4. එක්තරා බ්‍රාහ්මණයකුගේ කථා පුවත
“ඣායි” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියදී එක්තරා බ්‍රාහ්මණයෙකු නිමිති කරගෙන දේශනා කළහ.
මෙම බ්‍රාහ්මණයා මෙලෙස සිතුවේය. තථාගතයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයින්ට බ්‍රාහ්මණ නමින් පවසයි. මම ද ජාති ගෝත්‍රයෙන් බ්‍රාහ්මණයෙකි. එනිසා මටද එසේ ඇමතීම සුදුසුය. ඔහු බුදුන්වෙත එළඹ මේ කරුණ විමසුවේය. මම ජාති ගෝත්‍ර මාත්‍රයෙන් බ්‍රාහ්මණ යයි නො කියමි. උතුම් වූ අර්හත්වයට පත්වූ නිසාම මම මෙලෙස කියමියි පැවසු ශාස්තෲන් වහන්සේ මෙම ගාථාව වදාළහ.
ඇලී දැහැනෙහි කෙලෙස් නැතිකොට
කරන කටයුතු දුකින් මිදුම ට
පැමිණි අයහට රහත් පලයට
බමුණු යයි මම කියමි තිරකොට
ධ්‍යාන වඩන, රාගාදි රජස් නැති, වනයේ එකලාව වාසකරන කතකිච්චං මගින් කරන ලද කටයුතු ඇති, ආශ්‍රම නැත්තාවු උතුම් අර්හත්වයට පත්වු තැනැත්තා බ්‍රාහ්මණ නම්
එහි ඣායි කසිණ වැඩීමෙන් ද ත්‍රිලක්ෂණ භාවනා වැඩීමෙන් ද ධ්‍යානයන්ට පැමිණි, කාම රජස්වලින් වෙන්ව විරජං මාසීනං වනයෙහි හුදෙකලාව විසීම, කතකිච්චං සිවිමගින් සොළොස් කෘත්‍යයන් පුරා ඇතිබව. අනාසවනං ආසවයගෙන් දුරුවීම, උත්තමත්ථං අර්හත්භාවයට අනුපත්තං අහං බ්‍රාහමණං පැමිණි තැනැත්තාම බ්‍රාහ්මණයයි කියමි.
දේශනාවසානයේ ඒ බ්‍රාහ්මණයා සෝවාන් ඵලයෙහි පිහිටියේය. පැමිණි සිටි පිරිසට ද දේශනාව සාර්ථක වුයේය.
5. ආනන්ද තෙරුන් පිළිබඳ කථා පුවත
“දිවා තපති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ මාතු ප්‍රාසාදයේ වැඩ සිටියදී ආනන්ද තෙරුන්ට දේශනා කළහ.
පසේ නදී කොසොල් රජු වස් පවාරණය කරන දිනයේදි සියළු අබරණවලින් සැරසී සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගියේය. එකෙනෙහි කාළුදායි තෙරුන් ධ්‍යානයට සම වැදී පිරිස කෙළවර වැඩ සිටියේ වෙයි. උන්වහන්සේගේ සිරුර මනවඩන රන්වන් සිරුරක් විය. එකෙණෙහි සඳ උඩට නැගේ. සුර්යයා අවරට යයි. ආනන්ද තෙරණුවෝ - සඳ එළියත් හිරු රැසත් බලා රජුගේ ද- කාළුදායි තෙරුන්ගේ හා තථාගතයන් වහන්සේගේ ද ශරිර ශෝභාව බලා විහිදි සියළු ශෝභාවන් පරදවා බුද්ධ ශරිරය ශෝභාවත් බව දැක තෙරුන් බුදුන් වැද ස්වාමීනි මම අද ආලෝකය බලද්දි ඒ සියළු ආලෝකයන්ට වඩා ඔබ වහන්සේගේ ශෝභාව රුචි වේ. ඔබ වහන්සේගේ ශරිර ශෝභාව සියළු ශෝභාවත් පරදවා බබළයි. යනුවෙන් පැවසුහ. අනතුරුව තථාගතයන් වහන්සේ ආනන්ද හිරු දිවාකල බබළයි. සඳ රාත්‍රියේ බබළයි. රජු ආභරණවලින් හා සන්නද්ධ වූයේම බබළයි. රහතන් වහන්සේ ජන සමුහයෙන් වෙන් වී ඇතුළත සමාපත්තිය තුළින්ම ධ්‍යානයෙන්ම බබළයි බුදුවරු නම් දිවා රෑ දෙකේම පස් තේජසින් බබළයි. යනුවෙන් පවසා මෙම ගාථාව වදාළහ.
දහවල් දවස හිරු බබළයි එළිය දෙමින්
මුළු රෑ දිලෙයි පුන්සඳ ලොව සිසිල ලමින්
බබළයි මහරජු ද මිණි මුතු කිරුළු ලමින්
බුදුරජු සිටි නිතරම ලොව බබුළු වමින්
එහි දිවාතපතී දවල් කාලයේ බබළයි. රාත්‍රියෙහි ගිය මගඳ නොපෙනේ. චන්දිමා චන්ද්‍රයා ද අහසින් මිදුනේ රත්ති රාත්‍රියේම බබළයි. දවල් නොබබළයි. සන්නාද්ධො රන් රුවන් සියළු ආභරණවලින් සැරසී සිව්රග සෙනග පිරිවරා සිටියදීම රජු බබළයි. අනෙක් වෙසකින් සිටියොත් නො බබළයි. ඣායීති යනු රහතන් වහන්සේ ගණයාගෙන් වෙන් වී ධ්‍යානයෙන්ම බබළයි. තෙජසා - සම්මා සම්බුදුන් දුසිල් බව අත්හැර සිල් තෙදින්, නිර්ගූණ නැතිකොට ගුණ තෙදින්, මෝඩබව නැතිව ප්‍රඥා තේජසින්, යන පස් වැදෑරුම් ප්‍රත්‍ය තේජසින්, අධර්මය දුරැර ධර්ම තේජසින්, යන පස් වැදෑරුම් තේජසින් සදා කල්හිම බබළයි. යන අර්ථයි.
දේශනාවසානයේ බොහෝ දෙනා සෝවාන් ඵලෙහි පිහිටියා ය.
6. එක්තරා බ්‍රාහ්මණ පැවිද්දකුගේ කථා පුවත
“බාහිත පාපොති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩ සිටියදී එක්තරා බ්‍රාහ්මණ පැවිද්දෙක් නිමිති කරගෙන දේශනා කළහ.
එක් බ්‍රාහ්මණයෙක් - බාහිර ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වී භවත් ගෞතමයන් තමන්ගේ ශ්‍රාවකයින් පැවිදි කුලේ යයි කියයි. මම ද පැවිද්දෙකි. මම ද එසේ කිම සුදුසුය. යනුවෙන් සිතා බුදුන් වෙත එළඹ මේ කරුණ විමසුවේය. බුදුහු මෙපමණකින් පැවිද්දෙක් නොවේ කෙලෙස් දුරුකළ පැවිද්දාම පැවිද්දා වේ. මේ ගාථාව දේශනා කළහ.
පව්කම් බැහැර කොට “බමුණා” නම ලදව
සම චරියා නිසා “සමණා” වෙයි දනුව
කෙලෙසුන් නසා “නිකෙලෙස්” වී හිත දිනුව
පුගුලා “පැවිද්දා” යනුවෙන් දැනගනුව
එහි සමචරියා යනු සියළු අකුසලයන් සමණය කොට හැසිරෙන බැවින් තමා එහෙයින්, බැහැර කරන ලද පව් ඇති, බ්‍රාහ්මණයා අකුසල් දුරුකොට හැසිරීම නිසා යයි කියයි. එහෙයින් යමෙක් තමාගේ රාගාදී කෙලෙස් මල පබ්බාජයං බැහැර කිරීමෙන් හැසිරේද සතුටුවේද. හෙතෙමේ පැවිදි වීම නිසා පැවිද්දා යයි කියයි යන අර්ථයි.
දේශනාවසානයේ ඒ බ්‍රාහ්මණ පැවිද්ද ලබා සෝවාන් ඵලයෙහි පිහිටියේය. පැමිණි සිටියවුන්ට සාර්ථක දේශනාවක් වූයේය.
7-8. සාරිපුත්ත තෙරුන් පිළිබඳ කථා පුවත
“න බ්‍රාහ්මණස්ස” යන මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටිය දී සැරියුත් තෙරුන් නිමිති කරගෙන දේශනා කළහ.
එක් තැනක මිනිස්සු බොහෝ දෙනෙක් අහෝ අපේ ආර්යයන් වහන්සේ ඉවසීමේ බලය නිසා ඉවසීමේ ගුණයෙන් යුතු වූයේ බනින විට හෝ පහර දෙනවිට හෝ කිපීම් පමණකුත් නැත. තෙරුන්ගේ ගුණ කීවාහුය. මේ අතර එක් මිථ්‍යා දෘෂ්ටික බමුණෙක් මෙහි නොකිපෙන තැනැත්තා කවුද? යි විමසුවේය. අපේ තෙරුන් ඔහු කිපීමක් නැති ද? නැත බ්‍රාහ්මණය එසේ නම් මම කෝප කරවන්නෙමියි පැවසුවේය. හොඳයි එසේනම් කෝප කරවන්නැයි කීවේය. හොඳයි වේවා මම කළයුතු දේ දනිමියි තෙරුන් වහන්සේ පිඩු පිණිස පිවිසි විට පසු පසින් ගොස් පිටුපස සිට තදින් අත් පහරක් දුන්නේය. තෙරුන් වහන්සේ මේ කවරෙක්දැයි නොබලාම ගියේය. බමුණාගේ මුළු සිරුරේම දා බිඳු නැගුණි. අහෝ ගුණ සම්පන්න ආර්යයන් වහන්සේ යයි තෙරුන්ගේ පාමුල වැටී ස්වාමීනි මට සමාවන්නැයි කියා මේ කුමක්දැයි විමසුවිට මම ඔබ විමසනු සඳහා ඔබ වහන්සේට පහර දුනිමි යි පැවසුවේය. මම ඔබට සමාව දෙමි. ස්වාමීනි මට සමාව දෙන්නේ නම් මගේ නිවසේ සිට දානය වළදන්නැයි කියා තෙරුන්ගේ පාත්‍රය ගත්තේය. බමුණ ගෙට කැදවාගෙන ගොස් වැළද වුයේය.