4. අධිෂ්ඨාන පාරමිතාව
6. තේමිය පණ්ඩිත චරියා වර්ණනාව
288. “පුනාපරං යදා හොමි කාසිරාජස්ස අත්‍රජො
මූගපක්‍ඛොති නාමෙන තෙමියොති වදන්ති මං
මූගපක්‍ඛොති නාමෙන තෙමියොති වදන්ති මං
289 “සොළසිත්‍ථි සහස්සානං න විජ්ජති පුමො තදා
අහොරත්තානං අච්චයෙන නිබ්බත්තො අහමෙකකො” (චරියා පිටක)
අහොරත්තානං අච්චයෙන නිබ්බත්තො අහමෙකකො” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම් කලෙක්හි මම කාසි රජහුගේ පුත්‍ර වීම් ද (එකල්හි) නමින් තේමිය යයි ද “මූගපක්‍ඛ” යයි ද මට කියත්.
එකල්හි සොළොස් දහසක් අන්තඃපුර ස්ත්‍රීන්ට පිරිමි දරුවෙක් නැත්තේය. (නොයෙක්) රෑ දවල්හුගේ ඇවෑමෙන් මම හුදකලාව උපනිමි.”
හයවෙනි (තේමිය පණ්ඩිත චරිතයෙහි) “කාසිරාජස්ස අත්‍රජො” යනු යම්කලෙක්හි කාසි රජහුගේ පුත්‍රයා වීම්ද, එකල්හි “මූගපක්‍ඛොති නාමෙන තෙමියොති වදන්ති මං” යනු නමින් තේමිය යයිද ගොළු බව දැක්වීමේ ව්‍රතය රැකි නිසා “මූගපක්‍ඛ” යයි මවුපියන් ආදිකොට සියල්ලෝ මා අමතති’ යයි සම්බන්‍ධය වේ. මහාසත්ත්‍වයන් වනාහි උපන් දවසෙහි සියලු කසී රටෙහි වැස්ස වැස්සේය. යම්හෙයකින් හෙතෙම රජුගේ මෙන්ම අමාත්‍යාදීන්ගේද හදවත උදාර ප්‍රීතියෙන් හා සෙනෙහසින් තෙමමින් උපන්නේද එහෙයින් “තෙමිය කුමාර” යයි නම් විය.
“සොළසිත්‍ථිසහස්සානං” යනු කාසිරජුගේ සොළොස් දහසක් අන්තඃපුර ස්ත්‍රීන්ට. “න විජ්ජති පුමො” යනු පුතෙක් නොලැබේ. හුදෙක් පුතෙක් පමණක්ම නොවේ. ඔහුට දුවෙකුදු නැත්තේමය. “අහොරත්තානමච්චයෙන නිබ්බත්තො අහමෙකකො” යනු පුතුන් නොමැති ඒ රජුට අවුරුදු බොහෝ ගණනක් ඉක්මුණු හෙයින් නොයෙක් දිවාරාත්‍රීන්ගේ (බොහෝ කාලයක්) ඇවෑමෙන් ශක්‍රයා විසින් දෙන ලද මම හුදකලාවම බෝධි පර්‍ය්‍යෙෂණයෙහි හැසිරෙන්නෙම් එකල්හි ඔහුගේ පුතා වී උපන්නෙමියි ශාස්තෲන් වහන්සේ දේශනා කරති.
මේ එහි අනුපිළිවෙළ කථාවයි:- අතීතයෙහි බරණැස කාසි රජ රාජ්‍යය කරවයි. ඔහුට සොළොස් දහසක් ස්ත්‍රීහු වූහ. ඔවුන් අතුරෙන් එකම බිසවක්වත් පුතෙකු හෝ දුවක නො ලබයි. නගර වැසියෝ අපගේ රජුට වංශය රකින පුතෙක් නැතැයි විපිළිසරට පත් වූවාහු රැස් වී “පුතෙකු පතනු මැනවැ”යි රජුට කීහ. රජතුමා සොළොස් දහසක් ස්ත්‍රීන්ට පුතෙකු ප්‍රාර්ථනා කරව්’ යයි අණ කළේය. ඔවුහු තුමූ චන්‍ද්‍රාදීන්ට උපස්ථානාදීය කොට ප්‍රාර්ථනා කරන්නෝද නොලැබූහ. රජුගේ අගමෙහෙසිය වූ චන්‍ද්‍ර දේවී නම් මද්දරජ දියණිය ශීලසම්පන්න වූවාය. රජතුමා නුඹද පුතෙකු පැතුව මැනවැයි කීය. ඈ පසළොස්වකදා පෙහෙවස් සමාදන් වී තමාගේ ශීලය ආවර්ජනා කොට “ඉදින් මම කඩනොකළ සිල් ඇත්තෙම් නම් මේ සත්‍යය කරණ කොටගෙන මට පුතෙකු උපදීවා’යි සත්‍යක්‍රියා කළාය. ඇයගේ ශීල තේජසින් ශක්‍රයාගේ ආසන උණුසුම් ස්වභාවයක් දැක්වීය. ශක්‍ර තෙමේ සිහිකරන්නේ ඒ කාරණය දැන චන්‍ද්‍ර දේවියට පුත්‍රලාභය සඳහා උපායක් කරන්නෙමි’යි ඇයට සුදුසු පුත්‍රයකු සොයන්නේ බෝධිසත්ත්‍වයන් තවුතිසා භවනයෙහි ඉපිද එහි ආයු ඇතිතෙක් සිට එතනින් චුතව මතු දිව්‍ය ලෝකයෙහි උපදිනු කැමති බව දැක ඔහු සමීපයට ගොස් යහළුව, මිනිස් ලොව උපන්කල්හි ඔබගේ පාරමිතාවෝද පිරෙන්නාහ. මහජනයාට ද අභිවෘද්ධියක් වන්නේය. කාසි රජුගේ මේ චන්‍ද්‍රා නම් අග මෙහෙසිය පුතෙකු පතයි. ඇයගේ කුසෙහි පිළිසිඳ ගනුව’යි කීය.
හෙතෙම “යහපතැයි” පිළිතුරු දී ඇයගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඔහුගේ යහළු පන්සීයක් දේව පුත්‍රයෝද ක්‍ෂය වූ ආයුෂ ඇත්තාහු දෙව්ලොවින් චුත වී ඒ රජුගේම අමාත්‍යයන්ගේ භාර්‍ය්‍යාවන්ගේ කුස්හි පිළිසිඳ ගත්හ. දේවිය ගැබ පිහිටි බව දැන රජුට දැන්වූවාය. රජතුමා ගැබ්පෙළහර දෙවීය. ඈ පිරිපුන් ගැබ් ඇත්තී ධන්‍ය පුණ්‍ය ලක්‍ෂණයෙන් යුත් පුතෙකු බිහි කළාය. එදවසම ඇමති ගෙවල් හිද පන්සියක් කුමාරවරු උපන්හ. රජතුමා මේ කරුණු දෙකම අසා “මොවුහු මගේ පුතාගේ පිරිවර’ යයි දරුවන් පන්සීයට කිරිමවුන් පන්සීයක් යවා කුමාරාභරණ ද යැවීය. මහාසත්ත්‍වයන්ට වනාහි අති දීර්‍ඝාදී දෝෂයන්ගෙන් තොරවූ නො එල්ලෙන පයෝධර ඇති, මිහිරි කිරි ඇති, සිවුසැටක් කිරිමවුන් දී මහත් සත්කාර කොට චන්‍ද්‍ර දේවියටද වරයක් දුන්නේය. දේවිය එම වරය ගන්නා ලද්දක් කොට තැබීය. දරුවා මහත් පිරිවරින් වැඩේ. ඉක්බිති උපන් එක් මස් ඇති කුමාරයා සරසා රජු සමීපයට ගෙන ආහ. රජතුමා ප්‍රිය පුතණුවන් බලා වඩා ගෙන ඇකයෙහි හිඳුවා සිත් පිනවමින් හුන්නේය.