14. බුද්‌ධ වර්ගය
1-2. මාරදූවරුන් පිළිබඳ කථා පුවත
“යස්ස ජිතං” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ බෝධි මණ්ඩපයේ වැඩසිටිය දී මාර දූවරුන් ඇරබ පිහිටුවා පසුව කුරු රට මාගන්දිය බ්‍රාහ්මණයාට පැවසුහ.
කුරු රට මාගන්දිය බ්‍රාහ්මණයාට මාගන්දි නම් දුවක් සිටියාය. ඕ අතිශය රූප සම්පන්නය. ඇය ප්‍රාර්ථනා කරමින් නොයෙක් ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ මහාසාල කුලවලින් ඔබේ දුවණිය අපට දෙන්නැයි පණිවිඩ යැවූහ. මාගන්දිය බ්‍රාහ්මණයා ඔබ අපේ දියණියට සුදුසු නොවේ යයි සියල්ලන් ප්‍රතික්‍ෂේප කළහ. ඉක්බිති එක් දිනක් තථාගතයන් වහන්සේ ලොව බලන්නේ තමන් වහන්සේගේ ඤාණ ජාලයට මාගන්දිය බ්‍රාහ්මණයා හා බ්‍රාහ්මණීය පිවිසුනි. ඒ දෙදෙන මාර්ග ඵලයන්ට පත්වීමේ හේතු සම්පත් දැක්කාහ. බ්‍රාහ්මණයා ද ගමෙන් පිටත නිරන්තරයෙන් ගිනිදෙවියා පුදයි. බුදුන්වහන්සේ උදයේම පාසිවුරු ගෙන එම ස්ථානයට වැඩම කළහ. බ්‍රාහ්මණයා බුදුගේ රූපශ්‍රීය බලා මෙලොව මේ තරම් සමාන පුරුෂයෙක් නම් නැත. මොහු මගේ දුවණියට ඉතා සුදුසු කෙනෙකි. මොහුට මගේ දුවණිය දෙන්නෙමියි සිතා. බුදුරජාණන් වහන්සේට පැවසීය. ශ්‍රමණය මට එක් දියණියක් සිටී. ඇයට ගැළපෙන පුරුෂයෙක් නොදුටු නිසා ඇය කිසිවෙකුට නො දුන්නෙමි. නුඹනම් ඇයට සුදුසු වේ. මම ඔබට මගේ දුවණිය පාදපරිචාරිකා කොට දෙනු කැමැත්තෙමි. මම ඇයව කැඳවාගෙන එන තුරු මෙහිම සිටින්නැයි පැවසුවේය. බුදුහු ඔහුගේ කථාව අසා සතුටු නොවීය. ප්‍රතික්‍ෂේප ද නො කළේය.
බ්‍රාහ්මණයා ද ගෙට ගොස් බ්‍රාහ්මණියට කථා කොට පිංවතිය අද මගේ දුවණියට සැබවින්ම සුදුසු පුද්ගලයෙක් දුටුවෙමි. මම ඇය ඔහුට දෙන්නෙමි. දුව අලංකාර ලෙස සරසවා බැමිණිය සමග එතැනට ගියේය. මහජනයා ද කුතුහලෙන් යුතුව නික්මුණි. බුදුරජාණන් වහන්සේ ද බමුණා කීව ස්ථානයේ නොසිට එහි පා සලකුණු තබා අනෙක් තැනෙක වැඩසිටියහ. බුදුවරුන්ගේ පා සටහන - මෙය අසවල් තැනැත්තා දකිවායි අදිටන් කොට තැබුවිට තැබූ තැනම දක්නට ලැබෙයි. අනෙක් තැනක දකින්නේනම් නැත. බ්‍රාහ්මණයා සමග ගිය බැමිණිය ඒ පුරුෂයා කොහිදැයි විමසුවාය. මෙතැන සිටින්නයි මම ඔහුට කීවෙමි යි බමුණා පැවසීය. කියා බලන අතර පාද සටහන දැක. මේ ඔහුගේ පාසටහන යැයි දැක්වීය. ඇය ලක්‍ෂණ පාඨ පැවසීමේ දක්ෂ කෙනෙක් නිසා බ්‍රාහ්මණය මේ පා සලකුණ කාමභෝගී කෙනෙකුගේ නම් නොවන බව කියා සිටිවිට බමුණා හොඳයි වේවා, ඔබ ජලබිඳුවේ කිඹුලන් දකින තැනැත්තියකි. මම ඒ ශ්‍රමණයාටම දුවණිය දෙන්නෙමියි පැවසූවිට හොඳයි මමත් එය ඉවසන්නම් කී විට බ්‍රාහ්මණය එසේ කිවත්. මේ පා සටහන නම් නිකෙලෙස් පුද්ගලයෙකුගේ යයි කියා මේ ගාථාව පැවසුවාය.