3. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව
1. යුධඤ්ජය චරියා වර්ණනාව
242. “යදා අහං අමිතයසො රාජපුත්තො යුධඤ්ජයො”
උස්සාව බින්‍දුං සුරියාතපෙ පතිතං දිස්වාන සංවිජිං (චරියා පිටක)
“යම් කලෙක මම අපමණ පිරිවර සම්පත් ඇති යුධඤ්ජය නම් රාජ පුත්‍රයෙක් වීම් ද”
තුන්වන වර්‍ගයෙහි පළමුවෙනි (යුධඤ්ජය චරිතයෙහි) “අමිත යසො” යනු අප්‍රමාණ පිරිවර සම්පත් ඇති, “රාජ පුත්තො යුධඤ්ජයො” යනු රම්‍ය නගරයෙහි සබ්බදත්ත නම් රජුගේ පුතා, නමින් යුධඤ්ජය නම් විය.
මේ බරණැස් නුවර උදය ජාතකයෙහි “සුදුද්ද” නගරය නම් විය. චූළසුතසෝම ජාතකයෙහි සුදර්‍ශන නම් විය. සොනනන්‍ද ජාතකයෙහි “බ්‍රහ්මවර්‍ධන” නම් විය. ඛණ්ඩහාල ජාතකයෙහි “පුෂ්පවතී” නම් විය. මේ යුධඤ්ජය ජාතකයෙහි රම්‍ය නගරය නම් විය. මෙසේ මේ නගරයෙහි නම සමහර කාලයන්හි වෙනස් වේ. එහෙයින් “රාජපුත්තොති රම්මනගරෙ සබ්බදත්තස්ස නාම රඤ්ඤෙ පුත්තො” යයි කියන ලදී. ඒ රජුට පුත්‍රයෝ දහසක් වූහ. බෝධිසත්ත්‍වයෝ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය. රජතුමා ඔහුට යුවරජකම දුන්නේය. ඔහු යට සඳහන් පරිදිම දවස් පතා මහදන් පැවැත්වීය. මෙසේ කල්ගතවන විට බෝධිසත්ත්‍වයෝ එක් දිනක් උදෑසනම උතුම් රථයට නැගී මහත් වූ ශ්‍රී සම්පත්තියෙන් උයන් කෙළියට යන්නාහු ගස් අග, තණ අග, අතු අග, මකුළු දැල් ආදියෙහි මුතු දැල් සේ එල්ලුනා වූ පිනි බිඳු දැක “යහළු රියදුර, මේ කිමෙක්දැයි අසා දේවයන් වහන්ස, මේ හිම ඇති කල්හි වැටෙන පිනි බිඳුය’යි අසා දිවා කාලය උයනෙහි ක්‍රීඩාකොට සවස් කල ආපසු යන්නාහු ඒ පිනිබිඳු නො දැක “යහළු රියැදුර, ඒ පිනි බිඳු කොහිද? ඒවා දැන් නො දකිමි’යි විමසා “දේවයන් වහන්ස, හිරු උදාවන විට සියල්ල බිඳී වියලී යති”යි අසා “යම්සේ මේවා ඉපදී බිඳේ ද මෙසේ මේ සත්ත්‍වයන්ගේ ජීවිත සංස්කාරයෝද තණ අග පිනිබිඳු වැනියහ. එහෙයින් මවිසින් ව්‍යාධි, ජරා, මරණයෙන් පීඩාවන්ට පෙරම මවුපියන් විමසා පැවිදි වීමට වටීයයි පිනි බිඳුම අරමුණු කොට භවත්‍රය ගිනි ගෙන දිලිසෙන්නාක් මෙන් දකින්නාහු තම ගෙට පැමිණ සරසා පිළියෙළ කළ විනිශ්චය ශාලාවේ හුන් පියාණන් සමීපයට ගොස් පියාට වැඳ එකත්පසෙක සිට පැවිදිවන්නට අවසර ඉල්ලූහ. එහෙයින් වදාළහ.
උස්සාවබින්‍දුං සුරියාතපෙ පතිතං දිස්වාන සංවිජිං
243. “තඤ්ඤෙවාධිපතිං කත්‍වා සංවෙගමනුබ්‍රෑහයිං,
මාතාපිතුච වන්‍දිත්‍වා පබ්බජ්ජමනුයාචහන්ති. (චරියා පිටක)
“සූර්‍ය්‍ය රශ්මියෙන් විනාශ වූ පිනි බින්දු දැක සංවේගයට පැමිණියෙමි. ඒ පිනි බින්දුන්ගේ අනිත්‍යතාව නිමිතිකොට ගෙන සංවේගය වැඩුයෙමි. මම මවු ද පියා ද වැඳ පැවිදිවීම පිණිස අවසර ඉල්ලීමි.
එහි “සුරියාතපෙ” යනු සූර්‍ය්‍ය රශ්මිය හේතුවෙන්, සූර්‍ය්‍ය රශ්මිය වැදීම නිමිතිකොට, “සුරියාතපෙන” යයිද පාඨයකි. “පතිතං දිස්වාන” යනු විනාශ වූ බව දැක, පෙර ගස් අග ආදියෙහි මුතුදැල් ආදි ආකාරයෙන් එල්ලී පෙනෙමින් තිබූ පිනිබිඳු සූර්‍ය්‍ය රශ්මිය වැටීමෙන් විනාශ වූ බව පැණසින් දැක, “සංවිජිං” යනු මේවා යම්සේද එසේ සත්ත්‍වයන්ගේ ජීවිතයෝ ද වහවහා බිඳීම ස්වභාව කොට ඇත්තාහ’යි අනිත්‍යතාව මෙනෙහි කිරීම් වශයෙන් සංවේගයට පැමිණියෙමි.
“තඤ්ඤෙවාධිපතිං කත්‍වා සංවෙගමනුබ්‍රෑහයිං” යනු එම පිනිබින්දුන්ගේ අනිත්‍යතාවම අධිපතිකොට, ප්‍රමුඛකොට, පූර්‍වඞ්ගම කොට, ඉදිරියෙන් යන්නෙක් කොට, එසේ සියලු සංස්කාරයන්ගේ අස්ථිර බව, මඳකලක් පවත්නා බව සිහිකරන්නේ එක්වරක් උපන් සංවේගය නැවත නැවත ඉපිදවීම් වශයෙන් වැඩූයෙමි. “පබ්බජ්ජ මනුයාචහං” යනු තණ අග පිනිබිඳු මෙන් සත්ත්‍වයන්ගේ ජීවිත චිරස්ථායි නොවන කල ව්‍යාධි, ජරා මරණයෙන් නොමැඬුනා වූම මවිසින් පැවිදිව යම් තැනෙක්හි මේවා නොවේ ද ඒ අමෘතමහා නිර්‍වාණය සෙවිය යුතුයයි සිතා මවුපියන් වෙත එළඹ වැඳ මට පැවිදි වීමට කැමැත්ත දෙනු මැනවැයි මම ඔවුන්ගෙන් පැවිද්ද ඉල්ලීමි. මෙසේ මහාසත්ත්‍වයන් විසින් පැවිද්ද සඳහා අවසර ඉල්ලූ කල්හි “යුධඤ්ජය යුවරජු වනාහි පැවිදිවනු කැමැත්තේ ය’යි සියලු නගරයෙහි කෝලහලයක් විය.
එසමයෙහි කසීරටවාසීහු රජු දැකීමට පැමිණ රම්‍ය නගරයෙහි වෙසෙති. ඔවුහු සියල්ලෝම එහි රැස්වූහ. මෙසේ පිරිවර සහිත රජතුමා ද නියම්ගම් වැසියෝ මෙන්ම ජනපද වැසියෝ ද බෝධිසත්ත්‍වයන්ගේ මවුදේවිය ද අන්තඃපුර සියලු ස්ත්‍රීහු ද “පුත, කුමාරයෙනි, පැවිදි නොවනු මැනව’යි මහාසත්ත්‍වයන් වැළැක්වූහ. එහිදී රජතුමා ඉදින් නුඹට පඤ්චකාමයෙන් අඩුවක් වී නම් මම එය පුරවන්නෙමි. අදම රාජ්‍යය පිළිගනුව’යි කීය බෝධිසත්ත්‍වයෝ පියාණන්ට,
“පියරජතුමනි, පැවිදිවන මා නොවළක්වනු මැනවි. මා කාමයෙන් මත්වූවෙක් නො වෙම්වා. ජරාවේ වසඟයට යන්නෙක් නොවෙම්වා’යි” (ජාතක පාලි)
තමාගේ පැවිද්දට ඇති කැමැත්තම කියා - එය අසා අන්තඃපුර ස්ත්‍රීන් සමග අනුකම්පා කටයුතු සේ වැලපෙන මෑණියන්ට,
“මනුෂ්‍යයන්ගේ ආයුෂ හිරු උදාවන සමයේ තණ අග පිනිබිඳු වැනිය. මෑණියනි, මා නො වළක්වනු මැනවි’යි (ජාතක පාලිය)
තමා පැවිදි වීමට හේතුව කියා ඔවුන් විසින් නොයෙක් ආකාරයෙන් ඉල්ලා සිටිනු ලබන කල්හිත් වැඩෙන සංවේග ඇති බැවින් නොපසුබස්නා සිත් ඇත්තාහු ඉතා ප්‍රිය වූ මහත් ඥාති වර්‍ගයා කෙරෙහිත් උදාර රාජසම්පත් කෙරෙහිත් අපේක්‍ෂා රහිත සිත් ඇත්තාහු පැවිදි වූහ. එහෙයින් වදාරණ ලදී:-