ඔවුහු කාශ්‍යප බුද්ධ කාලයේ දී කුඩා කිරිවවුලන් වී එක් පර්වත බෑවුමක පර්වත පාදයක එබී සිට තෙරවරුන් දෙනමක් සක්මන් කරමින් අභිධර්මය සජ්ඣායනා කරන ස්වරයේ නිමිති ගෙන ඇසුහ. ඔවුහු මේ ස්ඛන්ධය යි මේ ධාතුයි යනුවෙන් නොදැන හඩ ඇසීමෙන් පමණක්ම ඉන් චුතව දෙලෝ ඉපිද එක් බුද්ධාන්තරයක් දිව සැප විඳ සැවැත් නුවර කුලගෙවල ජනිත වී යමක ප්‍රාතිහාර්යයෙන් පැහැදි පැවිදිවුහ. පැවිදිව සියල්ලන්ට පළමුව අභිධර්මය උගෙන සප්ත ප්‍රකරණීකයෝ වුහ. බුදුන් ද මේ අයුරින්ම තුන්මසක් අභිධර්මය දේශනා කළහ. දෙසුම කෙළවර අසූකෝටි දහසක් දෙවියන්ට ධර්ම අවබෝධය විය. මහාමායා දෙවිතුමා ද සෝවාන් ඵලයෙහි පිහිටියහ.
ඇය ද යොදුන් තිස් හයක් පරිමණ්ඩල පිරිස් ඇතිව සත්වෙනි දින පවාරණය වන්නේ යයි මහමුගලන් තෙරුන් වෙත පැමිණ පැවසුවාය. ස්වාමීනි තථාගතයන් වහන්සේ දිව්‍ය ලෝකයෙන් වඩින දිනය සැලකිරිම වටින්නේය. මහමුගලන් තෙරණුවෝ මෙම කථාව ඇවැත්නි ! යහපතැයි කියා එහිම පොළවේ කිමිද මහමේරුවට නගින මා මහජනයා දකීවායි අදිටන් කොට මැණිකක් අමුනන නූලක් ලෙස පෙනෙන රූපය ඇතිව මහමෙර මුදුනට නැග්ගෝය. මිනිස්සු ද එක යොදුනක් දෙකක් නැද්දෙයි කියමින් බලා සිටියහ. තෙරුන් වහන්සේ ද බුදුන්ගේ පා පිට හිස තබා වැන්දාහුය. වැඳ ස්වාමීනි ඔබ වහන්සේ දැක මිස නොයමියි රැස්ව සිටින පිරිස කවදා පොළවට බසින්නේ දැයි බලා සිටිති.
තථාගතයන් වහන්සේ ඔබගේ ජ්‍යෙෂ්ඨ ම සහෝදර සැරියුත් තෙර කොහේදැයි විමසුවිට පිළිතුරු දෙමින් ස්වාමීනි සංකස්ස පුර දොරටුවේ වස් සමාදන් වුහ. මොග්ගල්ලාන මම මෙයින් සත් වැනි දිනයේදී මහා පවාරණය සඳහා සංකස්ස පුර දොරටුවට බසින්නෙමි. මා දකිනු කැමැත්තෝ එතැනට පැමිණෙත්වා, සැවැත්නුවර සිට සකස්ස නගරයට යොදුන් තිහකි. මෙපමණ දුර මාර්ගයේ කිසිවෙකුටත් මාර්ග පිළිබඳ කටයුතු නැත. පෙහෙවස් සමාදන්ව විහාරයට ධර්මශ්‍රවනයට යන අයුරින් පැමිණෙන ලෙසට පැමිණෙත්වායි ඔවුන්ට දැනුම් දෙන්න. තෙරුන් ස්වාමිනි යහපතියි ගොස් එලෙසින් දැනුම් දුන්න.
තථාගතයන් වහන්සේ වස් පවාරණය කර සක් දෙවිඳුට දැනුම් දුන්හ. මහරජ මිනිස් පියසට යන්නෙමි. සක්දෙවිදු රන්මය - මැණික්මය හා රිදීමය ඉණිමන් තුනක් මැවීය, ඒවායේ පාද සංකස්ස නගරයේ දොරටු මුල පිහිටියහ. ඒවායේ හිස මහමේරු පර්වතයේ මුදුන්විය. ඒවායෙන් දකුණුපස රන් හිණිමග දෙවියන්ට විය. වම් පස රිදී ඉණිමග මහා බ්‍රහ්මයන්ට විය. මැද පිහිටි මැණික් ඉණිමග තථාගතයන් වහන්සේට විය. බුදුරජාණන් වහන්සේ ද මහමෙර මුදුනේ සිට දෙලොවින් බැසීමේ යමක පාටිහාරිය කොට උඩ බැලුහ. බ්‍රහ්මලෝකය දක්වාම එකම අංගනයක් වීය. යට බලනවිට අවීචි නරකයේ සිට එකම අංගනයක් විය අනෙක් දිසා අනුදිසා බැලුහ. නොයෙක් චක්‍රවාටයන් ලක්‍ෂයක එකම අංගනයක් වුහ. දෙවියෝ මිනිසුන් පැසසුහ. මිනිස්සු දෙවියන් පැසසුහ.
භාග්‍යවතුන් වහන්සේ ෂඩ් වර්ණ විහිදවූහ. එදවස බුද්ධශ්‍රීය බලා යොදුන් තිස්හයක් අවට පිරිස බුද්ධත්වය නොපැතූ එකද පුද්ගලයෙක් නොවීය. රන් ඉණිමගින් දෙවියෝ බැස්සාහුය. රිදී ඉණිමගින් බ්‍රහ්මයෝ බැස්සාහුය. මැණික් ඉණිමගින් මේ තථාගතයන් වහන්සේ බැස්සාහුය. පංචසිඛ ගාන්ධර්ව දෙවියා බේලුව පණ්ඩු විනාව ගෙන දකුණු පසින් සිට බුදුන්ට ගාන්ධර්ව පුජාව කරමින් බැස්සේය. මාතලී ද සංගාහක ද වම්පස සිට දිව්‍යමය මල් ගඳ ගෙන වඳිමින් බැස්සාහුය. මහා බ්‍රහ්මයා ඡත්‍රය ධරයි. සුයාමදෙව් සෙමෙර සැලීය බුදුහු මේ පිරිස් පිරිවරා ගෙන බැස සංකස්ස නුවර දොරටුවේ පිහිටියහ. සැරියුත් තෙරුන් ද පැමිණ බුදුන් වැඳ මෙයට පෙර සැරියුත් තෙරුන් ද මෙබඳු බුද්ධ ශ්‍රීයක් යුතුව වඩින බුදුන්ගේ ශෝභාමත් බවත් දැක නොසිටියහ.
මවිසින් මෙයට පෙර දී කිසිදිනෙක මෙබඳු බුද්ධ ශ්‍රීයක් දැක හෝ අසා නැත. මෙබඳු සිරියෙන් ප්‍රියවාදී තථාගතයන් වහන්සේ තුසිත භවනයෙන් වැඩම කළහ.
මේ ආදී ප්‍රකාශවලින් තමන් වහන්සේගේ සතුට ප්‍රකාශ කරමින් ස්වාමීනි අද සියලුම දෙවි මිනිසුන් ඔබ වහන්සේ ප්‍රියකරති. බුද්ධත්වය ප්‍රාර්ථනා කරතියි පැවසුහ. ඉක්බිති බුදුන්වහන්සේ සාරිපුත්ත ! මෙබඳු ගුණයන්ගෙන් යුතු බුදුවරු නම් දෙවි මිනිසුන්ට ප්‍රියවේයයි පවසා ධර්මය දේශනා කරමින් මේ ගාථාව පැවසුහ.
දැහැනෙහි ද නිවනෙහි
ඇලුණු සම්බුදු උතුමන්
කෙරෙහි තිලොවම සත්වග
පිය වඩත්මැයි නිතැතින්