2. සෝමනස්ස චරියා වර්ණනාව
248. “පුනාපරං යදා හොමි ඉන්‍දපත්තෙ පුරුත්ත මෙ
කාමිතො දයිතො පුත්තො සොමනස්සොති විස්සුතො
249. “සීලවා ගුණසම්පන්තො කල්‍යාණ පටිභාණවා
වුද්ධාපචායී හිරිමා සඞ්ග හෙසුච කොවිදො
250. “තස්ස රඤ්ඤො පකරො අහොසි කුහක තාපසො
ආරාමං මාලාවච්ඡඤ්ච රොපයිත්‍වාන ජීවතී” (චරියා පිටක)
“නැවත අනිකුදු (චරිතයක් කියන්නෙමි) යම්කලෙක්හි (මම) උතුම් වූ ඉඳිපත් නුවර මවුපියන් විසින් පතන ලද්දා වූ අතිශයින් ප්‍රිය කරන ලද සොමනස්ස යයි ප්‍රසිද්ධ වූ පුත්‍රයෙක් වීම් ද, එකල්හි (මම) සිල්වත් වූ, ගුණයෙන් යුතු මනාසේ වැටහෙන නුවණ ඇති කුලදෙටුවන් පුදන්නා වූ (පවට) ලජ්ජා ඇති (සතර) සංග්‍රහ වස්තුන්හි දක්‍ෂයෙක් වීමි.
ඒ රජුට වල්ලභ වූ කුහක තාපසයෙක් වූයේය. (ඒ තාපසතෙම) පුෂ්පාරාම ද ඵලාරාම ද වවා (ඒවා විකුණා) ජිවත් වෙයි.
දෙවෙනි (සොමනස්ස චරිතයෙහි) “ඉන්‍දපත්තෙ පුරුත්තමෙ” යනු මෙනම් වූ උතුම් නගරයෙහි, “කාමිතො” යනු මවුපිය ආදීන් විසින් “අනේ, ඒකාන්තයෙන් එක් පුතෙක් උපදින්නේ නම් මැනවැ’යි බොහෝ කාලයක සිට පතන ලද්දේ, “දයිතො” යනු ප්‍රිය කරන ලද, “සොමනස්සොති විස්සුතො” යනු සෝමනස්ස යයි මෙසේ ප්‍රකාශ වූ නම් ඇති
“සීලවා” යනු දශකුශලකර්‍මපථ ශීලයෙන් මෙන්ම ආචාරශීලයෙන් ද යුක්ත වූ “ගුණසමන්නො” යනු ශ්‍රද්ධා, බහුශ්‍රැත ආදී ගුණයන්ගෙන් යුක්ත වූ හෝ සම්පූර්‍ණ වූ. “කල්‍යාණ පටිභානවා” යනු ඒ ඒ දෙය මෙසේ කළ යුතුයයි සිද්ධ කිරීමෙන් ද, උපාය කෞශල්‍ය සඞ්ඛ්‍යාත සුන්දර ප්‍රතිභාන ඥානයෙන් ද යුක්ත වූ “වුද්ධාපචායී” යනු මවුපියෝය කුල දෙටුවෝය යන උපතින් වැඩිහිටියෝ වෙත්ද, යම් ශීලාදී ගුණයන්ගෙන් වැඩිහිටියෝ වෙත්ද ඔවුන්ට පුදන සුලු වූ “හිරිමා” යනු පව පිළිකුල් කරන ලක්‍ෂණය ඇති ලජ්ජාවෙන් යුත්, “සඞ්ගහෙසුච කොවිදො” යනු දාන, ප්‍රියවචන, අර්‍ථචර්‍ය්‍යා, සමානාත්මතා සඞ්ඛ්‍යාත සතර සංග්‍රහ වස්තුන්ගෙන් සුදුසු පරිදි සත්ත්‍වයන්ට සංග්‍රහ කිරීමෙහි දක්ෂ වූ, මෙබඳු වූ “රේණු” නම් කුරුරජුගේ පුතා, “සෝමනස්ස” යයි යම්කලෙක ප්‍රසිද්ධ වූයෙම් ද යනු සම්බන්‍ධය වේ.
“තස්ස රඤ්ඤෙ පතිකරො” ඒ කුරුරජු විසින් දිනපතා නිරන්තරයෙන් උපකාර කළ බැවින් ප්‍රතික්‍රියා වශයෙන් වල්ලභ වූ, “කුහක තාපසො” යනු තමා ළඟ නැති ගුණයන්ට සැලකීම ලක්‍ෂණ කොට ඇති කුහක කමින් ජීවිතය පවත්වන එක් තාපසයෙක්, ඔහුට රජු විසින් සත්කාර කළ යුත්තේ විය. “ආරාමං” යනු ඵලාරාමය, යම් තැනෙක්හි කැකිරි, ලබු, කොමඩු, පුහුල් ආදී ගෙඩි සහිත වැල් මෙන්ම කූරතම්පලා වැනි පලා වර්‍ගද රෝපණය කරනු ලබයිද එතැන, “මාලාවච්ඡං” යනු දැසමන්, යොහොඹු ආදී මල් පැලෑටි, එයින් පුෂ්පාරාමය හෙවත් මල්වත්ත දක්වයි. මෙහිද උයනක් කොට එහි මල් පැලෑටි ද, ඉහත සඳහන් ඵල සහිත පැලෑටි ද රෝපණය කොට එයින් ලැබුණු ධනය එකතුකොට තබමින් ජීවත් වෙයි යන අර්‍ථය යයි දත යුතුය.
මේ එහි අනුපිළිවෙල කථාවයි. එකල්හි මහාරක්‍ඛිත නම් තාපස කෙනෙක් පන්සියයක් තවුසන් විසින් පිරිවැරුවාහු හිමාලයෙහි වැස ලුණු ඇඹුල් සෙවීම පිණිස ජනපද චාරිකාවෙහි හැසිරෙමින් ඉඳිපත් නුවරට පැමිණ රජ උයනෙහි වැස පිරිස සහිතව පිඬු පිණිස හැසිරෙන්නාහු රජ දොරටුවට පැමිණියහ. රජතුමා සෘෂිවරුන් සමූහය දැක ඔවුන්ගේ ඉරියව්වෙහි පැහැදුනේ සරසා පිළියෙල කළ උඩුමහල් තලයෙහි හිඳුවා ප්‍රණීත ආහාරයෙන් වළඳවා “ස්වාමීනී මේ වස් කාලය මගේ උයනෙහිම වසනු මැනව”යි කියා එතුමන් සමග උයනට ගොස් වසන තැන් පිළියෙළ කරවා පැවිදි පිරිකර දී නික්ම ගියේය. එතැන් පටන් ඒ සියල්ලෝම රජගෙදර වළඳත්.
රජ වනාහි දරුවන් නැත්තෙකි, පුතුන් ප්‍රාර්ථනා කරයි. පුත්තු නූපදිති, වස්කාලය අවසන් වීමෙන් පසු මහාරක්‍ඛිත තවුසා හිමාලයට යන්නෙමු’යි රජු විමසා රජු විසින් කරන ලද සත්කාර සම්මාන ඇත්තේ නික්ම අතරමඟ මද්දහන් වේලෙහි මගින් ඉවත්ව ඝනසෙවන ඇති ගසක් යට පිරිස් සහිතව හුන්නේය. තාපසවරු මෙබඳු කථාවක් ඉපිද වුවාහුය. රජ වනාහි දරුවන් නැත්තෙකි. ඉදින් රජුහට රාජපුත්‍රයෙක් ලැබෙන්නේ නම් මැනවි යනුවෙනි. මහාරක්‍ඛිත තවුසා එම කථාව අසා රජුට පුතෙක් ලැබෙන්නේද නැතහොත් නොලැබෙන්නේදැයි සලකා බලන්නේ “ලැබෙන්නේය”යි දැන තෙපි ඒ ගැන නොසිතව්, අද අළුයම් වේලෙහි එක් දේවපුත්‍රයෙක් චුත වී රජුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගන්නේය’යි කීය.
එය අසා එක් කපටි තවුසෙක් “දැන් රජුගේ කුලුපගයෙක් වන්නෙමි”යි සිතා තාපසයන් පිටත්වන කල්හි ගිලන් ස්වභාවයක් පෙන්වා වැදහෙව “එව යමු”යි කී කල්හි “නොහැක්කෙමි”යි කීය. මහාරක්‍ඛිත තවුසා ඔහු වැදහොත් කාරණය දැන “යම් කලෙක හැකිනම් එකල එව”යි කියා ඍෂි සමූහයා ද රැගෙන හිමවතටම ගියේය. කුහක තවුසා ආපසු හැරී වේගයෙන් ගොස් රජ දොරටුවෙහි සිට “මහාරක්‍ඛිත තවුසාගේ අතවැසි තාපසයෙක් පැමිණියේ ය”යි රජුට දන්වා රජතුමා විසින් වහා කැඳවන ලද්දේ ප්‍රාසාදයට නැග පැණවූ ආසනයෙහි හුන්නේය. රජතුමා ඔහුට වැඳ එකත්පසෙක හුන්නේ ඍෂිවරුන්ගේ සුවදුක් විමසා “ස්වාමීනි, ඉතා ඉක්මනින් ආපසු හැරි ආවේ කුමක් සඳහාදැයි ඇසීය.