5. සෝණපණ්ඩිත චරියා වර්ණනාව
282. “පුනාපරං යදාහොමි නගරෙ බ්රහ්මවඩ්ඪ නෙ
තත්ථ කුලවරෙ සෙට්ඨෙ මහාසාළෙ අජායහං” (චරියා පිටක)
තත්ථ කුලවරෙ සෙට්ඨෙ මහාසාළෙ අජායහං” (චරියා පිටක)
“නැවත අනික් (චරිතයක් කියන්නෙමි) යම් කලෙක්හි මම බ්රහ්මවඩ්ඪන නම් නුවර අග්රකුලය වූ ශ්රේෂ්ඨ වූ මහාසාර කුලයෙහි උපන්නෙම්ද”
පස්වෙනි (සෝන පණ්ඩිත චරිතයෙහි) “නගරෙ බ්රහ්මවඩ්ඪනෙ” යනු බ්රහ්මවර්ධන නම් වූ නගරයෙහි. “කුලවරෙ” යනු අග්රකුලයෙහි. “සෙට්ඨෙ” යනු අතිශයින් ප්රශංසා කටයුතු “මහාසාළෙ” යනු මහා ධනවත්, “අජායහං” යනු “අජායිං අහං” (මම උපන්නෙමි) මෙය කියන ලද්දේ වෙයි. ඒ කාලයෙහි බ්රහ්මවඩ්ඪන යයි ලැබූ නම් ඇති බරණැස් නගරයෙහි යම්කලෙක වෙමිද, උපන්නෙමි ද, වසම් ද, එකල්හි හටගත් සම්පත්තියෙන් අතිශයින් ප්රසිද්ධ වීම් වශයෙන් අග්ර වූ, විද්යාවෙන් හා ව්රත සම්පත්තියෙන් ශ්රේෂ්ඨ වූ, අසූ කෙළක් ධනය ඇති මහා ධනවත් ඒ බ්රාහ්මණ කුලයෙහි මම උපන්නෙමි’යි
එකල්හි වනාහි මහාසත්ත්වයෝ බ්රහ්ම ලෝකයෙන් චුතව බ්රහ්මවඩ්ඪන නගරයෙහි අසූ කෙළක් සම්පත් ඇති එක්තරා මහාසාර බ්රාහ්මණයෙකුගේ පුතා වී උපන්හ. ඔහුට නම් තබන දවසෙහි “සෝණ කුමාර” යයි නම් තැබූහ. ඔහු පියවර නගා ඇවිදින කල්හි අනිකුත් සත්ත්වයෙක් බ්රහ්ම ලෝකයෙන් චුතව බෝධිසත්ත්වයන්ගේ මෑණියන් කුස පිළිසිඳ ගත්තේය. ඔහුට “නන්ද කුමාර” යයි නම් කළහ. උගත්වේද ඇති සියලු ශිල්පයෙහි පරතෙරට පැමිණි, වැඩිවියට පත් ඔවුන්ගේ රූපශ්රී දැක තුටු පහටු වූ මවුපියෝ “අපි ඔවුන් ගෘහ බන්ධනයෙන් බඳින්නෙමු”යි පළමුව සෝණ කුමාරයාට “දරුව, නුඹට සුදුසු කුලයකින් දැරියක ගෙනෙන්නෙමු නුඹ කුටුම්බය (පවුලක්) පිහිටුවවයි කීහ.
මහාසත්ත්වයෝ “මට ගෘහවාසයෙන් කම් නැත. මම දිවි ඇතිතෙක් නුඹ වහන්සේලා පෝෂණය කොට නුඹවහන්සේලාගේ ඇවෑමෙන් පැවිදි වන්නෙමි’යි කීහ. මහාසත්ත්වයන්ට වනාහි භවත්රය ගිනිගත් ගෙයක් මෙන් ද අඟුරුවළක් මෙන්ද වැටහුනේය. විශේෂයෙන් වනාහි බෝධිසත්ත්වයෝ ගිහිගෙයින් නික්මීමේ අදහස ඇත්තේ නෛෂ්ක්රම්යයෙහි ඇලුනාහු වූහ. එතුමන්ගේ අදහස නොදන්නා වූ ඔවුහු නැවත නැවත කියන්නාහුද ඔහුගේ සිත් නොලැබ නන්ද කුමාරයා අමතා “දරුව, එසේනම් නුඹ කුටුම්බය පිහිටුවව’යි කියා ඔහු විසින්ද “මම මගේ සොහොයුරා ඉවත දැමූ කෙළපිඬ හිසින් නොඔසවමි, මම ද ඔබලාගේ ඇවෑමෙන් සහෝදරයා සමග පැවිදි වන්නෙමි’යි කී කල්හි මේ තරුණයෝ මෙසේ කාමයන් අත් හරිති, මහළු වියට පත් අප ගැන කියනුම කවරේද? අපි සියල්ලෝම පැවිදි වන්නෙමු’යි සිතා “දරුව, නුඹලාට අපේ ඇවෑමෙන් පැවිදි වීමෙන් කවර ප්රයෝජනයක්ද? සියල්ලෝම එක්වරම පැවිදි වෙමු’යි කියා ඥාතීන්ට දියයුතු දේ දී දාසජනයා නිදහස් කොට රජුට දන්වා සියලු ධනය පරිත්යාග කොට මහදන් පවත්වා සිවුදෙනාම බ්රහ්මවඩ්ඪන නගරයෙන් නික්ම හිමාලය ප්රදේශයෙහි පියුමෙන් හා හෙළ පියුමෙන් සැදුම් ලද මහ විලක් ඇසුරු කොට සිත්කලු වන ලැහැබෙක අසපුවක් කොට පැවිදිව එහි විසූහ. එහෙයින් වදාරණ ලදී:-
283. “තදාපි ලොකං දිස්වාන අන්ධභූතං තමොත්ථටං
චිත්තං භවතො පතිකුටති තුත්තවෙගහතං විය
චිත්තං භවතො පතිකුටති තුත්තවෙගහතං විය
284. “දිස්වාන විවිධං පාපං එවං චින්තෙසහං තදා
කදාහංගෙහා නික්ඛම්ම පවිසිස්සාමි කානනං
කදාහංගෙහා නික්ඛම්ම පවිසිස්සාමි කානනං
285. “තදාපි මං නිමන්තිංසු කාමභොගෙහි ඤාතයො
තෙසම්පි ඡන්දමාචික්ඛිං මා නිමන්තෙ ථ තෙන මං
තෙසම්පි ඡන්දමාචික්ඛිං මා නිමන්තෙ ථ තෙන මං
286. “යො මෙ කනිට්ඨ කො භාතා නන්දො නාමාසි පණ්ඩිතො
සොපි මං අනුසික්ඛන්තො පබ්බජ්ජං සමරොචයි.
සොපි මං අනුසික්ඛන්තො පබ්බජ්ජං සමරොචයි.