චරියාපිටක අටුවාව
ග්‍රන්ථාරම්භ කථා
යම් මහර්ෂී බුදුරජාණන්වහන්සේ නමකගේ චර්‍ය්‍යාව සියළු ලෝකයාට හිත වූයේද සිතිය නොහැකි ආනුභාව ඇති, ලොවට ශ්‍රේෂ්ඨ නායක වූ ඒ බුදුරජාණන් වහන්සේට වඳිමි.
යම් ධර්‍මයක් හේතුකොට ගෙන විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත වූවෝ ලෝකයෙන් (නිවනට) පමුණු වනු ලබත් ද සම්මා සම්බුදුන් විසින් පුදන ලද ඒ උතුම් සද්ධර්‍මය වඳිමි.
ශිලාදී ගුණ සමුහයෙන් යුක්ත වූ මාර්‍ග ඵලයන්හි පිහිටියා වූ යම් සංඝරත්නයක් වේද අනුත්තර පින් කෙත වූ ඒ ආර්‍ය්‍ය සංඝරත්නය වඳිමි.
මෙසේ රත්නත්‍රය වැඳීමෙන් ජනිත වූ යම් පිනක් වේද එම පිනෙහි තේජසින් මෙම සියලු තන්හි නැසූ අනතුරු ඇත්තෙක් වී.
(බෝධිසත්ත්‍වයන් වහන්සේ විසින්) මේ භද්‍ර කල්පයෙහි රැස්කරන ලද අතිශයින් දුෂ්කර වූ යම් දානාදී පාරමිතාවෝ උත්කර්ෂයෙන් පරතෙරට පත් වූවාහු ද
ඒ සම්බෝධි චර්‍ය්‍යාවන්ගේ ආනුභාවය විස්තර කෙරෙන, චර්‍ය්‍යාපිටක නම් වූ යම් ධර්‍මයක් ශාක්‍ය ජනපදයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන මහර්ෂී ලෝකනාථ බුදුරජාණන් වහන්සේ විසින් සියලු ශ්‍රාවකයන්ට කේතුවක් වූ ධර්‍ම සේනාපති සැරියුත් හිමියන්ට දේශනා කළ සේක්ද ධර්‍ම සංග්‍රාහක මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ හේතුසම්පත් විස්තර කරන යම් චර්‍ය්‍යාපිටකයක් ඛුද්දක නිකායෙහි ලා සංගායනා කළාහුද,
සම්බුද්ධත්‍වයට පදනම් වන කරුණු විස්තර විභාග කෙරෙන හෙයින් එම චර්‍ය්‍යාපිටකයට මවිසින් අර්‍ථ වර්‍ණනාවක් කිරීම දුෂ්කර නමුදු,
සංවර්‍ණනා සහිත ශාස්තෲ ශාසනය දරණ හෙයින් ද පැරණි ශ්‍රේෂ්ඨ ආචාර්‍ය්‍යවරුන්ගේ විනිශ්චයන් ඇති හෙයින්ද,
එය ආධාරකොට ගෙන සියලු ආකාරයෙන් එහි බැස පැරණි අට්ඨකථා න්‍යාය හා ජාතක ද ඇසුරු කර ගනිමින්,
මහාවිහාරවාසී තෙරවරුන්ගේ සුවිශුද්ධ නිරවුල් සියුම් අර්‍ථ විනිශ්චයන් සහිත වාචනාමාර්‍ගය ඇසුරු කොට,
නීතත්‍ථ (පැමිණ වූ අර්‍ථ ඇති) නෙය්‍යත්‍ථ (පැමිණවිය යුතු අර්‍ථ ඇති) භේද සහිතව පාරමිතා විස්තර කරමින් චර්‍ය්‍යා පිටකයට අර්‍ථ වර්‍ණනාවක් කරන්නෙමියි.
මෙසේ සද්ධර්‍මයේ චිර පැවැත්ම බලාපොරොත්තුවන එම (චර්‍ය්‍යා පිටකයෙහි) අර්‍ථ බෙදා දක්වන (මාහට) සත්පුරුෂයිනි තෙපි ඇහුම්කන් දෙව් යි
එහි “චරියා පිටක” යනු කවර අර්‍ථයකින් චරියා පිටකය යි කියනු ලැබේද? අතීත ජාතීන්හි ශාස්තෲන් වහන්සේගේ චරියානුභාව ප්‍රකාශිත පර්යාප්තිය චරියා පිටකයයි කියනු ලැබේ. “මා පිටක සම්පදානෙන” “පිටක සම්ප්‍රදායෙහි ආ පමණින් නොපිළිගත යුතුය.” ආදී තැන්වල මෙන් මේ පිටක ශබ්දය පර්යාප්ති අර්‍ථයෙහි යෙදේ. නැතහොත් ඒ පර්යාප්තිය යම්හෙයකින් ඒ ශාස්තෲන් වහන්සේගේම පූර්‍ව ජාතීන්හි චර්‍ය්‍යාවන්ගේ ආනුභාවය ප්‍රකාශ කිරීම හේතු කොට ගෙන භාජන වූවාද, ඒ නිසාද චරියා පිටකයයි කියනු ලැබේ. “අර්‍ථ පුරිසො ආගච්ඡෙය්‍ය කුද්දාලපිටකං ආදාය” (ඉක්බිති පුරුෂයා උදැල්ල සහ භාජනය ගෙන එන්නේ ය) ආදී තැන්වල මෙන් භාජන අර්‍ථයෙහි ද පිටක ශබ්දය නිර්දිෂ්ටය. ඒ මේ චරියා පිටකය වනාහි විනය පිටකය, සුත්‍රාන්ත පිටකය. අභිධර්‍ම පිටකය යන පිටක තුන අතුරෙන් සූත්‍රාන්ත පිටකයට ඇතුළත්ය. දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය යන පඤ්ච නිකාය අතුරෙන් ඛුද්දක නිකායට ඇතුළත්ය. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවංග සත්‍ථු සාසනයෙහි ගාථා අංගයට අයත් වේ.
ම විසින් යම් අසූහාර දහසක් ධර්‍මයෝ පවත්වාගෙන යන ලද්දාහුද එයින් පසු දෙදහසක් බුදුන් වහන්සේගෙන් ඉගෙන ගතිමි. දෙදහසක් භික්‍ෂූන්ගෙන් ඉගෙන ගතිමි”යි
මෙසේ ධර්‍ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් විසින් ප්‍රතිඥා කරන ලද අසූහාර දහසක් ධර්‍මස්කන්‍ධ අතුරෙන් ධර්‍මස්කන්‍ධ කීපයක් මෙහි ඇතුළත්ය. වග්ග වශයෙන් අකිත්ති වග්ගය, හත්‍ථිනාග වග්ගය, යුධඤ්ජය වග්ගයයි. වග්ග තුනකින් සමන්විතය. චර්‍ය්‍යා වශයෙන් අකිත්ති වග්ගයෙහි දහයකි. හත්‍ථිනාග වග්ගයෙහි දහයකි. යුධඤ්ජය වග්ගයෙහි පහළොවකැයි චර්‍ය්‍යා තිස් පහකින් යුක්තය. වග්ග තුන අතුරින් අකිත්ති වග්ගයද චර්‍ය්‍යා අතරින් අකිත්ති චරියාවද මුල් වූයේය. ඒ අකිත්ති චරියාවේ ද
“කප්පෙච සත සහස්සෙ චතුරොච අසඞ්ඛියෙ
එත්‍ථන්තරෙ යං චරිතං සබ්බං තං බොධි පාචනං”
එත්‍ථන්තරෙ යං චරිතං සබ්බං තං බොධි පාචනං”
සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් තුළ (බෝසතුන්ගේ) යම් චර්‍ය්‍යාවක් වී නම් ඒ සියල්ල සම්බෝධිය මුහුකුරුවන්නේය.
යනු මුල් ගාථාවයි. මෙතැන් පටන් පිළිවෙළින් ඒ චරියා පිටකයෙහි අර්‍ථ වර්‍ණනාව වෙයි.
නිදාන කථා
ඒ මේ අර්‍ථ වර්‍ණනාව ඳුරේ නිදාන, අවිදුරේ නිදාන, සන්තිකෙ නිදාන වශයෙන් මේ නිදානයන් තුන දක්වා කියනු ලබන්නේ අසන්නන් විසින් ආරම්භයේ පටන් මැනවින් දැනගන්නා ලද්දේ නම් වෙයි. එම නිසා ඒ නිදානයන්ගේත් මෙම විස්තරය දත යුතුය.
දීපඞ්කර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති මහා බෝධිසත්ත්‍වයන් වහන්සේගේ තුසිත පුරයෙහි උපත දක්වා පවත්නා කථා මාර්‍ගය දුරේ නිදාන නම් වේ. තුසිත භවනෙහි පටන් බෝ මැඩ සර්‍වඥතා ඥානයට පැමිණීම දක්වා පවත්නා කථා මාර්‍ගය අවිදුරේ නිදාන නම්වේ. මහ බෝමැඩ සිට වර්‍තමාන කථාව දක්වා පවත්නා කථා මාර්‍ගය සන්තිකෙ නිදාන නම් වේ. මේ ත්‍රිවිධ නිදානයන් අතුරෙන් දුරේ නිදානය හා අවිදුරේ නිදානය සියලු දේශනාවන්ට සාධාරණ වේ. එම නිසා ඒවා ජාතකට්ඨ කථාවෙහි විස්තර කළ අයුරින්ම විස්තර වශයෙන් දත යුතුය. සන්තිකේ නිදානයෙහි වනාහි විශේෂයක් ඇති නිසා ඒ ත්‍රිවිධ නිදානයන්ගේ මේ ආරම්භයේ සිට සංක්‍ෂේප කථාවයි.